Skip to content
Muthuvel Pandian කියන්නේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. තාත්තගෙම අඩි පාරේ ගිහින් පොලිස් නිලධාරියෙක් වුන මුතුවෙල් ගේ එකම පුතා ACP Arjun Pandian, දේව ප්‍රතිමා හොර රහසේ ගෙනැවිත් පිටරට ගැනුම්කරුවන්ට අලෙවි කරන වර්මන් සහ ඔහුගේ මැර කල්ලිය ගැන විමර්ශනයක් කරනවා. විමර්ශනයෙන් වර්මන් ගැන සියලු තොරතුරු අනාවරණය කරගෙන වර්මන්ව අත්අඩංගුවට ගැනීමට ආසන්න වෙද්දී හදිස්සියේම Arjun Pandian අතුරුදහන් වෙනවා. ඔහුව වර්මන් ඝාතනය කර ඇති බව පොලිස් දෙපර්තුමෙන්තුවම අනුමාන කරන නමුත් එම පුවත වසන් කිරීමට ඔහු  සියදිවි නසා ගන්නට ඇතැයි යනුවෙන් කටකතාවක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රචාරය කරගෙන යනවා. Muthuvel Pandian තම පුතාගේ  තම පුතාගේ මිනීමරුවන් සොයන්න දැඩි උත්සාහයක යෙදෙනවා. එකේ ප්‍රතිඵලයක් විදිහට Muthuvel Pandianගේ ජීවිතය වෙනමපැත්තකට හැරෙනවා. හැබැයි ඒ ඔහුට හුරුපුරුදු විදිහක්....

එක නිර්මාණයක් ඇතුලේ සිනමාවේ වීරයෝ සැහෙන්න පිරිසක් දකින්න පුලුවන්නම් ඒ නිර්මාණය කොච්චර ආකර්ෂණිය වෙයිද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. Jailer.., දමිළ සිනමාවේ King විදිහට සලකන Rajinikanthගේ නවතම නිර්මාණය.

Mohanlal, Shiva Rajkumar, Jackie Shroff, Tamannaah, Naga Babu, Vinayakan, වගේ අපි දකින්න ආස කරන සුපිරි සිනමා තරු රැසක් Jailer එක්ක ඇතුලේ රංගන දායකත්වය ලබාදීලා තියනවා. කතාවේ ප්ලොට් එකටත් වැඩිය වැඩිපුරම මම ආසම කෑල්ල වෙන්නේ Rajinikanth, Mohanlal සහ Shiva Rajkumar ගේ චරිත එකම තැනක දකින්න ලැබුන එක. ඇත්තටම ඒ වයසක මිනිස්සු තුන් දෙනාගෙ screen presence එක  මාරයි.

නිර්මාණයක  වීරයා කරලියට එද්දී විස්ල් ගහලා, අත්පුඩි ගහලා තම සතුට පල කරන එක කොලිවුඩ් සිනමා ලෝලීන්ගේ විදිහ. මම මේ කියන දේ  සිනමා ශාලාවලට ගිහින් චිත්‍රපටි නරඹන අය සැහෙන්න අත්විඳලා ඇති. මේ අත්දැකීම කොලිවුඩ් සිනමා ලෝලියෙක් එක වරක් හරි ගන්නම ඕනි අත්දැකීමක්. ඉතින් කොලිවුඩ් සිනමාව ඇතුළෙ "මාස් කින්ග්" විදිහට හඳුන්වන මේ තුන් කට්ටුව තනි ස්ක්‍රීන් එකක දකිනකොට ඒ වදින විසිල් එක චියර් එක ආයෙ ඉතින්...

අතේ ඇඟිලි වලින් අල්ලන් ඉන්න සුරුට්ටුව දෙපාරක් විතර කැරකිලා තොල් අස්සෙ හිරවෙද්දී ප්‍රේක්ෂකගාරයම ඔල්වරසන් දෙන ඒ සුපිරි තරු Rajinikanth, තව විදිහකට කියනවනම් අවුරුදු 73ක තරුණයා තාමත් ඕඩියන්ස් එක හොල්ලනවා.

ඒ වගේම තමයි Kaavaalaa සින්දුවට සුරූපී  Tamannaah ගේ නර්තනය. මේ සින්දුවේ වගේම මුළු ෆිල්ම් එකේම සංගීත අධ්‍යක්ෂණය සිදුකරලා තියෙන Anirudh Ravichander. ඔහු කොලිවුඩයට විතරක් නෙමෙයි, මුළු ඉන්දීය සිනමාවටම නැතිව බැරි ඇති දක්ෂ Music Director කෙනෙක්. කතාවේ අධ්‍යක්ෂණය සහ තිර රචනය කරලා තියෙන්න Nelson Dilipkumar.

මේ වෙද්දී Imdb තුල 7.2/10ක රේටින් අගයක් වගේම Rotten Tomatoes මීටරයේ අගය 50% ක් හා ප්‍රේක්ෂක අගය 89% ලබා ඇති මේ මේ සිනමා නිර්මාණය එහි ආරම්භක දිනයේ දී රුපියල් කෝටි 72 ක් (US$ මිලියන 9) උපයාගෙන තියනවා. එතනින්  කෝටි 52 ක්ම ඉන්දියාවෙන්. ආරම්භක දින ආදායම  කේරලයේ රුපියල් කෝටි 5.85ක්, තමිල්නාඩුවේ රුපියල් කෝටි 23ක්, තෙළිඟු ප්‍රාන්තවල රුපියල් කෝටි 10ක්,  උතුරු ඉන්දියාවේ කෝටි 4.5ක්, කර්නාටකයේ රුපියල් කෝටි 11ක් සහ  ත්‍යන්තරව රුපියල් කෝටි 40ක් විදිහට තමයි සඳහන් වෙන්නේ.  ආරම්භක සිනයෙන් සිනා 11ක් ගතවන විට , Jailer තමිල්නාඩුවේ රුපියල් කෝටි 194.7ක්, ආන්ද්‍ර සහ තෙලංගනාවේ රුපියල් කෝටි 75ක් වගේම  කර්නාටකයෙන් රුපියල් කෝටි 60ක මුදලක් උපයාගෙන තියනවා.

Latest