Skip to content

මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක්ද?

මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සිදුකළ සේවකයින් පිරිසකට අස්ථි කොටස් හමුවු ස්ථානයේ කැනීම් කටයුතු අද (06) මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණ.

පොලිසිය පැවසූවේ අස්ථි කොටස් හමුවු ස්ථානය පසුගිය 30 වැනිදා පරීක්ෂා කළ මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා විසින් ස්ථානයේ කැනීම් කටයුතු අද(01) සිදුකරන ලෙසට නියෝග කළ බවයි.

ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක්  ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය 29 වැනිදා පළමුව හමුව තිබිණ.

ජල නළ කාර්මිකයින් සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කොට තිබිණ.

මුලතිව් අධිකරණ නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන් එක්ව කැනීම් කටයුතු සිදුකළහ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්,අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කැනීම් කටයුතු නිරීක්ෂණයට එක්ව සිටියහ.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ,

අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා මුලතිව් වැසියන් හා අපි සැක කරනවා. යුද්දේ කාලයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් යුද්දේ ඉවරවෙලා අවුරුදු 14 ක් ගතවුණත් තවමත් අතුරුදහන්වෙලා ඉන්නවා.ඒ අය ගැන කිසිම තොරතුරක් නෑ.

ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන් වුණා නම් ඒ අයට මොකද වුණේ කියලා අපි දැනගන්න ඕනේ.කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවු ස්ථානයේ අස්ථි කොටස් 10 ක් විතර දැක ගන්න පුළුවන්.ඒ අතර කාන්තා ඇදුම් කොටස් කිහිපයක්ද තියෙනවා.ඒ ගැන අපිට සැකයි. යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest