Skip to content

‌උද්ඝෝෂණයන්, වර්ජනයන් යට සැඟවුනු ජපුරේ හැකියාවන් ...

‌උද්ඝෝෂණයන්, වර්ජනයන් යට සැඟවුනු දක්ෂතා ඇති පිරිසක් විශ්වවිද්‍යාලය තුලත් සිටින බව සනාථ කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය  කරන ලද උත්සවයන් කිහිපයක්ම පසුගිය දින කිහිපයක් තුල එම විශ්වවිද්‍යාලයීය භූමියේදී පැවැත්විණ.

ඉන් එක් උත්සවයක් වූයේ ජපන් උත්සවයයි. මෙය "බෝන් ඔදෝරි" ලෙස නම් කර තිබිණ.   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය  මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ජපන් භාෂා අධ්‍යයන අංශය විසින් පළමු වරට එය සංවිධානය කර තිබිණ.

බෝන් ඔදෝරි යනු ජපානයේ මළවුන්ගේ ආත්මයන් පිළිගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන නැටුම් විශේෂයකි. එය වසර 600ට වඩා දීර්ඝ ඉතිහාසයකටද හිමිකම් කියන්නේය.

මෙහිදී විශ්වවිද්‍යාලයීය සිසුවියන් ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම් විශේෂයක් වන කිමෝනා වස්ත්‍රයෙන් සැරසී සිටීම එදින රාත්‍රියේ එය නරඹන්නට පැමිණි පිරිසටද ගෙන දුන්නේ නැවුම් අත්දැකීමකි. මෙම උත්සවය ජපානයේ සාම්ප්‍රදායික නැටුම් , බෙර වාදන මෙන්ම ගී ගායනවන් රැසකින්ම අලංකාර වී තිබිණ. උත්සවයේ විශේෂත්වයක් වූයේ එහි පැවති සාමුහික නර්ථනයන් කිහිපයකටම උත්සවය නැරඹීමට පැමිණ සිටි පිරිසද දායක වීමය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය  මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ජපන් භාෂා අධ්‍යයන අංශයේ ජපන් භාෂා ආචාර්යවරිය වන මහාචාර්ය සමන්තිකා ලොකුගමගේ සඳහන් කලේ සිය විශ්වවිද්‍යාලයීය ජපන් භාෂාව හදාරන සිසුන්ට භාෂාව පමණක්ම නොව ජපානයේ සංස්කෘතිය පිළිබඳව ද අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙවැනි උත්සවයක් සංවිධානය කළ බවය.

ජපුර සිසුන් විසින් සංවිධානය කර තිබූ අනෙක් වැඩසටහන වූයේ , ඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම උදෙසා  ඉදිරිපත් කර තිබූ "ජපුර කඩ මන්ඩිය " නම් වෙලඳ පොළය.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් මේ වනවිටත් විවිධ වූ නිර්මාණ හැකියාවන් වල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය නිර්මාණයන්  ව්‍යාපාරික  අවස්ථාවක් ලෙස මහජනතාව වෙත විවර කරදීමේ අරමුණින් සහ රටට අවශ්‍ය නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින්  මෙම ජපුර කඩ මන්ඩිය සංවිධානය කර තිබිණ.

මෙහි සංවිධායකයන් වන විශ්වවිද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ නිල්ධාරීන් සඳහන් කලේ ප්‍රථම වරට  පවත්වන ලද මෙම ජපුර කඩ මණ්ඩිය වෙළඳ පොල ඉදිරියේදී  සෑම මසකම අවසන් සතියේදී  පැවැත්වීමට කටයුතු සිදු කරන බවත් ඉදිරියේදී   ඒ සඳහා උනන්දුවක් දක්වන අනෙකුත් සිසුන්ටද මේ සඳහා සහභාගී විය හැකි බවත්ය.

මෙම කඩ මණ්ඩිය වෙළඳ ප්‍රදර්ශනය තුල විකිණීම සඳහා චිත්‍ර , අත්කම් නිර්මාණ ආදී අඩංගු වෙළඳ කුටි මෙන්ම  ආහාර වර්ගයන් සහිත වෙළඳ    කුටිද ඉදිරිපත් කර තිබිණ. විකිණීම සඳහා ඉදිරිපත් කරතිබූ   නිර්මාණයන් සියල්ලම විශ්වවිද්‍යාලයීය සිසුන්ගේම නිර්මාණයන් විය.

එමෙන්ම මෙහිදී පැමිණ සිටි ජනතාවට සංගීත රසය ලබා දුන්නේද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැදුම්ලත් පිරිසක් වීමද විශේෂත්වයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජේෂ්ඨ මහාචාර්‍ය් පත්මලාල් එම් මානගේ , කොළඹ විශ්වවිද්‍යාලයේ  උප කුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න , ජපාන නියෝජිතයන් ,   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය මාර්ග උපදේශක ඒකකයේ අධ්‍යක්ෂ     මහාචාර්ය සුදත් මංජුල අමරසේන , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ startup hub නිර්මාතෘ මහාචාර්ය හිරාන් අමරසේකර ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Latest