Skip to content

Kakistocracy ( නරකම පුද්ගලයන්ගේ පාලනය )

විශේෂයෙන් මේ දිනවල යූ ටියුබ් සමාජ මාධ්‍ය අවකාශයේ SLVLOG යූ ටියුබ් නාලිකාව මඟින් ඉදිරිපත් කරන " DAILY DOSE OF INTERNET "  නම් ඉතාමත් ජනප්‍රිය වැඩසටහන අතරතුරදී මතු වූ එක් විශේෂ වචනයක් වන්නේ "  "Kakistocracy" ( කැකිස්ටොක්‍රසි ) නම් වචනයයි.

සැබවින්ම මෙම සටහන ලියන මා මින් පෙර එම වචනය කෙදිනක හෝ අසා නොතිබුණු අතර එම වැඩසටහනේදී හසලක තුෂාර විසින් kakistocracy පිළිබඳව සිදුකරන ලද කෙටි පැහැදිලි කිරීම ඉතාමත් ආකර්ෂණීය වූ බැවින් ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කිරීම මොළයට ලාභයක් යැයි සිතුණි.

Kakistocracy යන්නට නරකම පුද්ගලයන්ගේ පාලනය යනුවෙන් මා හැඳින්වීමක් ලබා දුන්න ද සැබවින්ම ඒ සඳහා නිශ්චිත වූ සිංහල වචනයක් අපට හඳුනාගත නොහැකි අතර Kakistocracy යන වචනය භාවිත කරණු ලබන්නේ යම්කිසි රටක හෝ සමාජයක සිටින නරකම, මෝඩම පුද්ගලයන් විසින් ගෙන යන පාලනයක් / ආණ්ඩුවක් හැඳින්වීම සඳහාය. නැතිනම් රාජ්‍යයක අවම සුදුසුකම් සහිත, අදක්ෂ කණ්ඩායමක් විසින් ගෙන යන පාලනයක් හැඳින්වීමට මෙම වචනය භාවිත කරයි.

එසේත් නැතිනම් සමාජයක / රටක නරකම මූල ද්‍රව්‍ය එහි පාලන තත්ත්‍රය නියෝජනය කරන්නේ නම් එතනට ද අපට kakistocracy යන වචනය යෙදිය හැකි අතර සැබවින්ම නරකම, අදක්ෂම, මෝඩම, පාදඩම, නුසුදුසුම යන වචන සියල්ල එක්කොට තනි වචනයක් අපට සාදාගත හැකි නම් එම වචනය Kakistocracy යන්න සඳහා ලබා දිය හැකිය. නමුත් මෝඩ කම, අදක්ෂ කම, පාදඩ කම ආදී සියල්ල සඳහා  පොදුවේ නරකම යන්න භාවිතයට  කළ හැකි බැවින් ඒ සඳහා නරකම පුද්ගලයන්ගේ පාලනය යන නම කිසියම් දුරකට හෝ සාධාරණ වෙතැයි සිතමි.

කෙසේ නමුත් මෙහි උත්පත්තිය ගත්විට Kakistos සහ kratos යන ග්‍රීක වචනයන්ගෙන් kakistocracy නිර්මාණය වී ඇති අතර එහි kakistos යන්නෙහි අර්ථය වන්නේ නරකම යන්නය. Kratos යන්නෙහි අර්ථය පාලනය යන්නයි. ඒ අනුව නරකම පාලනය / නරකම පුද්ගලයන්ගේ පාලනය යන අරුත් ගත් kakistocracy පිළිබඳව මූලාශ්‍රවල දැක්වෙන්නේ

මේ සඳහා දිගු ඉතිහාසයක් පවතින බවත් සහ පසුකාලීනව ජනප්‍රිය වූ වචනයක් වන බවය. මෙම වචනය ප්‍රථම වරට ඉතිහාසයේ භාවිත කර ඇත්තේ වර්ෂ 1644 ශාන්ත මරියාහී පෝල් ගොස්ලෝන්ඩ් නම් ලේඛකයකු විසින් වන අතර නමුත් පසු කාලයේ kakistocracy සමාජයට දැනෙන අයුරින් මතුකොට දක්වා ඇත්තේ වර්ෂ 1829 තෝම්ස් ලව්පීකොක් නම් ලේඛකයා විසිනි. ඒ ඔහු රචනා කරන ලද The Misfortunes of Elphin නම් ග්‍රන්ථය හරහාය. කෙසේ නමුත් මුල් කාලයේ මෙම වචනය භාවිත කර ඇත්තේ වංශාධිපතීන්ගේ පාලනය හැඳින්වීම සඳහා වන බව ද මූලාශ්‍ර කියයි.

බොහො විට cracy ( ක්‍රසි ) යනුවෙන් අප වචනයක් අවසන් කලේ හුරු පුරුදු අයුරින් Democracy වන අතර නමුත් kakistocracy ද හුරු පුරුදු වචනයක් ලෙස භාවිතයට එක්කොට ගැනීම කාලීන අවශ්‍යතාවයක් යැයි සිතෙන්නේ සැබවින්ම ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට ද kakistocracy යන නම් වඩාත් හොඳින් ගැළපෙන බැවිනි. එපමණක් නොව kakistocracy යැයි කියූ විට ඒ හා සමගාමී වන තවත් වචනයක් අපට හඳුනාගත හැකි අතර එය නම්
Kleptocracy ය.

kleptocrasy යන වචනය භාවිත කරණුයේ පුරවැසියන්ගේ ධනයෙන් පෝෂණය වන රජයේ මුදල් අවභාවිත කරමින් තම සුඛ විහරණය සඳහා දේශපාලනය බලය පාවිච්චි කරන  පාලකයන්ගෙන් යුත් පාලන තන්ත්‍රයක් හැඳින්වීම සඳහා ය. එම හැඳින්වීම තරමක් සංකීර්ණ සේ පෙනේ නම් keleptocrasy යන වචනය භාවිත කරන්නේ දූෂිත පාලකයින් තම සුඛ විහරණය සඳහා දේශපාලන බලය භාවිත කරමින් ගෙන යනු ලබන පාලනයක් හැඳින්වීම සඳහා ය.

එම වචනයන් ද්විත්වයේ අදහස තේරුම්ගත්විට එක්  අතකට අප රටේ ඕනෑම පුරවැසියකු හට කිව හැක්කේ ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට kakistocracy සහ kleptocracy යන වචනයක් දෙකම එකතුකොට අලුත් නමක් ලබා දිය යුතු බවය. මන් ද ශ්‍රී ලංකාව තුළ kakistocracy සහ kleptocracy ඉතාමත් හොඳින් මතු පිටට පෙනෙන්නට ඇති බැවිනි.

එපමණක් නොව රටේ පාර්ලිමේන්තු මංත්‍රීවරයකුම  පසුගිය දිනෙක මංත්‍රීවරුන් සියල්ලම සොරුන් බව පිළිගත් අතර වැඩි දුරටත් බලන්නේ නම් අධිකරණයෙන්  වරදකරුවන් වූ, විවිධ දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් ණඩු පැවරුණු  පුද්ගලයින් පවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බව අපි දනිමු. එබැවින් ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට kakistocracy සහ kleptocracy යන වචනයන් එකතුකොට අලුත් නමක් ලබා දීම සාධාරණය යන්න විවාදයකින් තොරව පිළිගත හැකි කරුණක් යැයි සිතමි.

කෙසේ නමුත් නැවත කැකිස්ටොක්‍රසි නම් ලිපියේ ප්‍රධාන මාතෘකාවට පිවිසෙන්නේ නම් මූලාශ්‍රවල දැක්වෙන පරිදි දේශාපාලන විචාරකයින් පවසන්නේ kakistocracy යන වචනය යෙදිය හැකි පාලන තන්ත්‍රයන් විශේෂයෙන් ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවල් ආශ්‍රිතව හඳුනාගත හැකි බවත් සහ දියුණුයි සම්මත රටවල් වල ද එක් එක් පාලකයින් යටතේ මෙම වචනය යෙදිය හැකි පාලන ක්‍රමයන් යම් යම් කාල සීමාවන් වලදී හඳුනාගත හැකි බවය. උදාහරණ ලෙස ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය යටතේ පැවතියේ ද kakistocracy ය යනුවෙන් ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටී.

එහිදී ට්‍රම්ප් පාලන සමයේ ඇමෙරිකාවේ ඔහුගේ පාලනය විවේචනය කිරීම සඳහා විවේචකයින් බොහෝ විට ට්‍රම්ට විරුද්ධව භාවිත කරන ලද්දේ kakistocracy යන වචනය වන බව ද සඳහන් ය. කෙසේ නමුත් පොදුවේ ගත් විට මූලාශ්‍රවල දැක්වෙන්නේ ඉතාමත් සාධාරණව kakistocracy යන නම, බොරිස් යෙල්ට්සින් යටතේ රුසියාවට, අබ්දෙල් ෆටා අල් සිසි යටතේ ඊජිප්තුවට සහ රොඩ්රිගෝ ඩුටර්ටේ යටතේ පිලීපීනයටත් යෙදිය හැකි බවය.

Kakistocracy යන වචනයත් සමග ශ්‍රී ලංකාව ගැන සිතන්නේ නම් සැබවින්ම DAILY DOSE OF INTERNET වැඩසටහනේදී හසලක තුෂාර සළකුණු කළ පරිදි ශ්‍රී ලංකාවේ ද ඇත්තේ kakistocracy ය යනුවෙන් කීමට වසර ගණනාවක් තිස්සේ අපට ඕනෑ තරම් සාධක හමුවනවාය යන්න අවිවාදයෙන් යුතුව පිළිගත හැකි කරුණකි.

විශේෂයෙන් ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව උඩු යටිකුරු කරන ලද තීන්දු තීරණ කිහිපයක් ගෙන බැලූ විට, සිංහල රාජ්‍ය භාෂාව කිරීම, පුරවැසි පණත, විවෘත ආර්ථිකය, 13 වන ව්‍යවස්ථා සංශෝධනය, ලාම්පු කළගෙඩි සෙල්ලම, කළු ජූලිය ( මෙම මාතෘකා කිහිපයක් පිළිබඳව මීට පෙර වෙබ් අඩවියේ දීර්ඝ ලිපි කිහිපයක් මඟින් සාකච්ඡා කර ඇති බැවින් ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ඇත යැයි සිතමි, නැතිනම් අවබෝධයක් ලබාගත හැකිය ) ආදී කඩ ඉම් පසුකර අවසානයේ

ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ පොහොර ප්‍රශ්නය, එම නිසා ශ්‍රී ලංකාව සාගතයක් කරා යෑම, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පැය ගණනක් විදුලි කප්පාදුව, කබ්‍රාල් යටතේ මහ බැංකුව, අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීම, සහ ඉන් පසු මෙම ලිපිය ලියන අද දක්වාම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ kakistocracy ය යන්න හඳුනා ගැනීම ඉබතෝකෝටිකයක් නොවේ. මේ සියල්ල අත හැර ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මංත්‍රීවරයකු ඔවුන් සියල්ල සොරුන් බව පිළි ගැනීම යන කාරණය පමණක් වුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ kakistocracy ය යන්න පිළිගැනීමට ප්‍රමාණවත් වේ.

නමුත් මෙතනින් ඉදිරියට තවත් සිතා බලන්නේ නම් Kakistocracy හා සමපාත වන  දූෂිත පාලකයින් තම සුඛ විහරණය සඳහා දේශපාලන බලය භාවිත කරමින් ගෙන යනු ලබන පාලනයක් හැඳින්වීම සඳහා භාවිත කරන keleptocrasy නම් තවත් වචනයක් ඇත. එම නිසා සැබවින්ම ශ්‍රී ලංකාවේ පාලනයට kakistocracy යන නම යෙදීම සාධාරණ නොවේ යැයි විටෙක සිතේ. මන්ද keleptocrasy යන නම ද ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට යෙදිය හැකි බැවිනි.

එම නිසා ශ්‍රී ලංකාවේ පාලනයට ලබා දිය යුතු වඩාත් සාධාරණ නම / වචනය වන්නේ Kakistocracy සහ Keleptocrasy යන ද්විත්වයම එකට සම්බන්ධ වූ වචනයකි / නමකි. එය සමාන්‍යයෙන් " kakiskeleptocarasy " වැනි නමක් විය හැකිය.

Latest