අසා ඇති කරුණුවලට අනුව ඔහු ගැන පැවසීම කෙසේ ආරම්භ කරම් ද යැයි නොසිතේ. බොහෝ දෙනා පවසන්නේ එදා මෙදාතුර ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රේමණීය හඬ ඔහු කියාය. මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුරුකොටගත යුතු චරිතය ඔහු කියාය. දහසකුත් වූ සුභාවිත ගීත ගොන්නක් ගීත කලාවට දායද කළ ප්‍රතිභාපූර්ණ ගී පද රචකයා කියාය. එපමණක් නොව සොඳුරු ගුණෙන් කවියකටත් අසමාන වූ සොඳුරු මිනිසා කියාය. ඔහු ප්‍රේමකීර්ති ද අල්විස්
වයස 42 ක් තරම් මනුෂ්‍යකුගේ දිවි ගමනෙන් අඩක පමණ වයසකදී ජීවන ගමනට ප්‍රෙම් සමු දී අදට වසර 34 ක් වන අතර ඒ අනුව ඔහු මිය යන්නේ 1989 ජූලි 31 වන දාය. අදට යෙදෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 34 වන ගුණානුස්මරණයයි. getpeakonline අපගේ මේ සටහන ශ්‍රී ලංකාවේ පහළ වූ ඒ දුර්ලභ මිනිසා පිළිබඳව ය.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් උපත ලබන්නේ 1947 ජූනි මස 03 වන දා සවස 6.30 ට කොළඹ ද සොයිසා රෝහලේදීය. ඒ අනුව ප්‍රේම් අදටද ජීවතුන් අතර සිටියානම් ඔහුට වයස අවුරුදු 85 කි. ප්‍රේම්ගේ මුල් පාසල් අවධියට සෙවන සැපයූ මාලිගාකන්ද මහ විද්‍යාලයෙන් පහ වසර සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත්වන ප්‍රේම් එතැන්සිට ආනන්ද විද්‍යාලය තුළ තම පාසල් ගමන නිමා කරන්නට වී ඇත.
පාසල් අවධියේ සිටම ඔහුගේ අද්විතීය කුසලතා ප්‍රදර්ශනය කිරීමට ප්‍රේම් අමතක නොකරන අතර පාසල් අවධියේ ආනන්ද විද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ සඟරාවේ උපදේශක තණතුර, ආනන්ද සඟරාවේ සංස්කාරක, බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ධම්ම ජයන්ති සඟරාවේ සම සංස්කාරක, "වෙර" නමැති කෙටි චිත්‍ර පටයේ තිරනාටක කෙටුම්පත සැකසීම, වයස අවුරුදු 10 දී ගුවන් විදුලි ළමා වැඩසටහන්වලට සහභාගී වීම, 1961 දී ළමා ශිල්පී පරීක්ෂණයෙන් සමත්වීම, 1966 විකට ශිල්පී පරීක්ෂණයෙන් සමත් වීම, ආදී ජයග්‍රාහී කඩ ඉම් රාශියක් ප්‍රේම් මුල් අවධිය ද තුළද පසුකරන්නට වී ඇත.
කෙසේ නමුත් ලාංකීය සමාජය ප්‍රේම් වඩාත් හොඳින් දන්නා චරිතය ලෙස ප්‍රසිද්ධියට පත් වන්නට වන්නේ 1967 වර්ෂයේ සිටය. 1967 වර්ෂයේ සිට 1971 දක්වා ගුවන්විදුලියේ සහන නිවේදකයකු ලෙස සේවය කරන ප්‍රේම් 1971 දී ගුවන් විදුලියේ ස්ථිර නිවේදකයකු ලෙස පත්වීම් ලබා ඇත. ඉන් පසුව 1974 දී ස්ථීර වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ද 1975 දී ස්ථීර වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ද උසස්වීම් ලබා ඇත.

මින් පසු කාලය තුලදී සිය නිවේදන වෘත්තියේ සහ නිර්මාණ ක්ෂේත්‍රයේ සමත්කම් මනාවට විදහා දක්වන ප්‍රේම කීර්ති ද අල්විස්ගේ සමත්කම සැබවින්ම සඳහන් කිරීම ද ඉතා වෙහෙසකර වූ කාර්යයකි. නමුත් ඔබගේ දැන ගැනීම පිණිස සඳහන් කිරීම වටී යැයි සිතෙන අතර ඔහු එවකට ගුවන් විදුලියේ ශනිදා සාදය, සෙවන, සම්පත් සාදය, රත්න සභා මණ්ඩපය, අඳුන, සම්පත් රේකා, යන වැඩසටහන් වලින් ද
ගුවන් විදුලි, රූපවාහිනී සහ චිත්‍රපට ගීත රචකයකු ලෙස, චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස, විශේෂාංග කතුවරයකු ලෙස, සිළුමිණ, දිනමිණ සහ ලංකාදීප යන පුවත්පත්වලට නිබඳවම කවි සැපයූ කවියකු ලෙස, වික්ටර් ගී රස, තනිවිය දෙදෙනෙකු මෙසේ, නොසැලෙන ඉන්ද්‍රකීලය සේ, අන්තිමයා සහ සිහින සතක් වැනි නිර්මාණ තුළින් ද සිය අද්විතීය මෙහෙය ලාංකීය සමාජයට ඉටු කරන්නට වී ඇත.
සැබවින්ම ප්‍රේම කීර්ති ද අල්විස් මහතාට "ප්‍රේම්" යන නම නම ජනතාව විසින් ලබා දුන් එකක් බව සැලකෙන අතර ගුවන් විදුලිය තුළ සියල්ලෝම ඔහු හඳුන්වා ඇත්තේ "පොඩි මාසටර්" ලෙසය. කෙසේ නමුත් ප්‍රේම් ජනතාව අතර මුල්බැස ගන්නට වී ඇත්තේ ශනිදා සාදයෙන් සහ සැරිසර පුවත්පත් සඟරාවෙනි.

මාධ්‍යවේදීන් සහ නිවේදකයින් යැයි කියූ විට අද සමාජයේ නම් බොහෝ දෙනා පක්ෂ දේශපාලනට සහභාගී වී ඇති බවනම් රහසක් නොවන අතර නමුත් එය සමාජයට යහපත් අරමුණින් ඉටු කරන්නේ නම් ගැටළුවක් නැති යන වග ද ප්‍රකාශ කළ යුතුමය. ප්‍රේමකීර්ති යනු එසේ පක්ෂ දේශපාලනට අනිසි ලෙස කඩේ යවා ගැනීමට හැකි වූ චරිතයක් නොවූ බව ද ඉතිහාසයේ කියැ වේ. එවකට පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූ ගුවන්විදුලි මහ ගෙදරේ ජනප්‍රියම නිවේදකයා වී ඇත්තේ ද ප්‍රේමකීර්ති ද අල්විස් මහතාය.
පක්ෂ දේශපාලනයට අනිසි ලෙස කඩේ යවා ගැනීමට නොහැකි වූ නිසාම ප්‍රේම් හට දේශපාලන අත පෙවීම් මත දඩුවම් මාරු වශයෙන් රජරට සේවය වැනි ප්‍රාදේශීය ගුවන් විදුලි කිහිපයකම කිහිප අවස්ථාවකදීම සේවය කරන්නට සිදු වී ඇත. සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන "බානෙන් බැඳ රජරට පෙදිසින්නේ" යන ගීතය ද ඔහු අතින් නිර්මාණය වන්නේ මේ කාල වකවානුව තුළදීය. කෙසේ නමුත් ජීවතුන් අතර සිටයදීම පුරාවෘත්තයක් වීමේ දුර්ලභ භාග්‍ය හිමිකරගත් අතලොස්සක් වූ පිරිස අතරින් ප්‍රේම් එක් අයකු ලෙස ද සැලකේ.
කෙසේ නමුත් ප්‍ර්‍රේම්ට 1977 න් පසුව දේශපාලන ගොදුරක් බවට පත් වීමට සිදු වූ බව ඉතිහාසය කියන අතර දිනෙන් දින ඔහුගේ ජනප්‍රියත්වය දරා ගැනීමට නොහැකි වූ ගුවන් විදුලියේ සේවකයන් පරිපාලනයට ප්‍රේම්ට විරුද්ධව කේලාම් කියන්නට වූ බව ද සඳහන් වේ. විටෙක එම නිසා ගුවන් විදුලියේ පරිපාලනය ප්‍රේම්ගේ වැඩ තහනම්කොට ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට ද කටයුතු කර ඇත.

මෙම වැඩ තහනම් කිරීමෙන් පසුව නැවතත් සේවයට කැඳවන ප්‍රේම් සිදුකරන ලද එක්තරා කටයුත්තක් පිළිබඳව ඉතිහාසයේ ඉතා රසවත් ලෙස සඳහන් වී ඇති අතර එය නම් දිනක් ශබ්දාගාරයට ඇතුළුවන ප්‍රේම් සජීවී වැඩසටහනක් අතරතුර ඕනෑකමින් පසෙකින් තිබූ පුටුවක් වේගයෙන් බිම පෙරලා ඉන් පසු සිය ශ්‍රාවකයන් වෙත මෙසේ ප්‍රකාශ කලා යැයි සැලකේ.
"සමාවෙන්න හිතවතුනි, ප්‍රේමකීර්ති ද අල්විස් නැවතත් ඔබ හමුවට ආවා. ඒ ඔබට ඇහුණ විශාල ශබ්දය පුටුව පෙරලුණු ශබ්දය මිසක් මම වැටුණු ශබ්දය නොවෙයි" සැබවින්ම ප්‍රේමකීර්ති තමන් වට්ටන්නට හැකි මිනිසෙකු නොවන බව ලෝකයට ප්‍රකාශ කළ ආකාරයනම් සැබවින්ම විශිෂ්ඨය.
ජනප්‍රිය භාෂාවෙන් පවසන්නේ නම් මාධ්‍ය උණ නිසාම නිවේදන කාර්යයට පිවිසෙන ප්‍රේම්ගේ මාධ්‍ය දක්ෂතා මෙන්ම ගීත රචකයකු ලෙස ඔහුගේ අද්විතීය බව සාකච්ඡා නොකර සිටීමට බැරිය. මන්ද ප්‍රෙමකීර්ති ද අල්විස් නම් ගේය පද රචකයා ලාංකීය ගීත සාහිත්‍ය තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කර ඇති බැවිනි.
ලංකාවේ ගීත සාහිත්‍ය ගත් විට මේ දක්වා ක්ෂේත්‍රය තුළ දැවැන්ත යුගලයන් අපිට හඳුනාගත හැකි අතර රත්න ශ්‍රී විජේසිංහ මහතා සහ ගුණදාස කපුගේ මහතා, සුනිල් ආරියරත්න මහතා සහ නන්දා මාලනී මහත්මිය, කුමාරදාස සපුතන්ත්‍රි මහතා සහ සුනිල් එදිරිසිංහ මහතා, මහගම සේකර මහතා සහ අමරදේව ශූරීන් ආදී යුගල උදාහරණ වශයෙන් දැක්විය හැකි අතර එවැනි එක් දැවැන්ත යුගලයක් වන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ වික්ටර් රත්නායක මහතාය.

ප්‍රේම් ගී පද රචනා ක්ෂේත්‍රයේ උපන් හපනෙකු යැයි සැලකෙන අතර ඔහු හට සුභාවිත ගුණයෙන් පරිපූර්ණ වූ ගීතයක් රචනා කිරීමට ගතව ඇත්තේ ඉතා සුළු කාලයක් බව ද සැලකේ. විටෙක ඔහු ගමන් මගී ප්‍රවේශ පත්‍රවල පවා ගීත ලියූ බව ද ඉතිහාසයේ සඳහන් වන අතර ගී පද රචනා ක්ෂේත්‍රයේ ප්‍රේම්ගේ අද්විතීය බව වටහා ගැනීම සඳහා ප්‍රියා සූරියසේන මහතා ගායනා කරන "හෙට දවසේ අප දෙදෙනා" නම් ගීතය නිර්මාණය වීම පිටුපස ඇති රසවත් කාතව වුව ප්‍රමාණවත් වේ.
බුද්ධිය මැන බැලීම සඳහා භාවිත කරන බුද්ධි ඵලයේ අගය 180 ට ඉහලනම් ඔහු සලකන්නේ ප්‍රතිභාසම්පන්න බුද්ධිමත් පුද්ගලයකු හැටියට වන අතර යම් නිර්මාණකරුවකු ප්‍රතිභාපූර්ණ යැයි පවසන්නේ ඔහුට ඉතා හොඳ බුද්ධියක් ද තිබෙන බැවිනි. ඒ අනුව ප්‍රේමකීර්ති ද අල්විස් යනු එසේ ප්‍රතිභාසම්පන්න බුද්ධියක් හිමි දැවැන්ත චරිතයක් වන බව මේ මොහොතේ සඳහන් කිරීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකළ යුතුය.
1969 වර්ෂයේ ප්‍රථම වරට "හද පුද අසුනේ සෙනෙහස මැවුනේ" නම් ගීතය රචනා කරමින් ගේයපද රචනයට පිවිසෙන ප්‍රේම් වයස අවුරුදු 42 ක් තරම් ජීවන ගමන තුළ ගීත එක්දහස් හයසීයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති බව මූලාශ්‍රවල දැක්වෙන අතර ඔහුගේ එම ගීතාවලිය තුළ ආදරයේ උල්පත වූ අම්මා, පරණ කෝට්, ගුණ්ඩුමනී, අපි හැඟුම් වලට, දෙව්රම් වෙහෙරේ, බංගලි වළලු, එක යායේ කකා වැටී,

කෙදිනද කූඩු හදන්නට එන්නේ, හෙට දවසේ අප දෙදෙනා, ඈත දිලිසෙන, කවුද ඔබ කවුරුන්දෝ, මල් වැහි සීතල මල් වැස්සේ, මිහිරැති වසන්ත කාලේ, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, මියුරු කල්පනා, සමනලයා මල හා ළමයා සේ, සඳකැන් වැසිලා, සිතින් මා නොසැලී, සිතුම් පැතුම් සඳ ආදරේ, තනි තරුවේ, තැටිය මැද්දෙ කළු කරාපු ආදී ගීත අපගේ සිත් සතන් තුළ කිසිදා නොමැකෙන ගීත බවට පත් වී ඇත. කෙසේ නමුත් ප්‍රේම්ගේ බොහෝ ගීත ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහතා වන බැවින් වික්ටර් - ප්‍රේම් යනු ලාංකීය ගීත සාහිත්‍යයේ තවත් එක් පරිච්ඡේදයක් ලෙස හඳුන්වයි.
එබැවින් වරක් වික්ටර් රත්නායක මහතා සිය නිර්මාණ සගයා වූ ප්‍රේම කීර්ති ද අල්විස් පිළිබඳව හඳුන්වන්නේ මේ අයුරිනි. "අප දෙදෙනාගේ සුසංයෝගය හරියට රැයයි සඳයි වගේ වුණා, රැය බැබළුණේ සඳ නිසයි, සඳ බැබුළුණේ රැය නිසයි".
සැබවින්ම ප්‍රේම්ගේ ගීතාවලිය තුළ අඩංගු වූයේ ප්‍රේමයයි කීම නිවැරදි වන අතර එය මානව ප්‍රේමයකි. ඔහු පිළිබඳව කියැවෙන බොහෝ ස්ථානවලදී සඳහන් වූ දෙයක් වන්නේ සැබවින්ම ප්‍රේමකීර්ති තැනුවේ ප්‍රේමයේ නවාතැන වන බවය. ඔහුගේ අකුරුවල සේම කතා කරන වදන් වලද අඩංගු වී ඇත්තේ අසීමිත ප්‍රේමයයි. සමාජයේ සෑම තරතිරමකටම ඔහු ආදරය බෙදූ බැවින් මහ මැදුරේ සේම දුගී පැල්පතේ ද ප්‍රේම්ට අපමණ මිතුරන් ද විය.

"ගුවන් විදුලියේ හරියට සේවය කරනවා නම් ඉතා හොඳ මිතුරන් 365 දෙනෙකු පළමුව ඇතිකරගත යුතුය. හරියට වැඩ කරනවිට වැඩ තහනමට ලක්වීමට සිදුවන අතර එවිට දෛනික යැපීම සඳහා එක් මිතුරකුගේ නිවසේ එක් දවසක් ගත කළ හැකිය" ( ප්‍රේමකීර්ති ද අල්විස් )
කෙසේ නමුත් මෙම සොඳුරු මිනිසා ඉතා අමානුෂික ලෙස ඝාතනය වූවා යැයි අප දන්නා අතර ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පසු කාලයේ ඔහුගේ ආදරණීය බිරිඳ නිර්මලා ද අල්විස් විසින් රචනා කරන ලද ප්‍රේමකීර්තිනී නම් ග්‍රන්ථය තුළ සියළු විස්තර අඩංගුකොට ඇති නමුත් ප්‍රේම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සමාජයේ ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ අර්ථකතනය දෙස විමසා බලන්නේ නම්

1988 -89 යනු ලංකාව පුරා භීෂණ ක්‍රියාදාමයක් දියත් වූ කාල වකවානුවක් ලෙස අදට ද දෛනිකව අප සාකච්ඡා කරන අතර එකල රාජ්‍ය ත්‍රස්තවාදය මෙන්ම, පාතාලය සහ වෙනත් තහනම් සංවිධාන ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක නෑර සිය අණසක පැතිරූ බවද සැලකේ. මේ කාලය තුළදී ශ්‍රී ලංකාවේ කැරළිකරුවන්ගේ භීෂණ ක්‍රියාදාමය තුළ ඝාතන රැල්ලේ අවධානය විශේෂයෙන් යොමු වී ඇත්තේ දේශපාලඥයින්, රාජ්‍ය සේවකයින්, නළු නිළියන්, සහ නිවේදකයින් ආදී සමාජයේ ජනප්‍රිය පුද්ගලයින් කෙරෙහිය.
ගුවන්විදුලි සංස්ථාවේද පුද්ගලයින් සතර දෙනෙකු කැරලිකරුවන්ගේ ඝාතන ලැයිස්තුවට ඇතුලත් වී ඇති අතර ඔවුන් නම් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් හඩ්සන් සමරසිංහ, ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වූ පාලිත පෙරේරා, ගුවන් විදුලි පුහුණු ආයතනයේ වසන්ත ලංකාතිලක සහ වැඩසටහන් නිෂ්පාදක ප්‍රේමකීර්ති ද අල්විස් ය.

කෙසේ නමුත් පසු කාලයේදී ප්‍ර්‍රෙම්ගේ බිරිඳ වූ නිර්මලා ද අල්විස් මහත්මිය හෙලිදරව් කර සිටින ආකාරයට ප්‍රේම්ගේ පැහැර ගැනීම සහ ඝාතනය සම්බන්ධයෙන් පාර්ශව තුනකට සම ලෙස චෝදනා එල්ල වී ඇති අතර ඉන් එක් පාර්ශවයක් වන්නේ හඩසන් සමරසිංහය. අනෙක් පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණ වන අතර තෙවැනි පාර්ශවය පිළිබඳ සඳහනක් නැත. නමුත් බොහෝ මූලාශ්‍රවල දැක්වෙන ආකාරයට ඉන් ප්‍රධාන චෝදනාව එල්ල වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ය.
ඉහත සඳහන් කළ ගුවන් විදුලියේ ප්‍රේම් ඇතුළු අනෙක් සාමාජිකයින් තිදෙනා හට විටින් විට කැරළිකරුවන්ගේ තර්ජනවලට මුහුණදීමට සිදුව ඇති අතර ප්‍රේම් හැර අනෙක් තිදෙනා මෙම තර්ජනවලින් බේරීම සඳහා සිය නවාතැන්පලවල් මාරු කරමින් සිටින අතරතුරදී ප්‍රේම් පමණක් දෙමටගොඩ පිහිටි සිය නිවස තුළම රැඳී සිටි බව ද ඉතිහාසයේ කියැ වේ.
එම නිසා ප්‍රේමකීර්ති ඝාතනය කිරීම කැරලිකරුවන් හට පහසු කටයුත්තක් වී ඇති අතර ඔහු මරා දැමීමට හේතු වශයෙන් අත්තඩංගුවට ගත් කැරලිකරුවකු සඳහන් කර ඇත්තේ කැරලිකරුවන් විසින් ප්‍රේම්හට යැවූ ලිපිවල සඳහන් කර තිබූ අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් ඔහු මරා දැමූ බවය.
කෙසේ නමුත් 1989 දී ජූලි මස 31 වැනිදා රාත්‍රියේ දේශප්‍රේමී සංවිධානයෙන් යැයි කියූ තුවක්කු කරුවන් පිරිසක් ප්‍ර්‍රේමකීර්ති රැගෙන යන්නට වී ඇත්තේ යලි එවන බවට පොරොන්දුවක් ද සමඟිනි. නමුත් නිවසින් පිට වී මද දුරක් ගිය තැන ප්‍රේමකීර්ති ද අල්විස් නම් මෙම අද්විතීය මිනිසා හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයි මූලාශ්‍රවල සඳහන් වේ.
කෙසේ නමුත් ප්‍රේම් මිය ගිය දින මෙම සටහන ලියන මා උප්පත්තිය ලබා සිටියේ නැත. එබැවින් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සම්බන්ධයෙන් ඔබ වෙත ගෙන ඒමට හැකි වූයේ බොහෝ මූලාශ්‍රවල දැක්වෙන සහ සමාජයේ ජනප්‍රිය මතයයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඔබට පුළුල් විග්‍රහයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහුගේ බිරිඳ විසින් රචනා කර ඇති "ප්‍රේමකීර්තිනී" නම් ග්‍රන්ථය පරිශීලනය කළ හැකි බව ද මතක් කර සිටිමි.

ඉදිං මා ද ඇතුළුව ඔබ ද, මුළු රටම ඔහුගේ නික්ම යෑම සම්බන්ධයෙන් බොහෝ කණගාටුවට පත්වන බව රහසක් නොවන අතර අවසාන වශයෙන් නිදහස් නිවේදන කලාවේ හරඹ කළ ප්‍රේමකීර්ති, frame බිඳ දැමූ ප්‍රේමකීර්ති, මහ ජනතාවගේ ප්‍රේමණීය ස්වරය වූ ප්‍රේමකීර්ති අප හෙටත් ඔබ සිහිපත් කරමු. හිතේ ගැඹුරුම තැනින් ඔබට නිවන්සුව පතමු.
ලිපිය අවසාන කරන්නේ යැයි පැවසූව ද ප්‍රේමකීර්ති විසින් රචිත සර්වකාලීන අගයකින් යුත් ඉතා රසවත් කවියක් යුගයේ අවශ්‍යතාවයක් ලෙස දැක්වීට ද සිතුණි. එක් අතකට ඒ සඳහා සුදුසු වේලාව මෙයද යැයි සිතේ. ඔහු එම කවිය නම්කර ඇත්තේ " ඡන්ද දායකයෝ " ලෙසය.
කාඩ් කූට්ටමේ
ආසියාත්
රැජිණත්
බූරුවාත් ඇත
ලින්ටන් සැල්ටන්
ජොන්සන් විල්සන්
වටේ ගොඩවෙති
ලින්ටන් කැරපොත්තන්ට බයය
කතාකරන්නේ අහස්යානා ගැනය
සැල්ටන් අහස්යානා වලට බයය
කතා කරන්නේ කැරපොත්තන් ගැනය
ජොන්සන් අහස්යානා වලටත්
කැරපොත්තන්ටත් දෙකටම බයය
විල්සන් ඒ දෙකටම බය නැත
වාරයෙන් වාරයට
කාඩ් කූට්ටමේ
ආසියාත්, රජ්ජුරුවොත්
රැජිණත් බූරුවාත්
කැපෙමින් - වැටෙමින් - නැගිටිමින්
ලින්ටන් සැල්ටන්
ජොන්සන් විල්සන් වටේ මාරු වෙති.
එහෙත් ලින්ටන් සැල්ටන් ජොන්සන්
තාමත් උන්හිටිතැන් වලමය
ලින්ටන් කැරපොත්තන්ට බයය
සැල්ටන් අහස්යානා වලට බයය
ජොන්සන් දෙකටම බයය
විල්සන් දෙකටම බය නැත
පහතින් ඔබට ප්‍රේම්ගේ ප්‍රේමණීය හඬ විඳගත හැකිය.
