Skip to content

දෙහැවිරිදි දරුවෙකු මිය ගියේ නිර්වින්දන ඖෂධ වරදින් බවට සැකයක්

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ දෙහැවිරිදි පිරිමි දරුවාගේ මරණය සිදුවූයේ නිර්වින්දන එන්නතක් ලබා දීමේදී ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බව මරණයට පත් වූ දරුවාගේ දෙමාපියෝ සැක කරති.

මරණයට පත් දරුවාගේ පියා වන ඩබ්ලිව්.එස්. වෙල්ගම මහතා සඳහන් කරන්නේ තම දරුවාට කිසිදු හෝ බරපතළ රෝගී තත්ත්වයක් නොතිබූ බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ වෙල්ගම මහතා මෙසේද කීය. මගේ පුතා අස්විද වෙල්ගමට වයස අවුරුදු දෙකහමාරයි. එයා හොඳ සනීපෙන් හිටපු දරුවෙක්. පාදයේ කුඩා සැත්කමක් සඳහා මගේ පුතා මැයි මාසයේ 22 දා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලට ඇතුළත් කළා. 23 දින සත්කම කළා. ඒ සඳහා පැය හයකට වඩා කාලයක් ගත වුණා. පුතා වාට්ටුවට ගෙනාවේ සිහිය නැතුව. ඉන්පසු පුතාගේ තත්ත්වය බරපතළ නිසා වෙන්න ඇති එයාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. 25 වෙනිදා වෛද්‍යවරු මට කීවා මගේ පුතා මියගිය කියලා. මේක මට අදහගන්නත් බැරි වුණා. මගේ පුතාට කිසිම රෝගයක් තිබුනෙ නෑ. කකුලේ අස්ථියක සුළු ශල්‍යකර්මයක් විතරයි කරන්න තිබුනේ. මම වෛද්‍යවරුන්ගෙන් ඇහුවා එහෙම උනේ කොහොමද කියලා. ඒ අය මට නිසි උත්තරයක් දුන්නේ නෑ. නමුත් රෝහලේ අයගේ යම් යම් ප්‍රකාශවලින් හැසිරීමෙන් මට සැකයක් ඇති වුණා මගේ දරුවා නැති වුණේ නිර්වින්දන ඖෂධයක වරදින් කියලා.

මගේ අහිංසක දරුවා නැතිවුනේ නිර්වින්දන බෙහෙතේ වරදින් නම් ඒ වගකීම ගන්නේ කවුද. මගේ පුතා මට ආයෙමත් ලැබෙනවද. මේ ප්‍රශ්න වලට කවුද පිළිතුරු දෙන්නේ. මම එකම එක දෙයක් සෞඛ්‍යය බලධාරීන්ට කියනවා මගේ පුතාට වු අපරාධය තවත් දරුවෙකුට වෙන්න ඉඩ තියන්න එපා. බාල ඖෂධ ගෙන්වලා තියෙනවා නම් ඒවා වහාම ඉවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා යනුවෙන් ද හෙතෙම වැඩිදුරටත් කීය.

නොයෙකුත් හේතු  නිසා ළමා රෝහලකදී සාමාන්‍යයෙන් මරණ සිදුවන බවත් ඖෂධයක බලපෑම හේතුවෙන් මරණයක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා පැවසීය.

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දී පාදයේ සැත්කමකට භාජනය කළ දරුවෙකු නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් පසු මිය ගිය බවට එල්ල වන චෝදනාව සත්‍යයෙන් තොර බවද ඒ මහතා කීය.

කරුණු හරිහැටි නොදැන ඇතැම් පිරිස් වැරදි මත සමාජගත කිරීමට උත්සාහ කරන බවත් ඒ ආකාරයෙන් දරුවෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් රෝහල් අධ්‍යක්ෂක ලෙස තමන්ට ලැබී නොමැති බවත් ඒ මහතා පැවසුවේය.

ඖෂධයක බලපෑම නිසා මරණයක් සිදු වුවහොත් අනිවාර්යෙන්ම පැමිණිල්ලක් ඉදිරිපත් වන බවත් ශල්‍යාගාරයේ දී ඒ ආකාර මරණයක් සිදුව නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

Latest