Skip to content

කාලෙන් කාලෙට උපාය මාරු කරන BJP - 1

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පසුගියදා සිය 43 වන සංවත්සරය සැමරීය. සාමාන්‍යයෙන් හින්දු ආගම්වාදී සංවිධානයක් ලෙස නම් දරා සිටින එම පක්ෂය මේ වනවිට වසර 9 ක කාලයක් මුළුල්ලේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවෙහි බලය දරන අතර ප්‍රාන්ත සභා බහුතරයක ද බලය එම පක්ෂය සතු වේ.

භාරතීය ජනතා පක්ෂය බිහිවීමට බලපෑ කරුණු සහ එහි වසර 43 ක් වූ ඉතිහාසය පිළිබඳ නැවත හැරී බැලීම කරුණු කිහිපයක් හේතුවෙන් වැදගත් වේ. එක් අතකින්, එක්තරා කලෙක ඉන්දියානු දේශපාලනයෙහි අවශේෂ කණ්ඩායමක් ලෙස පැවතී සිට බලය අල්ලාගැනීම සහ එය කාලයක් තිස්සේ රඳවාගැනීම දක්වා එහි ගමන් මග සුවිශේෂී වේ. එමෙන්ම විවිධ අවස්ථාවන් හි තමන්ට වඩාත්ම ගැලපෙන උපක්‍රම තෝරා බේරාගැනීම උදෙසා එම පක්ෂය කළ උත්සාහය ද හැදෑරිය යුත්තකි.

බීජේපී ආධාරකරුවන් පිරිසක්

එමෙන්ම හින්දු හදබිම ලෙස සැලකෙන ප්‍රාන්තවලින් ඔබ්බෙහි පිහිටි ප්‍රාන්තවල සිය බලපෑම ව්‍යාප්ත කිරීම සඳහා එම පක්ෂය අනුගමනය කළ උපක්‍රම වෙනමම දේශපාලන පාඩම් අපට කියා දෙයි. කෙසේ වෙතත්, එම ප්‍රාන්ත පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපිය දීර්ඝ සහ සංකීර්ණ කිරීමට හේතු වන හෙයින් එය පසු දිනෙක සාකච්ඡා කිරීම සඳහා ඉතිරි කරන්නට ඔබ අවසර දෙනු ඇතැයි සිතමි.

භාරතීය ජනතා පක්ෂය (බීජේපීය) බිහිවීම

භාරතීය ජනතා පක්ෂය හෙවත් බීජේපීයෙහි මූලය පවතින්නේ 1951 දී ස්ථාපිත කරන ලද භාරතීය ජන සංග් නම් පක්ෂය තුළ ය. එම පක්ෂයෙහි මූලය වන්නේ හින්දු ආගම්වාදී සංවිධානයක් ලෙස සැලකෙන රාෂ්ත්‍රීය​ ස්වයම්සේවක් සංග් (RSS) යන සංවිධානයෙහි ය. භාරතීය ජන සංග් (BJS) යනු RSS සංවිධානය විසින් මැතිවරණ දේශපාලනය උදෙසා පිහිටුවාගත් පක්ෂය ලෙස හැඳින්වීමේ වරදක් නොවේ.

භාරතීය ජන සංග් සලකුණ​

1975 හදිසි නීතිය අවස්ථාව වනතුරු BJS පක්ෂය හා අන් බොහොමයක් පක්ෂ අතර විශාල හිතවත්කමක් නොවිණ. 1967 දී ඇතැම් ප්‍රාන්තවල කොන්ග්‍රස් පක්ෂ විරෝධී කණ්ඩායම් විසින් "කොන්ග්‍රස් මුක්ත්" (කොන්ග්‍රසය රහිත) ආණ්ඩු නිර්මාණය කරද්දී ඇතැම්විට BJS හි දායකත්වය ලැබුණ ද එම ආණ්ඩු වැඩිකල් නොපැවැත්තේ ය.

කෙසේ වෙතත් 1975 දී ඉන්දිරා ගාන්ධි විසින් හදිසි තත්ත්වය ප්‍රකාශ කර විපක්ෂ ක්‍රියාකාරීන් සිරගත කළවිට තත්ත්වය වෙනස් වූයේ ය. සිරගත වූ පිරිස සංඛ්‍යාත්මක ලෙස ගතහොත් ඉන් වැඩිදෙනා BJS හා RSS සාමාජිකයෝ වූහ. ඔවුන් සහ අන් විපක්ෂ කණ්ඩායම් අතර මුලදී තිබුණු එදිරිවාදිකම් සිරගෙවල්වල ඇතිවූ සාකච්ඡා සහ සංවාද අතර කෙමෙන් සමනය විය. එකල ඇතිවූ ඇතැම් දේශපාලනික මිත්‍රත්වයන් දශක කිහිපයක්ම පැවැතියේ ය.

1977 දී ඉන්දිරා ගාන්ධි කඩිමුඩියේ මැතිවරණයක් කැදවූවා ය. ඇය බලාපොරොත්තු වූයේ විපක්ෂය සංවිධානය වීමට පෙර මැතිවරණය පවත්වා ජයග්‍රහණය කිරීම ය. නමුත් ජයප්‍රකාශ් නාරායන්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ කණ්ඩායම් ඒකරාශී වෙමින් ජනතා පක්ෂය පිහිටුවාගන්නා ලදී. එයට එක්වූ ප්‍රධාන පක්ෂ හතරෙන් එකක් වූයේ BJS ය.

මෙම සන්ධානයට BJS සම්බන්ධ වන්නේ නම් ඊට එක්වීමට ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය අකමැති විය. මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයට (Communist Party of India (Marxist)) ද සැලකියයුතු සංවිධාන ශක්තියක් තිබුණ ද එය ප්‍රාන්ත කිහිපයකට සීමාවී තිබුණි. එමෙන්ම බටහිර බෙංගාලය හැරුණුවිට එම ප්‍රාන්ත හින්දු හදබිමෙහි වූ ප්‍රාන්ත නොවී ය. ජයප්‍රකාශ් නාරායන් ජනතා පක්ෂය උදෙසා BJS හි වැදගත්කම පිළිබඳ මාක්ස්වාදී කොමියුනිස්ට්වාදීන් වෙත පැහැදිලි කළේ තමන්‍ට පක්ෂ තිබුණ ද ඒවායේ සංවිධානයන් ශක්තිමත් නොවන බවත් BJS සහ RSS සතු සංවිධාන ශක්තිය තමන්ට අත්‍යවශ්‍ය බවත් පවසමිනි.

1977 මහමැතිවරණයෙන් ජනතා පක්ෂය විශිෂ්ට ජයක් ලැබූ අතර මොරාජි දේසායි අගමැති ධුරයට පත්විය. BJS හි අටල් බිහාරි වජ්පායි විදේශ ඇමති ලෙස පත්විය.

ඉන්දියාවේ පළමු කොන්ග්‍රස් නොවන අගමැති මොරාජි දේසායි (දකුණේ) වැඩබලන ජනාධිපති බී.ඩී. ජට්ටි ඉදිරියේ දිවුරුම් දෙයි

ජනතා පක්ෂ ආණ්ඩුවේ ඉතිහාසය එක් එක් නායකයින්ගේ කුළල් කාගැනීම් පිළිබඳ කතාන්දරයක් බවට පෙරළිණ. දේසායි, චරන් සිං සහ ජග්ජීවන් රාම් මෙහි ප්‍රධාන පැටලිලිකාරයෝ වූහ. අටල් බිහාරි වජ්පායිගේ නායකත්වය යටතේ භාරතීය ජන සංග් පක්ෂය මෙයින් ඈත්ව සිටින්නට සමත් වූයේ ය.

1980 මහමැතිවරණයට එළඹෙන විට ජනතා පක්ෂය සී සී කඩ වී තිබුණි. එහි ඉතිරිව සිටි පිරිස තනිව තරග කර ආසන 31 ට බැස්සෝ ය. ඉන් ආසන 16 ක් දිනූයේ ජන සංග් පාක්ෂිකයෝ ය. මේ අනුව එම පක්ෂයේ නිගමනය වූයේ තමන් තනිව දේශපාලන අනන්‍යතාවය ගොඩනගාගෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වියහැකි තැනක සිටින බව ය. පැරණි නම පසෙක ලා අලුතින් භාරතීය ජනතා පක්ෂය ලෙස සන්නාමකරණය වූ නව පක්ෂය 1980 අප්‍රේල් 6 වනදා ස්ථාපිත කරන ලදී. කෙසේ වෙතත්, තවදුරටත් එහි ආධ්‍යාත්මික මූලය වූයේ RSS සංවිධානය යි.

Latest