Skip to content

46 දෙනෙකු එකතුවී ජනක රත්නායක ගෙදර යවයි

‌මහජන උපයෝගීතා කොමිසන් සභාවේ  සභාපති ජනක රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන්  ඉවත් කිරීමේ යෝජනාව වැඩි ජන්ද  46කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) සම්මත විය. යෝජනාවට පක්ෂව ජන්ද 123ක්ද විපක්ෂව ජන්ද 77ක්ද ලැබී තිබිණ.

මෙහි විශේෂත්වය නම් යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න ,  නිමල් ලන්සා , ඒ එල් එම් අතාවුල්ලා, යන මන්ත්‍රීවරු ද ඒ එච් එම් ෆවුසි , කුමාර වෙල්ගම , වඩිව්වේල් සුරේෂ් මන්ත්‍රීවරුන්ද ජන්දය භාවිතා කිරීමය.

සජබය, ජාතික ජන බලවේගය , නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් නීති විරෝධී රත්‍රන් සහ ජංගම දුරකථන  මෙරටට ගෙන ඒමේ චෝදනාවට ලක්වූ පුත්තලම් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී  රහීම් මෙහිදී යෝජනාවට විපක්ෂව සිය ජන්දය භාවිතා කර තිබිණ. එවගේම දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු ජන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල නොසිටියහ.

මෙරට විදුලි බල කර්මාන්තයේ ප්‍රධානම නියාමන ආයතනය ලෙස 2002 වසරේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කර ඇති මහජන උපයෝගීතා සභාවේ මූලික අරමුණ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ජනක රත්නායක මහතා එහි සභාපති ධූරය සඳහා පත් කරනු ලැබ ඇත්තේ 2021 වසරේය.

සිය ඉවත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති සාකච්චාවක් කැඳවමින් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා කියා සිටියේ පැරදුනේ තමන් නොව ජනතාව බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි තුන්දෙනෙක් එකතු වී මෙරට සමස්ත ජනතාවම පරාජයට පත්කළ බවත් නිරන්තරයෙන් ජනතාවගේ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි  තමන් ඉදිරියටත්  ඒ ආකාරයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව  ඔහු පවසයි.

ජනක රත්නායක, මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවකට අග්‍රවිනිශ්‍යකාරවරිය වන ශිරානි බණ්ඩාරනායක මහත්මිය දුරයෙන් පහ කිරීම සඳහා වන යෝජනාවලියේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද කටයුතු කර ඇත.

Latest