Skip to content

ජාතික රක්ෂණ බාර අරමුදල රජයේ සේවකයින්ට පොල්ලක් තියයිද? ලංකා ගුරු සංගමය විමසයි.

ජාතික රක්ෂණ බාර අරමුදල ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් දිගින් දිගටම මග හරිමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක රවීන්ද්‍ර රණවීර මහතා සදහන් කරයි.

Getpeakonline වෙබ් අඩවියට අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය‍.

ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ගුරුවරුන්ට දිගින් දිගටම රක්ෂණ වන්දි මුදල් නොගෙවා සිටීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 14 දා අප රක්ෂණ භාර අරමුදලෙ ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ඔවුන් මාස තුනක් ඇතුළත මේ ගැටලු විසඳීමට එකඟතාවය පළ කළා.නමුත් මේ වන තෙක් එම ගැටලු විසඳීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. පසුගිය දිනක කෝප් කමිටුව හමුවට රක්ෂණ භාර අරමුදල කැඳවමින් කෝප් කමිටුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමට කටයුතු සැළසුනා. විශේෂයෙන්ම මේ වන විටත් 60000 ආසන්න ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වන්දි මුදල් ගෙවීම් ගොඩගැසී ඇති බවත් මේවා කඩිනමින් ගෙවා අවසන් කළ යුතු බවත් තමන්ගෙ වන්දි මුදල් පිළිබඳව තොරතුරු විමසීමට දුරකථන ඇමතුම් ලබා ගන්නා රජයේ සේවකයන්ට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු බවත් කෝප් කමිටුව විසින් පෙන්වා දුන්නා.

ඒ වගේම මේ වන විටත් ජාතික රක්ෂණ භාර අරමුදලේ රුපියල් බිලියන 51 මුදල් වලට සිදු වූ දෙයක් සොයා ගත නොහැකි පසුබිමක ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් ද ක්‍රියාත්මක බවයි දැන ගන්නට ඇත්තේ.

ශ්‍රී ලංකාවේ රජය සේවකයන් ලක්ෂ 14ක් පමණ සිටින අතර ඔවුන් සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම රාජ්‍ය සේවයට එක්වීමේදී මෙම රක්ෂණ භාර අරමුදලට දායක විය යුතුය ඒ අනුව මෙම රක්ෂණ වාරික මුදල් ලෙස අයකරන අවම මුදල වන රු 125 බැගින් ලක්ෂ 14 ක් ඉන් මසකට අය කළ විට එහි මුළු වටිනාකම දාහත් කෝටි පනස් ලක්ෂයක් ඉක්මවනවා. මෙවැනි විශාල මුදල් කන්දරාවක් එකතු වන ආයතනයක් වන රක්ෂණ භාර අරමුදල රක්ෂිතයන් ට හිමි වන්දි මුදල් නොගෙවා පැහැර හැරීම විමතියට කරුණක්.

මේ සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් විධියටත් සමස්ත රාජ්‍ය සේවකයන් විදිහටත් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාමාර්ගයකට එළැඹීමට අප මේ වන විටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා.

විභාග රාජකාරි සඳහා ගුරුවරුන්ට ලැබිය යුතු ගෙවීම් බිලියන 2.5 ක් මේ වන විටත් ගෙවීමට රජය අපොහොසත් වී තිබෙනවා. විශේෂයෙන්ම සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවල නියැළුණු ගුරුභවතුන්ට ඔවුන්ට හිමි දීමනාව සම්පූර්ණයෙන්ම නොලැබී යාම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස තමන්ගේ රාජකාරි දීමනාව ලෙස රුපියල් 20,500 ක් ලැබිය යුතු ගුරුවරයකුට ලැබී ඇත්තේ රුපියල් 10,000ක් වැනි මුදලක්. එමෙන්ම විභාග රාජකාරි සදහා ගෙවීම් ලැබිය යුතු සියලු දෙනාටම මේ ගෙවීම ලැබීම සිදුවී නැහැ. මේ ආකාරයෙන් දිගින් දිගටම ගුරුවරුන්ගේ විභාග රාජකාරි දීමනා ගෙවීම රජය විසින් අතපසු කරන්නේ නම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග සඳහා දැඩි අවධානමක් ඇති විය හැකියි. ගුරුවරුන් විභාග රාජකාරි වලින් වැළකී සිටීම අයදුම් නොකර සිටීම වැනි කාරණා ඉදිරියේදී සිදුවිය හැකියි. මෙහි වැරැද්ද ගුරුවරුන් මත පටවමින් අත සෝදා ගැනීමට කිසිම බලධාරියෙකු ට හැකියාවක් ලැබෙන්නේ නෑ.

පහුගිය දිනවල සිට ක්‍රියාත්මක වන පරිදි නව බද්දක් රජය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඉඩමක් හිමි හෝ වාහනය හිමි සෑම පුද්ගලයෙකුම බදු ලිපි ගොනුවක් විවෘත කර බදු ගෙවිය යුතු තත්ත්වයට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙක්ම මේ බද්දට යටත් කර තිබෙන අතර, පාසලෙන් සමාජයට පා තබන සැනින්ම දරුවන්ද බද්දට යටත් වීමට සිදුවීම ඛේදනීය තත්ත්වයක්. මෙම බදු ක්‍රමයට ශ්‍රී ලාංකිකයන් බහුතරයක් අයත් වන අතර දරාගත හැකි උපරිම සීමාව දරාගෙන සිටින ශ්‍රී ලාංකික පුරවැසියා මෙය තවදුරටත් දරා ගනු ඇතැයි අපට විශ්වාස කළ නොහැකිය.

පාලකයන්ගේ අක්‍රමවත් සැලසුම් මෙන්ම දූෂණය හේතුවෙන් ඇති වූ තත්ත්වයන්ට විසඳුම් ලෙස යෝජනා කර ඇති මෙම බදු ක්‍රමයට එරෙහිව නුදුරේදීම ශ්‍රී ලාංකික පුරවැසියා පාරට බැසීම වැළැක්වීමට අපට හැකියවක් නැත.

යහපත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් නිර්මාණය වීමට නම් දරුවන් නිවැරදි පෝෂණයෙන් යුතු නිරෝගිමත් පිරිසක් විය යුතුය. නමුත් අද රටේ ඇතිවී තිබෙන තත්ත්වයත් සමග දරුවන්ගේ පෝෂණය නියමිත ප්‍රමාණයට ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියා අසමත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මේ රටේ දරුවන් පෝෂණ ඌණ තත්ත්වයකින් පසුවේ. විශේෂයෙන්ම තමාගේ දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා බිත්තර ගෙඩියක් මිලදී ගැනීමට අද මේ රටේ දෙමව්පියන්ට දෙවරක් සිතා බැලීමට සිදුවී හමාරය. ඩොලරයේ අගය ඉතා ඉහළ අගයකට පවතින විට කුකුළු මස් කිලෝව රුපියල් 1150 ට පැවතියද මේ වන විට ඩොලරයේ අගය පහළ යාමක් පෙන්නුම් කළ ද කුකුළු මස් මිල රුපියල් 1800 දක්වා ඉහළ ගොස් ඇත.මේ සම්බන්ධයෙන් නියාමනයක් කර පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබා දීමට කටයුතු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එක් අතකින් ව්‍යාපාරිකයන්ට මහජනතාව සූරා කෑමට ඉඩ හරින ආණ්ඩුව තවත් පසෙකින් අසීමාන්තික ලෙස බදු ගසමින් මහජනතාවගේ ගෙල මිරිකා දමයි

Latest