Netflix හරහා තිරගත වන Black Mirror ටෙලි කතා මාලාවේ Season 06 වල එන පළමු එපිසෝඩය තමයි "Joan is Awful" කියන්නේ. අපේ ව්‍යවහාරයේ යෙදෙන භාෂාවෙන් කියනවනම් එපිසෝඩ් එක බැලුවට පස්සේ ට්‍රැක පැන්නවීමකට ලක්වෙලා තමයි මමනම් ඉන්නේ. කතාව දිගහැරගන්න මේ විදිහේ ආරම්භයක් ගමු. හිතන්න ඔයාගෙ නම Joan. Gender එක මොකක්ද කියන කාරණාව අපි පසෙකින් තියමු. ඔයා දවස පටන් ගන්නේ කොහොමද? උදේ නැගිටලා fiancé ටත් අතින් තට්ටුවක් හරි දාලා දත් මැදගෙන එහෙම උදෑසන කෑම මේසයට එනවා. fiancé හදලා දෙන රසම රස උදේ කෑම එකෙන් සප්පායම් වෙලා තමන්ගේ වාහනෙන් සින්දුවක් එහෙම දාගෙන ඒක මුමුණ මුමුණ චිල් එකේ වැඩට යනවා.
ඔෆිස් එක කියන්නෙ කොහොමත් ස්ට්‍රෙස්ෆුල් තැනක් නෙ. ආයතනික හේතූන් මත සේවකයෙක් ගෙදර යවන්නත් ඔයාට සිද්ධ වෙනවා. දැන් තමයි ටික ටික සංකීර්ණත්වය කියන කාරණාව මේ එපිසෝඩ් එක වෙලා ගන්නේ. අපි ඉතින් පෘථග්ජන මිනිස්සුනේ. ඔයාගේ Ex ඔයාව හම්බවෙන්න උවමනායි කියනවා. fiancé කෙනෙක් හිටියත් වැරැද්දක් කරන්නෙ බව දැන දැනම ඔයා එයාව මුණගැහෙනවා. එයාගෙ ඉල්ලීම වෙන්නේ ආපසු එයත් එක්ක එන්න. එයාගෙ එපාර්ට්මන්ට් එකේ ඉන්න පුලුවන් ඔයාට රැකියාවට යන්න උනත් බොහොම පහසුයි වගේ ඉල්ලීම් ටිකක්. එකවර එම ඉල්ලීම අනුමත නොකලත් ඔයා Ex ට හාදුවක් දීල ගෙදර එනවා.
fiancé නම් ඉතින් මේ කිසිවක් දන්නේ නැහැ. පුරුදු විදිහට රාත්‍රී ආහාරය එහෙම අරගෙන රූපවාහිනිය ඉදිරියෙ වාඩි වෙලා තමන් ආසම streaming service එකේ සීරියස් ස්වයිප් කර කර ඉද්දී කොහොමද ඔයාට දකින්න ලැබුණොත් ඔයාගෙ නමින් ඔයාගෙ පෙනුමටත් බොහොම සමානකම් ඇති කෙනෙක්ගේ කවර් එකකින් Joan is Awful වගේ Title එකක්. දැන් තමයි හීන් දහඩිය දාන විදිහට වැඩ සිද්ධවෙන්නේ. ඔයාගෙ අද දවස ගෙවුණු විදිහ තමයි එපිසෝඩ් එකේ යන්නෙ. අකුරක් නෑරම සිද්ධ වුණ හැම දෙයක්ම ඒ විදිහටම. දැන් ඇති. කතාව ස්පොයිල් කරන එක සුදුසු වැඩක් නෙවෙයි.
2023 ජුනි 15 තමයි Black Mirror Season 06, Netflix හරහා තිරගත වීම ආරම්භ වුණේ. මිනිසුන් හැසිරවීමට සහ ඔවුන්ගේ ජීවිත පාලනය කිරීමට තාක්ෂණය භාවිත කල හැකි ආකාරය නම් ඇත්තෙන්ම පුදුමාකාරයි. එක වෙලාවකට යතාර්ථය කියන්නේ මොකක්ද කියන කාරණාවම ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරාවි. අපි මේ ඉන්නේ සිමියුලේෂන් එකක ද කියලත් ඔයාලට හිතෙන්න පුලුවන්. (පුද්ගලිකව මම සිමියුලේෂන් තියරිය විශ්වාස කරන කෙනෙක් 80%ක්ම වගේ) මේ එපිසෝඩ් එකේ තියෙන විශේෂත්වය කුතුහලයෙන් පිරී ගිය කතාව විතරක් නෙවෙයි. මේ පිටුපස තිබෙන ක්වොන්ටම් පරිගණක තාක්‍ෂණය. ඇග හිරිවැටිලා යන සිද්ධිය තමයි ක්වොන්ටම් පරිගණකයක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට තිබෙන්නේ අවසානම අදියර වල වීම. පහළ තිබෙන වීඩියෝව අවසන් වෙනකන් බලල එන්න.
මොකක්ද මේ ක්වොන්ටම් පරිගණකයක් කියන්නේ? සරලවම කියනවනම් ගණනය කිරීම් සිදු කරන්න ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ මූලධර්ම භාවිතා කරන පරිගණකයක් තමයි මෙලෙසින් හඳුන්වන්නේ. පරමාණුක සහ උපපරමාණුක මට්ටම් වල පදාර්ථයේ හැසිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමනෙ මෙහි සංකල්පය. අපි දන්න දෙයක් තමයි එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය පරිගණක වල තිබෙන්නේ Transistors කියන කාරණාව. නමුත් ක්වොන්ටම් පරිගණකයක මූලිකම දත්ත ඒකකය වන්නේ Qbit. (Quantum bit) Qbit එකක් සෑම විටම පිහිටන්නේ අතරමැදි අවස්ථාවක නැතිනම්, superposition එකක. අදහස තව ටිකක් ලිහිල් කලොත් (1 0) අවස්ථා දෙකෙහිම එකවර පවතින්න පුලුවන්. ඒ කියන්නේ දත්ත දෙකක් අඩංගු කර තියන්න පුලුවන් හැකියාව Qbit එකක තිබෙනව. ඉතින් මේ ගුණාංගය නිසා ක්වොන්ටම් පරිගණකවලට සම්භාව්‍ය පරිගණකවලට වඩා බොහෝ වේගයෙන් ගණනය කිරීම් සිදු කරන්න පුලුවන්. මේ ගැන ඉතාමත්ම පැහැදිලි වටිනා අදහසක් ඔයාලට එකතු කරගන්න; ජෙයෂ්ඨ කථිකාචාර්‍ය රුචිර විජේසේන මහත්මයා යූටියුබයට පළ කරල තිබෙන වීඩියෝවක් පහතින් අමුණන්නම්.
encrypt කරල තියෙන මුරපද වගේ දේවල් බිඳල දාන එක මේ පරිගණකයට බොහොම පහසු කටයුත්තක් වෙයි. සයිබර් ආරක්‍ෂාවට නම් බලපෑමක් තමයි, නමුත් ඉදිරියට එන්න නියමිත තාක්‍ෂණයේ දියුණුව ඒ වගේ එකක්. සංකීර්ණ භෞතික පද්ධති (අණු සහ ද්‍රව්‍ය) simulate කිරීමේ හැකියාවත් මේ තුල තිබෙනව. මෙය රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ ක්‍ෂේත්‍ර වල නව සොයාගැනීම් වලට තුඩු දෙන්නක් වෙන බව නම් නොඅනුමානයි. වීඩියෝවේ රුචිර සර් පැහැදිලි කරනවා වගේම ලකුණු දෙකක් අතර කෙටිම මාර්ගය විවිධ ක්‍රම භාවිත කරල ඉතාම ඉක්මනින් සොයාගන්නවා කියන එකත් ක්වොන්ටම් පරිගණක වලට හරිම පහසුයි. මේ නිසාම ඉදිරියේදී ප්‍රවාහනය හා සම්බන්ධ කර්මාන්තවල දැවැන්ත වෙනස්කම් ඇති වෙන්නත් පුලුවන්.
ක්වොන්ටම් පරිගණකය පිලිබඳ ඉදිරියෙන්ම සිටින සහ කටයුතු කරන ආයතනය වන IBM ආයතනයත් විශේෂයෙන්ම සඳහන් කල යුතුමයි. ලිපිය තරමක් කෙටි වුණේ ඇත්තෙන්ම මමත් මේ පිළිබඳව කරුණු ගවේෂණයක ඉන්නා නිසා බව මතක් කරන්නම ඕන. එහෙනම් රසබර ලිපියකින් නැවත හමුවෙමු!