Skip to content

අර්ධ සුඛෝපභෝගී මගී බස් රථ සේවාව අද  (ජුනි 30 වෙනිදා) සිට අවසන් කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ  අනුව මෙතෙක් අර්ධ සුඛෝපභෝගී ලෙස ධාවනය වූ පුද්ගලික බස් රථ සියල්ල ජූලි මස 01 වැනිදා සිට සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා ලෙස මගීන් ප්‍රවාහනය කළ හැකි බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.ඒ අනුව මෙතෙක් අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහනය සදහා බලපත්‍ර ලබා ගෙන තිබූ බස් රථ වලට කිසිදු අමතර අයකිරීමකින් හෝ සේවා ගාස්තුවකින් තොරව තමන්ට අවශ්‍ය කාණ්ඩය සදහා මාරු විය හැකි බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.

මෙරට මගී ප්‍රවාහන කටයුතු සදහා අර්ධ සුඛෝපභෝගී බස් රථ 430 ක් බලපත්‍ර ලබා ගෙන තිබූ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි. අර්ධ සුඛෝපභෝගී බස් රථ වලින් මගීන්ට ප්‍රමාණවත් තරම් පහසුකම් නොලැබෙන බවත්, එම බස් රථ වල සේවය කරන සේවකයින්ගෙන් විවිධ අකටයුතුකම් සිදු වන බවටත් වන පැමිණිළි 1600 ක් පමණ මාසයකට ලැබෙන බවද ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව අර්ධ සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය අවසන් කිරීමට 2018 වසරේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව උත්සාහ කර ඇත. නමුත් ඒ සෑම උත්සාහයක්ම කුමාන හෝ හේතුවක් මත අසාර්ථක වී ඇත.

මේ අතර, අර්ධ සුඛෝපභෝගී සේවාව ඉවත් කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ගෙන ඇති තීරණයට තමන්ගේ කිසිදු විරෝධතාවයක් නොමැති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

රජය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව අන්තර් පළාත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් 30 වැනිදා කැදවන ලදි. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සම සළකා බැළු ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම නැවත අ‍ගෝස්තු මස 28 වැනිදා කැදවීමට නියම කරන ලදි.ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 33 දෙනෙකුට අගෝස්තු 28 වැනිදා අධිකරණ හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීමටද ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල නියම කරන ලදි.

තම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පර්ශවයට කියා සිටියේ මෙම ගැටළුව විෂය බාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කර විසදා ගැනීමට උත්සාහ කරන ලෙසය.

පුද්ගලික බස් රථ හිමියන්ගෙන් අදහස් නොවිමසා අර්ධ සුඛෝපභෝගී සේවාව අවසන් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා  පෙත්සම ගොණු කර තිබුණි.

Latest