Skip to content

විසඳුමක් නැති ඉන්දු ලංකා ධීවර ගැටුම

උතුරු මුහුදේ එක් අවස්ථාවක , ‘ඒ අන්න එකක් අන්න තවත් ගොඩක් දෙමු ගේම‘

මේ ධීවරයින්ගේ මුවින් පිටවන්නේ මුහුදේ ඉන්න මසුන් ඇල්ලීමට නම් නොව විටෙක මෙරට ධීවරයින් ඉන්දියානු ධීවරයින්ට එරෙහිව හෝ විටෙක ඉන්දියානු ධීවරයින් මෙරට ධීවරයින්ට එරෙහිව ඇවිලී ඇති ධීවර ගැටලුව හේතුවෙනි.

පසුගියදා උතුරේ ධීවර සංගම් නැවත ඇවිලෙන්නට විය ඒ. උතුරු මුහුදු සීමාවේ සතියට දින දෙකක් හෝ තුනක් ඉන්දියානු ධීවරයින්ට මසුන් ඇල්ලීමට අවසරය ලබාදීමට ආණ්ඩුවේ ඉහල නිලධාරීන් විසින් තීරණය කොට ඇතැයි යන කතාවත් සමගය.

මේ නිසාම මන්නාරමේ ධීවරයින් සියලු දෙනාම නගරයේ සියලුම වෙළඳසැල් වසාදමා දැවන්ත විරෝධතාවක් සංවිධානය කරමින් කියා සිටියේ ඉන්දියාවට උතුරු මුහුද දවසකට හෝ ලබාදුන්නොත් උතුරේ ධීවර කර්මාන්තයම එදින සිට කඩාවැටීම සිදුවන බව පවසමිනි.

යුද සමයේදී කොටි ත්‍රස්තයින් හා ආරක්ෂක අංශ අතර වූ ගැටුම  මෙන් දිනෙන් දින ඔඩු දුවමින් ඉන්දු ලංකා ධීවරයින් එකිනෙකාට ගහාමරා ගන්නා වාතාවරනයකටම මෙම ධීවර ගැටලුව ඔඩු දුවා ඇතත් එය විසඳීමට තරම් නොහැකි වූ බලවේගයන් කුමක්දැයි යන්න දෙපාර්සවයේම ධීවරයින්ට ඇති උභතෝකෝටික පැනයකි.

යාපනයේ කච්චතීව් මංගල්ලයට මේ ඉන්දු ලංකා ධීවරයින් සියලුදෙනා සහෝදරයින් මෙන් එකට එක්ව දේව මෙහෙයන්ට සහභාගී වී සමගියෙන් සමුගන්නා ධීවරයින් පසුව එකිනෙකාට ගහමරා ගන්නේ මසුන් නිසාමදැයි යන්න ගැටලුවක්ව පවතියි.

පසුගිය වසරේ (2022) අවසානයේ සහ මේ වසරේ මුල් කාලවකවානුවේද මුහුදු ගිය යාපනයේ ධීවරයින්ගේ මළසිරුරුද කිහිපයක් උතුරු මුහුදට ගසාගෙන ඒමත් සමග උතුරේ ධීවරයින් ගිනියම් විය. ඒ ඉන්දීය ධීවරයින් උතුරේ ධීවරයින් ඝාතනය කලේ යැයි යන සිතිවිල්ලත් සමගය.

තවද අවස්ථා රැසකදී උතුරු ධීවරයින් සහ ඉන්දීය ධීවරයින් සමග ගැටුම් ඇතිව උතුරේ ධීවරයින්ගේ රුපියල් කෝටි ගණණක් වටිනා දැල් ආම්පන්න සහ ධීවර යාත්‍රාවන්ට හානි සිදුකිරීම්ද වාර්ථා විය.

මේ හේතුව නිසාම යාපනය පේදුරුතුඩුව, සුපර්මඩම්, කරෙයිනගර්, පලාලි, කන්කසන්තුරෙයි, ආදි ප්‍රදේශ රැසක පසුගියදා ප්‍රධාන මාර්ග වසා දමමින් ධීවර නිලධාරී කාර්යාල අවහිර කොට ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න මාර්ග වෙතට රැගෙනවිත් විරෝධයන් පාමින් කියා සිටියේ වසර 20 ක මෙම ඉන්දු ලංකා ධීවර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසටය.

විසඳුම් ලබා දෙන ප්‍රධනම බලධාරියෙකු වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද උතුරේම වැසියෙකි. නමුත් අමාත්‍යවරයාද මේ විරෝධතාවන්ට ගොස් ධීවරයින් සමග සාකච්ඡා කිරීමට ගත් උත්සහන් සියල්ලකදීම ප්‍රතිඵලය වූවේ හූහඩ පමණී. ධීවවරයින්ගේ දැඩි විරෝධතාව හමුවේ අමාත්‍යවරයාට හිස් අතින් යාමට සිදුවිය.

මෙම ධීවර ගැටලුව  පිළිබඳව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර ප්‍රධාන සම්බන්ධිකාරක ඇන්ටන් ජේසුදාසන් මහතාගෙන් විමසීමේදී ඒ මහතා පවසා සිටියේ,

ඇන්ටන් ජේසුදාසන් මහතා

‘‘ අපි යාපනයේ ධීවර විරෝධතාවන් පැවත්වූ ස්ථාන වෙතට යමින් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කලා. ඇත්තටම අවුරුදු විස්සක් පුරා මේ ප්‍රශ්නය  ඔඩු දුවනවා  නමුත් කිසිම ආණ්ඩුවක් මේ දක්වා මේ ධීවර ගැටළුව විසඳන්න කිසිදු  ස්ථිරසාර විසඳුමක් ගත්තෙ නැහැ හැමදාම කළේ මඟහැර යෑම විතරයි.

ඒකෙන් අපට පෙනී යන එකම කාරණාව වන්නේ ආණ්ඩුවට  ඉන්දියාවත් එක්ක තියෙන යම් යම් ගනුදෙනු ආරක්ෂා කරගන්න ධීවර ගැටලුව මග හැරීම සිදු කරන බවට යන සැකයයි. මොකද දවසකට උතුරු මුහුදට විතරක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සිය දහස් ගණනක්  එනවා.  ඉන් දෙකක් හෝ තුනක් නම් විතරක් තමයි නාවික හමුදාව අත්අඩංගුවට යන්නේ ඒ අත්අඩංගුවට ගන්න එක නාවික හමුදාවට  ප්‍රශංසා කරන්න ඕන.   ඒකෙන් ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුද ට එන එක කවදාවත් නතර වෙන්නේ නම් නැහැ.

මේ ධීවර ගැටළුවට විසඳුමක් විදිහට ඔබ දකින්නේ කුමක්ද?

‘ඔව් මේ  ගැටළුවට  පිළිගත හැකි විසඳුමක් තියෙනවා. එකක් තමයි 2017 අංක 11 දරණ ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ පනත ඒකෙන් කියල තියනවා කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ ,දඩුවම් කරන්නේ කොහොමද, අනවසර ආක්‍රමණයන් නතර කරන්නේ කොහොමද කියලා.  තවත් පනතක් තියෙනවා සංශෝධිත පනතක් 2018 අංක 1 කියලා.  ඒකෙන් කියලා තියෙනවා විදේශීය යාත්‍රා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වීමේදී සිදු කළ යුතු, ගත යුතු නීතිමය පියවර කුමක්ද කියලා මේ පනත් දෙකම ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකිරීම තමයි අපට තියෙන ප්‍රධානම ගැටලුව.

මොකද නාවික හමුදාවෙන් ඇහුවම අපිට අහන්න ලැබෙන්නේ අපට ඒ තරම් ඉන්දීය ධීවරයන් හෝ එහෙමත් නැත්නම්   ධීවර යාත්‍රා හෝ අත්අඩංගුවට ගන්න ඒ හැටි බලයක් නෑ කියන වචනයි.  ඉතින් ඇයි නාවික හමුදාවට මේ බලයේ දෙන්නැත්තෙ ඒකෙන් පේනවනෙ ආණ්ඩුවට ඉන්දියාවත් එක්ක ඒ හැටි  ආරක්ෂා කරගන්න වෙනත් ගනුදෙනු තියෙනවා කියලා.

අපි කියන්නේ නාවික හමුදාවට අවශ්‍ය බලය දෙන්න. එතකොට තවත් පැත්තකින් ඉන්දියාවේ ධීවරයින්ට  කියන්න බැහැනේ අපි දන්නේ නැතුව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වු.ණේ නොදැනුවත්කම නිසා ආවේ. මේ වගේ දේවල් කියන්න බැහැ. අපේ මුහුදේ එහෙමත් නැත්නම් අන්තර්ජාතික මුහුදු සීමාව නාවික හමුදාව නිසියාකාරව එයාලගේ රාජකාරි කිරීමට බලය දී තිබුණා මෙහෙම ප්‍රශ්නයක් නැහැ.

මොකද පසුගියදා උතුරු මුහුදේ උණුසුම් තත්වයක් ඇතිවුනේ මේ ඉන්දීය ධීවරයන් දැන දැනම කරපු මුහුදු සීමා උල්ලංඝනය කිරීමක් නිසානේ.

මේ ධීවර ගැටළුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන්  කුමන ප්‍රතිචාරයක් ලැබෙනවද මේ වන විට.

‘‘පැහැදිලිවම අපට ධීවර අමාත්‍යවරයා විශ්වාස කරන්න බැහැ. මොකද ඒකට හේතු රැසක්ම තියෙනවා  මේ ගැටලුවේදී වැඩිම  වගකීමක් ඇති පුද්ගලයා තමයි ධීවර අමාත්‍යවරයා කියන්නේ නමුත් ඔහු එදා ඉදලම මේ ගැටලුව මග හැරපු එක තමයි කරේ. අපි ඉල්ලීම් දෙනවා පෙත්සම් භාර දෙනවා ඒ හැමදෙයක්ම අමාත්‍යවරයාගේ මේසේ උඩට විතරක් සීමාවෙනවා.

ප්‍රධාන කාරණාව මේ ඉන්දීය ධීවර ගැටලු ගැන අමාත්‍යවරයාට කියන්න ගියාම අමාත්‍යවරයා ධීවරයන්ට කියලා තියෙන්නෙ මොනවද ඔයාල බය නැතුව මුහුදට යන්න. ගිහින් ඉන්දීය ධීවරයෝ අල්ලලා අපට භාරදෙන්න කියලා. මේ ධීවර අමාත්‍ය වරයෙක් කියන්න ඕන කතාද, මේ අමාත්‍යාංශයක් තියෙන්නෙ මොකටද. ධීවර නිලධාරීන් ඉන්නේ මොකටද. නාවික හමුදාවේ ඉන්නේ  මොකටද. එතැනදි ධීවරයින්ට ධීවර රැකියා විතරක් නෙමෙයි රජයත් එපාවෙනව රටත් එපා වෙනවා. ඇමති  උතුරට ඇවිල්ල කියන්නේ වෙන එකක් දකුණට ගිහින් කියන්නේ වෙන එකක්.

‘මේ වෙනකොට උතුරු මුහුදේ ඇතිවෙලා තියෙන ඇත්තම තත්වය භයානකයි. මේක තමයි ඇත්ත. මොකද ඉන්දීය ධීවරයෝ සහ ලංකාවේ ධීවරයන් විශේෂයෙන්ම උතුරේ ධීවරයන් ඉන්නේ එකිනෙකාට ත්‍රස්තවාදීන් දකින ස්වරූපයකටයි. ඒක එකපාරටම ඉබේම ඇති වුණු දෙයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ ඉන්දීය ධීවරයන්ට ලංකාවේ ධීවරයින්ටත් බලපාපු ගැටලු රැසක් එක්ක. මේ ගැටලු වලට කිසිම විසඳුමක් නොලැබීමත් සමග ඇති වෙලා තියෙන තත්ත්වයකට තමයි මේ මුහුණපාලා තියෙන්නේ.  දැන් මේ ධීවරයෝ මාලු අල්ලනවට වැඩිය රටවල් දෙකේ ධීවර යාත්‍රා කොහෙද තියෙන්නෙ කියලා තමයි හොයන්නේ. මොකද ඒ පහර දෙන්න.

නමුත් මෙතනදි අපේ ධීවරයින්ගේ  යාත්‍රා බොහොම පොඩියි. නමුත් ඉන්දීය ධීවරයන්ට තියෙන්නේ ට්‍රෝලර් යාත්‍රා .එක යාත්‍රාවක් ඉන්නවා විස්සක් විතර  ඔවුන් පහසුවෙන් අපේ ධීවරයන්ගේ ධීවර ආම්පන්න වගේම යාත්‍රා වලට හානි කරලා ධීවරයින්ටත් පහර දීලා මාළුත් අල්ලගෙන තමයි ආපසු යන්නේ.

නැතිනම් රටවල් දෙකටම හරිම පහසුයි තමන්ගෙ ධීවර ප්‍රජාවට නීති දාන්න. ඉන්දියාවේ මධ්‍යම රජයට. තමිල්නාඩුවටත් පුළුවන් සියලු ධීවරයන්ට රටේ තියෙන මුහුදු සීමාව ඉක්මවලා වෙනත් සීමාවකට යනවානම් අපි වගකියන්නේ නැහැ කියලා නීතියක් ගෙන්න. මට මතකයි පසුගිය දිනක මේ විදිහට තමිල්නාඩුවේ එක් ප්‍රාන්තයක මේ විදියට ධීවරයින්ට තහනමක් පනවා තිබුණා. නමුත් මේවා හරිහැටි ක්‍රියාත්මක නොවීම තමයි ගැටලුව.

අපේ රටේ බලධාරීන්ටත් පුළුවන් අපේ මුහුදු සීමාව ඉක්මවලා යන අයට නීති දාන්න. ඒ වගේම අපේ නාවික හමුදාවටත් පුලුවන් එයාලට අවශ්‍ය බලය අරගෙන මෙරට මුහුදු සීමාවට එන ඉන්දීය ධීවරයන් පළවා හරින්න  එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න. ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට ගත්තෙ නැති වුණාට කමක් නෑ ඒ අය අසරණ නිසා නමුත් ධීවර ආම්පන්න යාත්‍රා අත්අඩංගුවට ගෙන සියල්ල රාජසන්තක කරනවා කියලා දැඩි නීතියක් ගේනවනම් මේ ඉන්දීය ධීවරයින් එන එක ඉබේම නවතිනවා එහෙම වුනොත් අපට අපේ ධීවර කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්.යනුවෙනි.

යාපනය උතුරු පලාත් ධීවර එකමුතුවේ සභාපති එන්.වී සුබ්‍රමණියම් මහතාගෙන් මෙම ධීවර ගැටලුව පිළිබඳව විමසීමේදී පවසා සිටියේ,

උතුරු පලාත් ධීවර එකමුතුවේ සභාපති එන්.වී සුබ්‍රමණියම් මහතා

‘‘ යුද්දේ කාලේ වගේම යුද්දෙටත් පෙර මේ ඉන්දීය ධීවර ගැටලුව තිබුණා. නමුත් යුද්දය ඉවරවෙලා දැන් අවුරුදු 13ක්. මේ වෙනතුරුත් මේ ආණ්ඩුව හෝ කිසිම ආණ්ඩුවක් මේ ඉන්දීය ධීවර ගැටලුවට හරිහැටි විසඳුමක් දෙන්න සූදානම් වෙලා නැහැ.

‘මොකද මේ මුහුදු සීමාවත් ඉන්දියාවටම දුන්නොත් මොකද වෙන්නේ ඒවා නොවෙයි කියල කියන්න බැහැ මේ යන විදහට. මේකට මොකක් හරි විධිමත් විසඳුමක් තියෙන්න ඕන.

මෙච්චර දුකක් මේ ධීවර ජනතාවට විඳින්න වෙලා තියෙන අවස්තාවක ඇහැක් ඇරල බලන්න පාලකයෙක් නැත්නම් මොකද්ද රටේ තත්වය. ඔය කියන නීතිය අපට අපේ නිදහස දෙන්න, නිදහසේ මාලුවෙක් අල්ලගන්න දෙන්න, එකෙන් රටටත් ලොකු ආර්ථික වාසියක් නේද අපි දෙන්නේ, එහෙම නැතුව රටේ මත්ස්‍ය සම්පත් රුපියල් මිලියන, බිලයන ගණනින් වෙනත් රටකින් කොල්ලකාගෙන යන එකට රටට පාලකයින්ට වාසියක් ලැබෙනවනම් අපි මොනව කරන්නද කියල තමයි අහන්න තියෙන්නේ. නමුත් අපි අපේ සටන මැරෙනකම් අරන් යනවා ඒ අපේ දරු පවුල් වෙනුවෙන් හරි. යනුවෙනි.

ධීවරයින් , ධීවර සමිති නායකයින් එලෙස පවසද්දි ඉන්දු ලංකා ධීවර ගැටලුවේ සැබෑව පිළිබඳව යම් කුකුසකට හේතු වී ඇති බවනම් පෙනී යයි. නමුත් රටට සම්පතක් වූ ධීවර කර්මනාතය නගාසිටුවන මේ අසරණ ධීවරයා සැමදා අසරණ නොකර වටිනාකමක් ලබාදෙන්නෙනම් සියල්ලන්ට වටිනාකමක් ලැබේවි යැයි සිතමි.

Latest