Skip to content

ඉස්සන් නිසා පිස්සු හැදුණු හලාවත කලපුව.

ඉස්සන් ගොවිපල වලින් මුදා හරින අපද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් හලාවත කලපුව විනාශ වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.

හලාවත කලපුව අශ්‍රිතව ඇති වැලිහේන,අඹකදවිල,ඉරණවිල, මැදවත්ත, පම්බල, මරම්බැට්ටේ, මැරවල ඇතුළු ගම්මාන රැසක ජීවත් වන පවුල් 5000 ක් පමණ දෙනාගේ ප්‍රධානතම ජීවෝපාය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.වාලාළ සමයේදී ඉන් බහුතර ධීවරයින් පිරිසක් මුහුදු ගොස් මසුන් මැරීම සිදු කරයි. නමුත් මුහුද වාරකන් සමය එළඹි විට ඒ සෑම ධීවරයෙකු තම දරුවන් පෝෂණය කිරීම සදහා තෝරා ගන්නේ හලාවත කලපුවයි.

හලාවත කලපුව ආසන්නයේ ඉස්සන් ගොවිපල රැසක් පිහිටා ඇත. ඉස්සන් ව්‍යාපරයට අවශ්‍ය කරන ජලය ලබා ගන්නේ කලපුවෙනි. කලපුවෙන් ලබා ගන්නා ජලය පොකුණු තුල ගබඩා කිරීම මුලින්ම සිදු කරයි. අනතුරුව එම පොකුණු තුළ ඉස්සන් පැටවුන් තැම්පත් කිරීම සිදු කරති. පොකුණුවල තැම්පත් කරන ඉස්සන් මාස 03 ක පමණ කාලයක් රැක බලා ගැනීම ව්‍යාපාරිකයින් විසින් සිදු කරති. එම කාලය තුළ ඉස්සන්ට අවශ්‍ය ආහාර, ඖෂධ වර්ග මෙන්ම විවිධ රසායණික ද්‍රව්‍යයන්ද යෙදීම සිදු කරයි.ඒ හොද ඉස්සන් අස්වැන්නක් ලබා ගැනීම සදහාය.

අස්වැන්න නෙලීමත් සමග පොකුණු වල තිබෙන ජලය මුදා හැරීම සිදු කරයි. ඒ නැවත වතාවක්  කලපුවටය.සාමාන්‍ය ආකාරයට නම් පොකුණු වල තිබූ ජලය එක්වරම කලපුවට මුදා හැරීම නෙකළ යුතුය.මුදා හරින ජලය මාසයක පමණ කාලයක් අතිරේක පොකුණක තැම්පත් කළ යුතුය.එවිට එම ජලයේ තිබූ රසායණික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අප ද්‍රව්‍ය සියල්ලම අතිරේක පොකුණේ තැම්පත් වීම සිදු වේ. නමුත් බොහෝ ඉස්සන් ව්‍යාපාරිකයෙකු තම ව්‍යාපාරික ස්ථානය තුළ අතිරේක ටැංකියක් පවත්වා ගෙන යන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කරණු ලබන්නේ අස්වැන්න නෙලා ගැනීමට සුදානම් වූ විගස පොකුණු වල තිබූ සියළුම ජලය නැවතත් කලපුවට මුදා හරින්නට කටයුතු කිරීමය.

වර්තමානයේ හලාවත කලපුව විනාශ වන්නට ප්‍රධානතම හේතුව එය වී ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.ඉස්සන් පොකුණු වල තිබූ අප ද්‍රව්‍ය සමග කලපුවට ජලය මුදා හැරීම නිසා මෙම විනාශය සිදුවී ඇති බව ඔවුන් සදහන් කරයි. ඉස්සන් පොකුණු වලින් මුදා හරින ජලයේ තිබූ අප ද්‍රව්‍ය සියල්ල තැම්පත් වී ඇත්තේ කලපු ඉව්රේ ඇති කඩොලාන පද්ධතිය තුළය.

කඩොලාන පද්ධතිය යනු ධීවර කර්මාන්තයේ සුවිශේෂී කේන්ද්‍රස්ථානයකි. මන්ද කලපුවේ ජීවත් වන ඉස්සන්, කකුළුවන් ඇතුළු සියළුම මත්ස්‍ය වර්ග තම ප්‍රජනන කටයුතු සිදු කරන්නේ සහ බිත්තර දැමීම සිදු කරණු ලබන්නේ මෙම කඩොලාන ශාඛ ආශ්‍රිතවය. ඉස්සන් පොකුණු වලින් මුදා හරින අප ද්‍රව්‍ය විසින් කඩොලාන පද්ධිතය ආක්‍රමණය කර තිබීම නිසා වැඩි දිනක් යන්නට පෙර හලාවත කලපුව "මල කලපුවක්" බවට පත්විය හැකි බව ධීවරයින් කියයි. එසේ වුවහොත් කලපුව කේන්ද්‍ර කරගෙන ජීවිකාව කරගෙන ගිය පවුල් 5000 ක් පමණ මහ පාරට ඇද වැටීම නොවැලැක්විය හැකි කරුණක් වනවා ඇත.

මෙහිදී පැවසිය යුතු තවත් විශේෂ කරුණක් ඇත.ඉස්සන් පොකුණු සදහා කලපුවෙන් නැවත ජලය ලබා ගැනීමේදී කලපුවේ තැම්පත් වී තිබෙන අපද්‍රව්‍ය නොගැනීමේ උපක්‍රමයක්ද ව්‍යපාරකයින් විසින් සිදු කර ඇති බවක් දක්නට ඇත. කලපුවේ සිට ඉස්සන් පොකුණු දක්වා ස්ථාපනය කර ඇති ඇල මාර්ග වලට කලපු ඉව්රේ ඇති කඩොල් කපා බාධාක යොදීම එම උපක්‍රමයයි. ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරන්නේ තම විශේෂ අවශ්‍යතාවයක් සදහා කඩොල් අත්තක් කැපුවොත් දඩුවම් කිරීමට පැමිනෙන නීතිය සුරකින කිසිවෙකු ඉස්සන් ව්‍යාපාරිකයින් විසින් කඩොලාන වලට සිදු කරන විනාශය සම්බන්ධයෙන් සොයා නොබලන බවකි.

ඉස්සන් ව්‍යාපාරය යනු මෙරටට විදේශ විනිමය උපයා දෙන සුවිශේෂී ක්‍රමවේදයක් බව අප අමතක නොකළ යුතුව ඇත. ඒ නිසාම ඉස්සන් කර්මාන්තය ද රැක ගෙන තවතා කාලයක් කරගෙන යා යුතුව ඇත. නමුත් විදේශ විනිමය ලැබෙන පමණින් මෙරට ඇති පරිසර පද්ධතියට මෙන්ම ජෛව විවිධත්වයට හානි කිරීම නම් අනුමත කළ නොහැකි දෙයක් වනවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවරයින් කියා සිටියේ මෙවැන්නක්.

ජුඩ් රෙක්ෂි ප්‍රනාන්දු - පළුගස්තැන්න ධීවර සමියේ සභාපති
audio-thumbnail
Will Chila Lagoon become a dead lagoon Cut04 20230426
0:00
/1:27
ප්‍රියන්ත සංජීව
audio-thumbnail
Will Chila Lagoon become a dead lagoon Cut02 20230426
0:00
/1:03
ඇන්ටන් සමන්ත.
audio-thumbnail
Will Chila Lagoon become a dead lagoon Cut01 20230426
0:00
/0:57
අජිත් චන්දන
audio-thumbnail
Will Chila Lagoon become a dead lagoon Cut03 20230426
0:00
/0:33

Latest