Skip to content

ක්‍රිකට් ලෝකය උණුසුම් කළ ජොනීගේ දැවී යෑම

ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා පසුගිය දිනවල ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වී තිබුණ ද මේ වන විට නැවතත් හිටි හැටියේම අළු බඳුන තරඟාවලිය සඳහා ඔවුන්ගේ අවධානය යොමු වී තීබ්ම හඳුනාගත හැකිය. ඒ එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාස්ටෝගේ දැවී යාමත් සමඟය.

මේ වන විට අළු බඳුන තරඟාවලියේ තරඟ දෙකක් පවත්වා අවසන් අතර තරඟ දෙකෙහිම ජයග්‍රහණය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට හැකියාව ලැබී ඇත. මෙම සිදුවීම සිදුවන්නේ අළු බඳුනේ දෙවන තරඟයේ දීය. ජොනි බෙයාස්ටෝ මෙම තරඟයේදී ඉතා අවසනාවන්ත ලෙස දැවී යන අතර බෙයාස්ටෝගේ එම දැවී යෑම නිවැරදි ද ? එහි ඇති නීතිය කුමක් ද? ආදිය පිළිබඳව ක්‍රිකට් ලෝකයම මේ වන විට සාකච්ඡා වෙමින් ඇත. සැබවින්ම එම දැවී යෑම විස්තර කිරීමට වඩා සුදුසු වන්නේ එය නැරඹීම මඟින්ම අවබෝධ කර ගැනීමය.

0:00
/

බෙයාස්ටෝගේ මෙම දැවී යෑම සිදුවන්නේ තරඟයේ 52 වන පන්දුවාරයේ දී වන අතර කැමරන් ග්‍රීන් ජොනී බෙයාස්ටෝ හට බවුන්සර් පන්දුවක් එල්ල කරයි. ඔහු පන්දුව මඟ හැර ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නා දෙස නොබලා  සීමා ඉරෙන් තරමක් ඉදිරියට පැමිණෙන්නේ තම සහායක පිතිකරුවා සමහ සාකච්ඡා කිරීමට වන අතර එවිට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුළු රකින්න කඩුල්ල බිඳ හෙලනු ලබයි. අවසානේ ජොනී බෙයාස්ටෝ දැවී ගිය පිතිකරුවකු ලෙස තෙවන විනිසුරු සංඥා කරණු ලබයි.

මේ නිසා බොහෝ පිරිසක් පුදුමයට පත් වූ අතර එක් පිරිසක් මෙම දැවී යෑම වැරදි බවටත් එය මහත්මා ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් බවත් පවසන්නට වූ අතර තවත් පිරිසක් ක්‍රිකට් නීතියට අනුව මෙම දැවී යෑමේ කිසිදු වරදක් නැතැයි තර්ක කරන්නට විය.

සැබවින්ම මෙම දැවී යෑම ක්‍රිකට් නීතියට අනුව සැබෑම දැවී යෑමකි. මන්ද ක්‍රිකට් භාෂාවෙන් පවසන්නේ නම් පන්දුව ඩෙඩ් වීමට ප්‍රථම බෙයාස්ටෝ සීමා ඉරෙන් ඉදිරියට පැමිණි බැවිනි. ඩෙඩ් වීම යනු පන්දුවක් යවා නිසි ලෙසම අවසන් වීමය. පන්දුව ඩෙඩ් බව තීරණය කරණුයේ පිටියේ විනිසුරන් හෝ පන්දු රකින කණ්ඩායමේ ක්‍රීඩකයන් ය. පිතිකරුවාට එය තීරණය කිරීමට අයිතියක් නැත. බෙයාස්ටෝ සිදු කරන්නේ කඩුළු රකින්නා දෙස හෝ නොබලා ඉදිරියට ඇවිද යෑමය. සමහරවිට කඩුළු රකින්නා දෙස බැලුවේ නම් පන්දුව ඩෙඩ් යැයි තීරණය වීමට ඉඩ තිබුණි.

මෙවැනිම සිද්ධියක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති ටෙස් තරඟයක දී මීට පෙර ද සිදු වූ අතර එහිදී කුමාර සංගක්කාර ලකුණක් ලබා පන්දු යවන අන්තයට සිය පැති මාරු කරගන්නට විය. ඉන්පසු මුත්‍තයියා මුරලිදරන් විකට් රකින්නා දෙසට දුවගෙන එන අතර ඔහු සීමා ඉර සලකුණු කර නැවත් කිසිවකු දෙස නොබලා කුමාර සංගක්කාර හට සුභ පැතීමට යන්නට විය. එවිට එවකට නවසීලන්ත කණ්ඩායමේ කඩුළු රකින්නා වූ බ්‍රෙන්ඩම් මැකලම් සිදු කරන්නේ කඩුළු බිඳ දැමීම වන අතර මුරලි හටද දැවී යන්නට සිදු විය.

එම නිසා ක්‍රිකට් ලෝකයම උණුසුම් කළ මෙම සිද්ධිය සැබවින්ම ක්‍රිකට් නීති අනුව කිසිම ගැටළුවක් නැති දැවී යෑමකි.

Latest