Skip to content

සල්ලි ගිලින ස්වාධීන රූපවාහිණිය.

ස්වාධීන රූපවාහිණී සේවය 2022 වසර තුළ පමණක් රුපියල් 284,814,218ක අලාභයක් ලබා ඇතැයි රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති වාර්තාවක සදහන් වේ. ස්වාධීන රූපවාහිණී ජාලය යටතේ ම පවතින වසන්තම් ටී.වී(දෙමළ) සේවය රුපියල් 27,059,771 ක්ද, අයි.ටී.එන්. ගුවන් විදුලිය රුපියල් 5,098,056 ක අලාභයක් ලබා ඇති බව ද එම වාර්තාවේ වැඩිදුටත් සදහන් වේ.

2015 වසරේදී ස්වාධීන රූපවාහිණී සේවය තුළ රුපියල් 3,198,499,721ක  ස්කන්ධ ප්‍රාග්ධනයක් තිබී ඇත. 2022 වසරේදී එම ස්කන්ධ ප්‍රාග්ධනය රුපියල් 654,161,058ක් දක්වා පහත වැටී ඇති බව ද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ස්වාධීන රූපවාහිණිය තම සේවාවන් ලබා දීම වෙනුවෙන් පසුගිය වසර 05 ක කාලය තුළ ලැබිය යුතු රුපියල් 112,439,341 ක මුදලක් අයකර ගෙන නොමැති බවත්, එසේ මුදල් අයකරගෙන නොමැති ආයතන 46 අතරට රජයේ ආයතන 14 ක්ද අයත් බවද විගණන වාර්තාව  පෙන්වා දෙයි. එම මුදල් ආයතනයට අය කර ගැනීම සදහා කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ද ස්වාධීන රූපාවාහිණී සේවය මෙතෙක් ගෙන නොමැති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරයි.

එවන් අලාභයක් ලබමින් තිබුනත් නිල වාහන හිමිකම් නොමැති මධ්‍යම මට්ටමේ කළමණාකරුවන් 41 දෙනෙකුට ප්‍රවාහන දීමනා ලෙස රුපියල් 6,524,889 ක මුදලක් 2022 වසර තුළ ගෙවීමටද ස්වාධීන රූපවාහිණී සේවයේ පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මේ අතර, 2022 වසර තුළදී පමණක් ස්වාධීන රූපවාහිණියට එරෙහිව අපහාස නඩු 03 ක් පවරා ඇති බවත්, එම නඩු වලින් රුපියල් 105,000,000 ක වන්දි මුදලක් ඉල්ලුම් කර ඇති බවද විගණන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

Latest