Skip to content

බලල මැකුවට ඇත්තටම මැකිලද?

අපගේ computer, mobile phone, pen drive වැනි උපකරණ වල ගබඩා කර ඇති පුද්ගලික දත්ත අන්සතු වීම වැලක්වීමට මකා දැමුවද, ඒවා සැබවින්ම නොමැකී තිබීමට ඉඩ ඇති බව ඔබ දැන සිටියේද? මෙහිදී මා අදහස් කලේ recycle bin එක ගැන නම් නොවේ. එතැනින්ද මකා දැමු පසුවත්, නැවත එම දත්ත ලබාගැනීමට ඇති ඉඩකඩ පිළිබඳවයි.

තාක්ෂණික ක්‍රියාවලිය

දත්ත ගබඩා කරන මාධ්‍ය (data storage medium) වල ගබඩා කර ඇති යමක් සත්‍ය වශයෙන්ම මැකීමට නම් එම දත්ත වෙනුවට වෙනත් යමක් එහි සටහන් කිරීමට සිදු වෙනවා. මෙලෙස අලුතෙන් දත්ත ලිවීමට යම්කිසි කාලයක් ගත වනවා. එසේම අප දත්ත ලියන වාරයක් පාසා සුළු ප්‍රමාණයකින් හෝ මෙම මාධ්‍ය පිරිහීමකට (degrade) ලක් වෙනවා. මෙම නාස්ති වන කාලය සහ වාර ගණන අවම කර ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රමය තමයි අදාල දත්ත සත්‍ය වශයෙන්ම මකන්නේ නැතුව අනවශ්‍ය දත්තයක් ලෙස ලකුණු කර තැබීම. මෙසේ ලකුණු කල පසුව අපට මකන ලද දත්තයට අදාල ඉඩ හිස් ඉඩක් ලෙස පෙන්වනු ලබනවා. අපි අලුතින් යමක් ගබඩා කරන අවස්ථා වලදී පමණක් මෙම ඉඩ ප්‍රමාණ වල අලුතින් දත්ත ලිවීම සිදු වෙනවා.

විශේෂ පරිගණක මෘදුකාංග (data recovery software) භාවිතා කර මෙසේ මකා දමන ලද නමුත් සැබවින්ම මැකී නොගිය දත්ත නැවත ලබාගැනීමේ හැකියාව තිබෙනවා. DiskDigger (Android), EaseUS Data Recovery Wizard (Windows, Mac) මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

මෙහි ඇති අවදානම

අපේ සංවේදී පුද්ගලික දත්ත මැකී ඇතැයි සිතාගෙන අපගේ පරිගණක උපකරණ වෙනත් අයට භාවිතයට, විකිණීමට හෝ අලුත්වැඩියාවට ලබාදෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වල ඉහත කී අයුරින් මෙම දත්ත යම් පාර්ශවයක් විසින් ලබාගැනීමට ඉඩ තිබෙනවා. අපගේ උපකරණය සම්බන්ද කර, ඉතා ඉක්මනින් එහි ඇති මකා දමන ලද දත්තද ඇතුළුව සියල්ල පිටපත් කරගත හැකි ආකාරයෙන් සැකසූ විශේෂ මෘදුකාංගද තිබෙනවා. මෙවැනි ක්‍රම භාවිතා කර ලබාගන්නා සංවේදී දත්ත ගැන පවසා blackmail කිරීම්, ඒවා අන්තර්ජාලයට මුදාහැරීම් වැනි සිද්ධි විශාල ප්‍රමාණයක් අප රටේද වාර්තා වී තිබෙනවා. මේ සඳහා උදාහරණ ලෙස

  • අලුත්වැඩියා කිරීම සඳහා ලබාදුන් පරිගණකයේ තිබු මකාදමන ලද පුද්ගලික පින්තුර එම ආයතනයේ කාර්මික ශිල්පියෙකු විසින් recover කර තබාගෙන පසු කලෙක අන්තර්ජාලයේ පල කිරීම.
  • විකුණන ලද ජංගම දුරකතනයේ කලින් ගබඩා කර තිබු දත්ත ලබාගෙන පෙර හිමිකරුව blackmail කිරීම.
  • දත්ත හුවමාරු කිරීමකට ඉල්ලාගත් pen drive එකේ හුවමාරු කර මකා දැමූ පුද්ගලික ලිපිගොනු පසුව recover කර ලබාගෙන අනිසි ලෙස භාවිතය
  • ජංගම දුරකථනයක තිබු කලකට පෙර ලබාගෙන එම මොහොතේම මකා දැමුවා යයි කියන ඡායා රූප පෙළක් තිරය මාරු කිරීමට අලුත්වැඩියා කිරීමේ ආයතනයකට ලබාදුන් අවස්ථාවක එම තාක්ෂණ ශිල්පියා සොරකම් කරගැනීම.

වැනි සිදුවීම් දක්වන්න පුළුවන්.

අවදානම අවම කරගමු

ගබඩා කර ඇති දත්ත නැවත භාවිතා කල නොහැකි වන අයුරින්ම මැකීමට ඒ සඳහාම නිර්මාණය කල මෘදුකාංග භාවිතා කල හැකිය. Secure Erase, File Shredder, Disk Shredder ආදී වූ විවිධ නම් වලින් මෙම වර්ගයේ මෘදුකාංග හදුන්වනු ලබනවා. සමහර ආයතන ඉතා සංවේදී දත්ත අඩංගු උපකරණ භෞතිකවම විනාශ කර දමන්නේත් මෙම අවදානම අවම කර ගැනීමේ අරමුණින්.

මීට අමතරව අපගේ සංවේදී දත්ත වෙනත් තැනකට පිටපත් කරන විට ඒවා මුලින් සංකේතනය (encrypt) කර පිටපත් කිරීම හරහාත් මෙම අවදානම අවම කරගන්න පුළුවන්.

Latest