Skip to content

නව මැතිවරණ කොමිසමටත් ස්වාධීනව වැඩ කරන්න හැකිවේද යන්න සැකයි - IRES

නව මැතිවරණ කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වේද යන්න සක සහිත බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

කවුරුන් කොමිසමට පත්වුවද යාමට සිදුවන්නේ අවමන් සහගතව බවයි ගජනායක මහතා සඳහන් කරන්නේ.

මෙතෙක් පැවති මැතිවරණ කොමිසම වසර පහකටයි පත්කළද  ඔවුන්ට කටයුතු කිරීමට හැකි වුණේ  වසර 2 මාස 06 යි දින 09 ක් පමණක් බව  ඔහු කියාසිටියි.

''තවත් ඔවුන්ට වසර 2 ක් සහ මාස 05 දින 11 ක් කොමිසමේ රැඳී සිටීමට අවකාශ තිබුණා. එගෙත් අවාසනාවට වසර පහක කාලය කටයුතු කිරීමට නොහැකි වීම අතිශය කණගාටුදායකයි. කෙසේ වෙතත් ඔවුන් 18+ voting හෙවත් වසර 18 සපිරුණු විටදීම ජන්දය භාවිත කිරීමට තරුණ ප්‍රජාවට අවස්ථාව සැලසීම වගේම මැතිවරණ වියදම් නියාමනයට අදාලව නව පනත් ගෙනවිත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට හැකිවීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක්. මැතිවරණ  ලැදි සැවොම ඒ ගැන සතුටු විය යුතුයි.''

එහෙත් ඔවුන්ට යෝජිත මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම සැබෑ ගැටළුවක් බව ගජනායක මහතා කියාසිටියි.

''මින් ඉදිරියට අපි ස්වාධින මැතිවරණ කොමිසමක් බලාපොරොත්තු වෙනවා නම් කරුණු දෙකක් සම්පුර්ණ කළ යුතුයි. එක මුල්‍ය බලය. අනෙක නීතිමය හැකියාව. මේ කරුණු නොමැති වුවහොත් ගැටළු සහගත තත්ත්වයක් මතු වෙනවා.

නව මැතිවරණ කොමිසමට අපි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස සුබ පතනවා. එහෙත් ලෝකයේ ඉහළම වෘත්තිකයන්  කොමිසන්වලට පත් වුනත් අවසානයේදී සිදු වන්නේ වෙනත් කෙනෙකු දෙන නියෝග සහ දින වලට මැතිවරණ පැවැත්වීමටයි. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්.

නව සභාපති R.M.A.L. රත්නායක සහ චන්ද්‍රවංශ පෙරේරා යන දෙදෙනාම මැතිවරණ පිළිබඳ හොඳින් දන්නා ඉහළ වෘත්තිකයන් . එහෙත් අපිට සැකයි මේ ආණ්ඩුව යටතේ ස්වාධීනව කටයුතු කරන්න හැකිවේද යන්න. කවරෙක් කොමිෂන්වලට පත් වුණත් අවසානයේදී යන්න වෙන්න අවමන් සහගතව. හේතුව ඔවුන්ට වැඩ කරන්න වෙන්නේ බාහිර නියෝගවලට අනුවයි.'' යනුවෙන් ගජනායක මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

Latest