Skip to content

රාගම රෝහලේදි එක් දරු මවක් මියගියේ බාල ඖෂධ නිසාදැයි සැකයක්

රාගම රෝහලේදි රෝගියෙකු මිය යෑමට හේතුව එම රෝගියාට ලබා දුන් ප්‍රතිජීවක එන්නතෙහි ගැටළුවක් නිසා ඇතිවූ ආසාත්මිකතාවයක් නිසාදැයි විධිමත් සායණික විමර්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ඇමොක්සිග්ලොව් නැමති මෙම ප්‍රතිජීවක එන්නත හේතුවෙන් මීට පෙරද බරපතල ආසාත්මිකතාවයන් ඇතීවීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති නමුත්, ඒවා සාමාන්‍ය ආසාත්මිකතාවයන් සේ සලකා එම පැමිණිලි බැහැරකර ඇති බවට තොරතුර වාර්තා වනබවද එම සංගමය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ජා ඇල උතුරු බටගම පදිංචිව සිටි එක් දරු මවක් බවත් විෂබීජයක් නිසා ඇයට ලබා දුන් එන්නතක් හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇය මිය ගොස් ඇති බව මරණ පරීෂණය මගින් තහවුරු වී ඇති බව වාර්තා වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි.

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හානි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින බවත් ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටී.

Latest