Skip to content

ලක්ෂ 75කට කන්න නෑ කියන්නේ බොරු - ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බවයි  ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා 2023 මැයි 24 වන දින නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින් වැඩිදුරටත් පවසන්නේ, එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි.

එම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධී වීම කණගාටුවට කරුණක් බව ද ඔහු පවසයි.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

මේ අතර පසුගිය වසරේ ජූනි/ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ 40%ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙන බවත් මේ අතර දැඩි ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබෙන බවත් ඔහු කියා සිටියි.

‍ආහාර සුරක්ෂිතතාවයේ මෙම දියුණුව ආහාර පරිභෝජනයේ වැඩිවීමක් ලෙස දැක්විය හැකි අතර, අස්වැන්න නෙළන කාලය තුළ කෘෂිකාර්මික ප්‍රජාව අතර අඩු ආහාර වියදම් සහ ඉහළ ආදායම මෙයට හේතු වී ඇති බව ද හෙතෙම  පෙන්වා දෙයි..

''ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) සමීක්ෂණයේ අරමුණ වන්නේ ආහාර අනාරක්ෂිතභාවයේ ප්‍රමාණය හා බරපතළකම පිළිබඳ නිවැරදි හා සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සැපයීම මගින් අවදානමට ලක්ව ඇති ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය තොරතුරු රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත සැපයීමයි.
ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම මගින් සම්පූර්ණ ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටම් දෙකෙහිම ආහාර සුරක්ෂිතතා තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරයි.''

එම විශ්ලේෂණයට කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳපොළ තත්ත්වයන්, ඉල්ලුම් – සැපයුම් ගතිකතාවයන් ඇතුළත් ජාතික ධාන්‍ය/ප්‍රධාන ආහාර ශේෂ පත්‍රයක් (NFBS) සකස් කිරීම සහ ඉදිරි අලෙවිකරණ වර්ෂයේදී ප්‍රධාන ආහාර ආනයනය සඳහා අවශ්‍ය කරන එහෙත් සපුරා නොමැති ඇස්තමේන්තු සකස් කිරීම ඇතුළත් වන බව ද ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

Latest