Skip to content

එක්ස්සොර්සිම් (Exorcism) කියන්නේ ඇත්තක් "ද"?

මම අද කතා කරන්නේ අපිට ටිකක් හුරුපුරුදු මාතෘකාවක් ගැන. ඒක සිද්ධ වෙන්නේ පටන් ගන්නේ මෙහෙමයි. සමහර විට මේ දේ ඔයාගේ අක්කට හරි නංගිට හරි එහෙමත් නැති නම් ඔයාගේ පෙම්වතියට හරි එහෙමත් නැති නම් කලාතුරකින් ඔයාගේ අම්මට හරි වෙන්න පුලුවන්. එයා හැම වෙලාවෙම එයාට හැදෙන ඔලුව කැක්කුමක් එහෙමත් නැති නම් ශරීරයේ එක එක තැන් වලට අමුතු දෙයක් දැනෙන්න පටන් ගන්නවා වගේ දේවල් කියන්න පටන් ගන්නවා. එයා මොකක් හරි මානසික අවුලකින් ඉන්නවා වගේ අපට පේනවා. ඒ වගේම එයාට හැලූසිනේෂන් (Hallucination) ඒ කියන්නේ එක එක ඒවා පේන්නත් පටන් ගන්නවා. එයාට එක එක ඒවා ඇහෙන්නත් පටන් ගන්නවා. ඊට පස්සේ එයාට සීශර් (Seizure) එකක් හැදෙනවා.

ඔන්න දැන් වැඩේ අමාරුයි. එයාට ඇවිදින්න, කන්න, බොන්න ඒ වගේම මුත්‍රාශය පාලන කරන්න අමාරු වෙනවා. එයා ටික ටික ප්‍රචණ්ඩ වෙන්නත් පටන් ගන්නවා. එයා නිදා ගෙන ඉන්න ඇදට පැය ගානක් අතින් හරි කකුලෙන් හරි ගහන්න ගන්නවා. ඉතින් කොයිම වෙලාවක හරි අකමැත්තෙන් වුනත් ඔයාට එයාව ගැට ගහලා තියන්න වෙනවා. එහෙම ගැටගහන්න අපිව එයාව අල්ල ගන්න හදනකොට තමා තේරෙන්නේ හිතා ගන්නවත් බැරි ශක්තියක් එයාගේ ඇගට ඇවිල්ලා කියලා. මේ වෙද්දි එයාගේ සිහිය අවුල්. ඔයා දන්නවානේ එයා මෙහෙම නැහැ කියලා. ඉතින් එයාගේ මූඩ් එක වෙනස් එක ඔයාට ලේසියෙන් තේරෙනවා. එක වෙලාවකට සතුටින් ඉන්නවා වගේ පේනවා. මහා හයියෙන් හිනා වෙනවා. ආයේ එක වෙලාවක දුකින් ඉන්නවා වගේ පේනවා. ඉකි ගගහා අඩනවා. ආයේ වෙලාවක බය වෙලා ඉන්නවා වගේ පේනවා.

තනිකරම අවුලක්. ඊට පස්සේ එයා අපිට තේරෙන්නේ වත් නැති භාෂාවක් කතා කරන්න පටන් ගන්නවා. දෙමළ, මාගධී, සංස්කෘත, ලතින් එහෙමත් නැතිනම් මොකක් හරි ඇරමික් භාෂාවක් (Aramaic Language) වෙන්න පුලුවන්. මේක වෙන්න බැරි දෙයක්. ඔයා දන්නවානේ මේ දේ වෙන්න කලින් එයාට කතා කරන්න පුලුවන් වුන භාෂාවන් මොනවාද කියලා. එක පාරම මෙයාගේ මේ ලක්ෂණ හැම එකක්ම නැති වෙලා ගිහින් සාමාන්‍ය තත්වයට පත් වෙනවා. එයාගෙන් දැන් පේන්නේ සුදුමැලි වුන මහන්සියක් පේන පෙනුමක්. ඔයාලගේ පවුලේ ඩොක්ටර්ට එයාගේ අවුලක් හොයා ගන්න බැහැ. මනෝ චිකිත්සකයින්, ස්නායු වෛද්‍යවරුන්ට ඇත්තටම මේ සිද්ද වෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.

මේ සිදුවීම ඔයාලට විතරක් නෙමේ ලෝක පුරා ඉන්න සිය දහස් ගණනක් පවුල් වල අයට මූණ දෙන්න වුන එකක්. විවිධ ආගම් වල විවිධ සංස්කෘතීන් වල ජීවත් වෙන පවුල් වල ඉන්න අයට මූණ දෙන්න වුන සිදුවීමක්. මේ දේ ඔබ කෙයාර් කරන ආදරේ කරන කෙනෙක්ට වෙන්න පටන් ගත්තාම වෙන කරන්නම දෙයක් නැති වුනාම ඔයා කතා කරනවා භූත විද්‍යාඥයෙක්ට. එක්ස්සොසිට් (Exorcist) කෙනෙක්ට. යක්කු පන්නන පාස්ටර්ස්ලා, ගුරුකම් කරන හාමුදුරුවරු, වරම් තියෙන ගුරුන්වහන්සේලා හැමෝම අයිති වෙන්නේ මේ කැටගරියට.

ඇනලි මිෂේ (Annelise Miche) කියන්නේ භක්තිමත් ශ්‍රද්ධාවන්ත කතෝලික පවුලක ළමයෙක්. මෙයත් අනිත් ළමයි වගේ සාමාන්‍ය ළමා කාළයක් ගත කළා. ඒ වගේම කරුණාවන්ත, නිර්මාණශීලි, බුද්ධිමත් කෙනෙක්. ආශ්‍රය කෙරුවෙත් හොද යාලුවෝ සෙට් එකක්. පන්තියේ විභාග වලත් ඉහළ ලකුණු ගත්ත මෙයාට ඕනේ වෙලා තිබුණෙත් ගුරුවරියක් වෙන්න. මෙන්න මේ ඇනලිට අවුරුදු 16 දී සීශර් එකක් හැදෙනවා. ඩොක්ටර්ස්ලා කීවේ එයාට තියෙන්නේ Temporal Lobe Epilepsy කියන රෝගය කියලා.

ඇනලි මිෂේ

TLE කියන්නේ හැලූසිනේෂන් ඇති කරන, පෞරුෂයට බලපෑම් ඇති කරන ස්නායු රෝගයක්. ඉතින් අවුරුදු ගාණක් මෙයාට සයිකොතෙරපි (Psychotherapy) ඇන්ටි කන්විල්සිව් මෙඩිටේශන් (Anti-Convulsive Medications) වගේ ට්‍රීට්මන්ට්ස් ගොඩාක් කරා. ඒත් කිසිම සාර්ථක ප්‍රතිඵලයක් හම්බුනේ නැහැ. එන්න එන්නම එයාගේ හැලූසිනේෂන් වැඩි වුනා. හැදෙන සීශර් එක දරුණු වුනා. අවුරුදු 21 දී ඇනලිගේ තත්වය භයානක පැත්තකට හැරවුනා. මෙයාට යක්කු පේන්න එහෙමත් නැති නම් ඩීමන්ලව (Demons) පේන්න පටන් ගත්තා. ඒ වගේම මෙයාව සදාකාලිකවම අපායට නියම කරනවා කියන පණිවිඩයත් ඇහිලා තියෙනවා.

කතෝලික පවුලේ හැමෝම හිතුවේ මෙයා ඩීමන්ලගේ බලපෑමකට අහුවෙලා තියෙනවා කියලා. වෛද්‍ය ප්‍රතිකාර හරි ගියපු නැති නිසා ඇනලි එයාගේ ඇදහිල්ලෙන් උදව් ඉල්ලන්න පටන් ගත්තා. ආගමික වත්පිළිවෙත් ගැන එයාගේ විශ්වාසය වැඩි වුනා. දවසට පැය ගානක් යාඥා කරා. එයාගේ ඇගේ ඉන්න ඩීමන්ලා එලවන්න එයා කරපු නැති දෙයක් නැහැ. වයස 23 දී ඇනලිගේ පවුලේ අය පල්ලියෙන් උදව් ඉල්ලුවා. එයාලට ඕනේ වුනා එක්ස්සොර්සිම් (Exorcism) එකක් කරන්න. ඒ කියන්නේ යක්කු පන්නන්න කරන තොවිලයක් වගේ එකක්. ඒක කරන්නේ පල්ලියේ පූජකයෙක්.

ඉස්සරහට ආව මාස දහය පුරාම ඇනලි මේ වගේ තොවිල් දාසයකට සහභාගි වෙලා තියෙනවා. මේ තොවිල් පැය ගානක් කරන්න වෙන පට්ට විදිහට මහන්සි වෙන්න ඕනේ දෙයක්. මේ තොවිල් වලදී ඇනලි කෑගැහුවා. ගෙරෙව්වා. ඒ වගේම එයා ජීවිතේට ඉගෙන ගෙන නැති භාෂාවන් වලින් පවා කතා කරා. එයා එයාටම පවා හානි කර ගත්තා. තමන්ගෙම ඇගේ ඇටකටු කුඩු කරා. ඇගේ තුවාල ඉරන්න පවා ගත්තා. ඒ විතරක් නෙමේ ඇනලි කාමරේ හිටපු අනිත් අයටත් පහර දෙන්න පටන් ගත්තා. එයාට හිතා ගන්න බැරි තරම් ශක්තියක් කොහොම හරි ඇවිල්ලා තිබ්බා. කොච්චර ශක්තිමත්ද කියනවා නම් අනිත් මිනිස්සු උස්සලා කාමරයේ කෙළවරකට විසික් කරන්න එයාට පුලුවන් වෙලා තියෙනවා.

මිනිස්සු පස් දෙනෙකුටවත් එයාව අල්ල ගන්න බැරි වුන නිසා අන්තිමේදී කළේ එයාව ඇදේ බැදපු එක. ඒ බැන්දට පස්සේ එක පාරක් ඇනලි කළා කාටවත් හිතා ගන්න බැරි වැඩක්. එයා බැදලා තිබ්බ ලණු කඩාගෙන එයාව නිදහස් කර ගත්තා. මෙයාගේ ශරීරයත් එන්න එන්නම දුර්වලා වුනා. ඇනලි කීවේ ඩීමන්ලා එයාට කන්න බොන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් එයා සමහර වෙලාවල් වල එයාගේ කාමරේ බඩගාපු මකුලුවො එහෙමත් නැති නම් කෘමීන් වගේ සත්තු කෑවා. කොහොම හරි අන්තිමට මෙයාගේ ශරීරයට මේක දරා ගන්න බැරි වුනා. ඇනලි මිෂේ එයාට අවුරුදු 23 දී මේ ලෝකය දාලා ගියා.

මරණයට හේතුව විදිහට වෛද්‍යවරුන් කීවේ මන්දපෝෂණය සහ විජලනය කියලා. ඇනලිගේ මරණයෙන් පස්සේ එයාගේ කතාව ලෝකයේ දැඩි විවාදයක් ඇති වෙන්න හේතු වුනා. ප්‍රධාන ධාරාවේ මතය වුනේ ඇනලි අසාර්ථක වෛද්‍ය ප්‍රතිකාර සහ ආගමික ක්‍රියාකාරකම් වල වින්දිතයෙක් වුනා කියන එක. එයාගේ පවුලේ අයටයි පූජකයන්ටයි නොසැලකිලිමත්කම සහ අපයෝජනය කියන චෝදනා එල්ල වුනා. හැබැයි ඒ කවුරුත් සිර දඩුවම් නම් වින්දේ නැහැ.

The Exorcism of Anneliese
Exorcisms are a brutal torture ritual with no hope of actually helping a person who believes themselves possessed.

ඔයාලා බලලා තියෙනවාද "The Exorcism Of Emily Rose" කියන ෆිල්ම් එක?

The Exorcism of Emily Rose (2005) ⭐ 6.7 | Drama, Horror, Thriller
1h 59m | A

අන්න ඒ ෆිල්ම් එක හදන්න ආභාසය අරන් තියෙන්නේ මෙන්න මේ ඇනලි මිෂේගේ ඇත්ත ජීවිත කතාව. දැන් නම් එක්ස්සොර්සිම් ගැන තියෙන ෆිල්ම්ස් ගොඩක් තියෙනවා. නමුත් දශකයකට විතර කලින් පල්ලිය මේ සිදුවීම් ගැන කතා කරන එක මග ඇරලා තිබ්බේ. ඇත්තටම කියනවා නම් මේ වගේ සිදුවීම් සිදු වුනා කියන එකවත් පල්ලිය පිළිගත්තේ නැහැ. හැබැයි ඒ හැමදෙයක්ම වෙනස් කරලා එක්ස්සොර්සිම් ප්‍රධාන ධාරාවේ කතා බහට ගේන්න එක ෆිල්ම් එකකට පුලුවන් වුනා. ඒ තමා "The Exorcist" කියන ෆිල්ම් එක.

The Exorcist (1973) ⭐ 8.1 | Horror
2h 2m | A

1973 දී The Exorcist ෆිල්ම් එක රිලීස් වුනාම ඒ ගැන ලොකු කතා බහක් සමාජය පුරාම ඇති වුනා. මේ ෆිල්ම් එක බලන්න ආව මිනිස්සුන්ගෙන් ෆිල්ම් හෝල් පිරිලා ගියා. ඒ වගේම The Exorcist කියන්නේ මෙතෙක් කාලයකට වැඩිම ආදයම් ලබපු ෆිල්ම් සෙට් එකෙන් එකක්. එක්ස්සොර්සිම් කියන මාතෘකාව ප්‍රධාන ධාරවේ කතා බහක් වෙන්න හේතු වුනේ මේ ෆිල්ම් එකේ තිබුණ යථාර්ථවාදී බව. මේ චිත්‍රපටිය විලියම් බ්ලැටීගේ නවකතාවක් මත පදනම් වෙලා තමා නිර්මාණය වුනේ. ෆිල්ම් එක නවකතාවක් මත පදනම් වුනත් නවකතාවට පදනම් වුනේ ඇත්ත සිදුවීමක්.

විලියම් බ්ලැටී

1949 එක්ස්සොර්සිම් රාශියකට ලක්වුන ළමයෙක් ගැන බ්ලැටී කියවලා තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ හැමෝම හිතුවේ මේ ළමයාගේ නම් රොනල්ඩ් ඩෝ හරි රොබී මැන්හයිම් කියලා. ඒත් ඇත්තටම මේ ළමයාගේ නම රොනල්ඩ් හන්කෙලර්. රොනල්ඩ්ට අවුරුදු 13 දී එයාගේ නැන්දා මරණයට පත් වුන නිසා විශාලා මානසික පීඩනයකට ලක් වුනා. රොනල්ඩුයි එයාගේ නැන්දයි අතර ලොකු ආදරයක් තිබිලා තියෙනවා. මේ නැන්දා එයාට ගොඩාක් දේවල් උගන්නලා තිබ්බා. ඒ අතරින් එකක් තමා Ouija බෝඩ් එකක් යූස් කරන්නේ කොහොමද කියන එක.

රොනල්ඩ් හන්කෙලර්

ඔයාලා Ouija බෝඩ් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවාද?

Ouija බෝඩ් එකක් කියන්නේ මළවුන් එක්ක අදහස් හුවමාරු කර ගන්න පුලුවන් කියලා විශ්වාස කරන එක ක්‍රමයක්. මේක අද්භූත සිදුවීම් ගවේශණය කරන්න කැමති තරුණ කට්ටිය අතරේ ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. නැන්දාගේ මරණයෙන් ටික කාලෙකට පස්සේ රොනල්ඩ්ට අද්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හරියටම කියනවා නම් කවුරු හරි එයාට පිටිපස්සෙන් තට්ටු කරනවා වගේ එයාට දැනුනා. එහෙමත් නැති නම් එයාගේ පිටිපස්සේ ඉදන් කවුරු හරි කසනවා වගේ සද්දත් එයාට ඇහුණා. ඒ වගේම එයා නිදා ගන්න කාමරේ බිත්ති වල වතුර පෙරන්නත් පටන් අරගෙන. බිත්ති වලට එහා පැත්තේ තියෙන වතුර පයිප්ප පරීක්ෂා කෙරුවත් කිසිම ලීක් එකක් නම් හම්බෙලත් නැහැ.

Ouija බෝඩ් එකක්

ඒත් බය හිතෙනම දේ ඒක නෙමේ. රොනල්ඩ්ගේ ඇද කාමරයේ එහාට මෙහාට යනවා එයාට දැනෙන්න අරගෙන. රොනල්ඩ්ගේ දෙමව්පියෝ මේ වෙන දේ තේරුම් ගන්න උදව් කරන්න පුලුවන් හැමෝටම කතා කරා. ඩොක්ටර්ස්ලා, මනෝ චිකිත්සකයෝ, මනෝ වෛද්‍යවරු. කතා කරපු නැති කෙනෙක් නැහැ. ඒත් ඒ කාටවත් කිසිම වැරැද්දක් හොයා ගන්න බැරි වුනා. කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි පල්ලියේ පූජකයෙක්ගෙන් උදව් ඉල්ල ගන්න මෙයාලා තීරණය කරා. කතෝලික පල්ලියේ අවසරයත් අරගෙන ඇල්බට් කියලා ෆාදර් කෙනෙක් 1949 දී රොබට්ට එක්ස්සොර්සිම් එකක් කරා. ඒත් ඒක මගදි නතර කරන්න වුනා. ඒ වෙලාවේ රොනල්ඩ්ව එයාගේ ඇදේ බැදලා තිබ්බේ. එයා බැදලා තිබ්බ ලණු ගලවගෙන ඇදේ මෙට්ටේ ඉරලා ඒ මෙට්ටේ ඇතුලේ තිබ්බ ස්ප්‍රින්ග් එකක් අරගෙන ෆාදර් ඇල්බට්ගේ උරහිස කැපුවා.

එක්ස්සොර්සිම් එක කරලා දවස් ගාණකට පස්සේ රොනල්ඩ්ගේ ඇග පුරාම සීරිම් ලකුණු මතු වෙන්න පටන් ගත්තා. එහෙම මතු වුන සීරිම් ලකුණු සෙට් එකකින් කියවගන්න පුලුවන් වචනයක් මතු වෙලා තිබ්බා. ඒ වචනය තමා "ලුවිස්". මේ වචනේ දැක්ක රොබට්ගේ අම්මා හිතුවේ මේක ඉගියක් කියලා. හරියටම කියනවා නම් ශාන්ත ලුවිස් එහෙමත් නැති නම් සෙන්ට් ලුවිස්ගෙන් හම්බුන ඉගියක් කියලා. ගොඩක් පූජකයෝ රොනල්ඩ්ට උදව් කරන්න හැදුවා. හැබැයි කිසිම දෙයක් සාර්ථක වුනේ නැහැ. මේ සිද්දිය ඇසින් දැක්ක අය කියලා තියෙනවා රොනල්ඩ්ගේ ඇගෙන් සීරිම් මතු වෙනවා එයාලා දැක්කා කියලා. ඒ විතරක් නෙමේ රොනල්ඩ්ගේ ඇද පාවෙනවා පවා දැක්කා කියලා තියෙනවා.

දිගින් දිගටම මේ සීරිම් ලකුණු මතු වෙන එක නතර වුනේ නැහැ. එක්ස්සොර්සිම් ගොඩක් කෙරුවත් රොනල්ඩ්ට හොද වුනේ නම් නැහැ. එන්න එන්නම තත්වය දරුණු වුනා. රොනල්ඩ්ගේ හැසිරීම පවා දරුණු වුනා. එයා එයාගේ ඇදේ මුත්‍රා පිට කරන්න පවා පටන් ගත්තා. අන්තිමට කරන්න දෙයක් නැතුව රොනල්ඩ්ව සෙන්ට් ලුවිස් වල තියෙන ඇලෙක්ෂියන් සහෝදරයින්ගේ හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරා. මාස ගානක් යනකන් ප්‍රතිකාර කෙරුවත් රොනල්ඩ්ට නෙමේ හොද වුනේ. ලතින් භාෂාවෙන් කෑ ගහපු මේ රෝගියාව හොද කරන්න බැරිම තැන පූජකයෙක්ට කතා කරන්න හොස්පිට්ල් එකෙන් තීරණය කරා. ඒ පූජකයා කරපු එක්ස්සොර්සිම් එකෙන් විනාඩි හතකට පස්සේ සාමන්‍ය තත්වයට ආපු රොනල්ඩ් කීවේ එයාගේ ඇගේ හිටපු ඩීමන් එයාව දාලා ගියා කියලා.

ඊට පස්සේ රොනල්ඩ් හන්කෙලර් සාමන්‍ය ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඇත්තටම කීවොත් රොනල්ඩ් ගිහින් නතර වුනේ නාසා එකෙන්. ඇපලෝ අභ්‍යවකාශ ෂටලය නිර්මාණය කරපු ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු ඉංජිනේරුවෙක් තමා රොනල්ඩ් හන්කෙලර් කියන්නේ. මේ සිද්ධියෙන් පස්සේ එයා එයාගේ අනන්‍යතාවය අනිත් අයගෙන් අවුරුදු ගානක් යනකන් හංගන් හිටියා. රොනල්ඩ්ගේ රහස ඒ කියන්නේ The Exorcist ෆිල්ම් එක හදන්න හේතුව රොනල්ඩ් කියන එක නාසා එකේ වැඩ කරන අනිත් අය දැන ගනීවි කියලා රොනල්ඩ් බයෙන් හිටියේ කියලා එයාගේ යාලුවෙක් කියලත් තියෙනවා. 2001 දී නාසා අයතනයෙන් විශ්‍රාම ගත්ත රොනල්ඩ් හන්කෙලර් 2020 දී ජීවිතයට සමු දුන්නා.

Wikiwand - Exorcism of Roland Doe
In the late 1940s, in the United States, priests of the Roman Catholic Church performed a series of exorcisms on an anonymous boy, documented under the pseudonym “Roland Doe” or “Robbie Mannheim”. The 14-year-old boy was the alleged victim of demonic possession, and the events were recorded by the…
Demoniac: Who Is Roland Doe, the Boy Who Inspired The Exorcist? | Skeptical Inquirer
If recent films such as The Conjuring: The Devil Made Me Do It are any indication, there’s no shortage of fascination with movies about demons and demonic possession. Perhaps looking to follow up on the success of their Insidious film franchise, last year Blumhouse Studio announced it would be t…
Boy whose case inspired The Exorcist is named by US magazine
The boy, previously known as Roland Doe, underwent exorcisms in Cottage City, Maryland, and St Louis, Missouri, in 1949

The Exorcist ෆිල්ම් එක රිලීස් වෙලා අවුරුදු ගානක් යනකන් ලෝකයේ හැමතැනම ඩීමන්ලා ආවේශ වුන සිදුවීම්, එක්ස්සොර්සිම් බහුලව සිදු වෙන්න පටන් ගත්තා. ඒවා අතරින් වඩාත්ම ප්‍රසිද්ධ සහ භයානකම සිදුවීම වුනේ මීට අවුරුදු දොළහකට කලින්. 2011 දී ලැටෝයා ආමන්ස් එයාගේ ළමයි තුන් දෙනත් එක්ක ඉන්දියානා ප්‍රාන්තයේ ගැරී කියන නගරයේ පදිංචියට ආවා. ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමා ලැටෝයාට මුහුණ දෙන්න වුන පළවෙනි අද්භූත සිදුවීම වුනේ. එයාගේ පෝෂේ කාර් එක පුරාම කළු මැස්සෝ ජාතියක් වහන්න පටන් අරන් තියෙනවා. ලැටෝයා මේ කළු මැස්සෝ එන එක වළක්වන්න මොන දේ කෙරුවත් ඒ කිසිම දෙයක් හරි ගියේ නම් නැහැ. කළු මැස්සෝ එන එක පැත්තක තියන්නකෝ. එක දවසක් රෑ ලැටෝයාට හරිම අමුතු සිදුවීමකට මුහුණ දෙන්න වුනා.

ලැටෝයා ආමන්ස්

ඒ තමා එයාගේ ගෙදර පල්ලේ තට්ටුවේ ඒ කියන්නේ බේස්මන්ට් එකේ ඉදන් කුස්සියට තියෙන පඩිපෙල දිගේ කවුරු හරි උඩට නැගගෙන එන සද්දේ ඇහිලා තියෙනවා. මේක ලැටෝයාට විතරක් නෙමේ ඇහිලා තියෙන්නේ. එයාගේ අම්මා වුන රෝසා කැම්බෙල්ටත් ඇහිලා. ඒ එක්කම බේස්මන්ට් එකේ ඉදන් කුස්සියට එන දොර කවුරු හරි අරින සද්දෙත් ඇහිලා. ලැටෝයාත් ඉතින් මොකක්ද මේ සද්දේ කියලා බලන්න ගිහින්. ඒත් කවුරුත් කුස්සියේ ඉදලා නැහැ. ඊට පස්සේ කුස්සියේ දොර ලොක් කරපු ලැටෝයා ආපහු නිදා ගන්න ඇදට ගිහින්. හැබැයි ඒ ගිහින් පැයක් ගියේ නැහැ ආපහු අර සද්දේ ඇහෙන්න පටන් අරන්. මේ පාර අඩ අදුරෙම ලැටෝයා දැකලා තියෙනවා කුස්සියේ හෙමින් ඇවිදින කවුරු හරි කෙනෙක්ගේ ඡායාවක්. හිතට ධෛර්යය ගත්ත මෙයා ආපහු කුස්සියට ගිහින් ලයිට් එක දැම්මාම කවුරුත් ඉදලා නැහැ. ඒ වෙනුවට ලැටෝයාට දකින්නේ හම්බුනේ ඇග හිරිවැටෙන දෙයක්.

ඔයාට හිතා ගන්න පුලුවන්ද එයා දැක්කේ මොකක්ද කියලා?

"වතුරෙන් තෙත් වෙලා තිබ්බ ලොකු සපත්තු ජෝඩුවක් දාගෙන ඇවිදපු මනුස්සයෙක්ගේ අඩි සළකුණු."

කොහොම හරි ආයේ මේ වගේ අද්භූත සිද්ධියක් වෙන්න මාස කිහිපයක් ගත වුනා. මේ පාර ලැටෝයාගේ අම්මා වුන රෝසා ඇහැරිලා තියෙන්නේ ලැටෝයා කෑගහන සද්දෙට. ඒ සද්දේ ආවේ රෝසාගේ මිණිපිරිය ඒ කියන්නේ ලැටෝයාගේ දුවගේ කාමරේ ඉදන්. රෝසා මේ කාමරේට දුවගෙන ගිහින් තියෙනවා.

එතකොට එයා දැකපු දේ ඔයාට හිතා ගන්න පුලුවන් ද?

අවුරුදු දොළහක් වුන ලැටෝයාගේ දුව අවසිහියෙන් එයාගේ ඇදට උඩින් පාවෙමින් ඉදලා තියෙනවා. කොහොම හරි ටික වෙලාවකින් ළමයා ආපහු ඇදට වැටිලා. ඇස් ඇරපු ළමයට ඊට කලින් වුන කිසිම දෙයක් ගැන මතකයක් නම් තිබිලේ නැහැ. පහුවෙනිදා ලැටෝයා කෙලින්ම නතර වුනේ පල්ලියෙන්. ඒත් පල්ලියේ හිටපු කවුරුත් එයාව විශ්වාස කරේ නැහැ. ඔයාලට මතකද මම ක්ලෙයාර්වෝයන්ට්ලා ගැන කලින් කියලා තියෙනවා. මතක නැති නම් පොඩි අදහසක් ගන්න මේ ආටිකල් කියවලා බලන්න.

CIA රහස් ව්‍යාපෘති 2; ගේට්වේ අත්දැකීම සහ පාරභෞතික හැකියාවන්
අපව අධ්‍යාත්මික ලෝකය හා සම්බන්ධ කිරීමට සමත් කම්පන ජාලයක් (Vibrationa Network) වැනි යම් අභ්‍යන්තර තාක්ෂණයක් වැනි දෙයක් තිබේද? Clairvoyant ඔත්තුකරුවන් පුහුණු කිරීම සම්
එඩ්ගා කේසි ; නිදාගන්නා අනාගතවක්තෘ (Sleeping Prophet)
මේ ලිපියෙන් අපි කතා කරන්නේ අද්භූත වූ මිනිසෙකුගේ ජීවිත කතාවයි. ඔහුගේ නම එඩ්ගා කේසි (Edgar Cayce) වන අතර, ඔහු ඉතිරි කළ උරුමය අද දක්වාම අපගේ සිත් ඇදගන්නාසු

කොහොම හරි ගැරී නගරයේ පදිංචි වෙලා හිටපු ක්ලෙයාර්වෝයන්ට් කෙනෙක් ලැටෝයාට කිව්වා එයාගේ ගෙදර ඩීමන්ලා 200ක් විතර ඉන්නවා කියලා. ඒ වගේම මේ ඩීමන්ලා පන්නන්න ඕනේ නම් අග්ගිස් (Sage) එක්ක සල්ෆර් පත්තු කරලා ගේ පුරා දුම් අල්ලන්නත් ඕනේලු. ඉතින් ගේ පුරා දුම් ඇල්ලුවාට පස්සේ නම් ටික දවසක් යනකන් මේ ඩීමන්ලාගේ කරදරේ නැති වෙලා තියෙනවා. හැබැයි ටික දවසක් යනකන් විතරයි. ඊට පස්සේ කතාව තවත් භයානක පැත්තකට ඇදිලා යනවා. ලැටෝයාගේ ළමයින්ගේ වයස පිළිවලට කියනවා නම් අවුරුදු 7යි, අවුරුදු 9යි, අවුරුදු 12 යි. මේ ළමයි තුන්දෙනාගේම ඇගට ඩීමන්ලා ආවේශ වෙන්න පටන් අරන්.

ළමයින්ගේ ඇස් ලොකු වෙන එක, මූණට දුෂ්ට හිනාවක් එන එක, කතා කරන වෙලාවට කටහඩ ගැඹුරු වෙලා වෙනස් වෙන එක වෙලා තියෙනවා. අවුරුදු හතේ ළමයා අල්මාරියේ ඇතුලේ ඉදන් තව කෙනෙක් එක්ක කතා කරන්නත් පටන් අරගෙන. හැබැයි ලැටෝයා ගිහින් අල්මාරිය අරිද්දි තව කෙනෙක් පේන්න නම් හිටියේ නැහැ.

මේ කාටවත් පෙනුනේ නැති අමුත්තා අර අවුරුදු හතේ පොඩි ළමයට කියලා තියෙන්නේ මොනවාද දන්නවාද?

"මැරෙන එක මොන වගේද, මැරෙන වෙලාවට හිතෙන්නේ මොනවාද වගේ විස්තර."

අවුරුදු හතක් වයස ළමයාට වුන භයානකම වැඩේ ඒක නෙමේ. එයාව කවුරු හරි කෙනෙක් බාත්රූම් එකේ ඉදන් එළියට විසික් කරලත් තියෙනවා. අවුරුදු දොළහේ ළමයා එයාගේ ඩොක්ටර්ස්ලාට කියලා තියෙනවා සමහර වෙලාවට කවුරු හරි එයාගේ බෙල්ල මිරිකනවා කියලා. ඒ වෙලාවට එයාට කතා කරන්න, හුස්ම ගන්න බැරි වෙනවාලු. ඒ වගේම එයාට කවුරු හරි කතා කරන කටහඩකුත් ඇහිලා.

ඒ කටහඩ මොකක්ද දන්නවාද කියලා තියෙන්නේ?

"ඔයාට ඔයාගේ පවුලේ අය ආයේ දකින්න වෙන්නේ නැහැ. ඔයා තව විනාඩි 20 යි ජීවත් වෙන්නේ."

හෝව්! හෝව්! දැන් මට බැනගෙන එන්න කලින් කියන්න ඕනේ මම මේ ආටිකල් එකට මට හිතෙන ඒවා දාලා නැහැ කියන එක. මේ හැමදෙයක්ම පොලිස් වාර්තාවල තියෙන ඒවා. මේ පොලිස් වාර්තා ලියලා තියෙන්නේ ප්‍රවීණ පොලිස් නිලධාරීන් දෙන්නෙක්.

කොහොම හරි මේ සිද්ධියේ ඊළඟ ටික පටන් ගන්නේ පළපුරුදු ඩොක්ටර්ස්ලා ගාව. ගැරී නගරයේ පෞද්ගලික වෛද්‍ය සායනයක මේ ළමයි පරික්ෂා කරද්දි අවුරුදු 7 සහ අවුරුදු 9 ළමයි දෙන්නම සිහිය නැති වෙලා තියෙනවා. කොච්චර ට්‍රයි කරත් සිහිය ගන්න බැරි වෙලා. ඉතින් 9-1-1 කෝල් කරලා මේ ළමයිව මෙතෝඩිස්ට් හොස්පිට්ල් එකට ගෙනිහින් ඇඩ්මිට් කරාට පස්සේ තමා සිහිය ගන්න පුලුවන් වෙලා තියෙන්නේ. අවුරුදු 9 ළමයා නම් එච්චරම අවුලක් පෙන්නලා නැහැ. හැබැයි අවුරුදු 7 ළමයා ඒ සිද්ධියෙන් ශොක් වෙලා කෑ ගහන්න ඒ වගේම දගලන්න පටන් අරන්. මේ ළමයාව අල්ල ගන්න වැඩිහිටියෝ පස්දෙනෙක් ඕනේ වෙලා තිබුණා.

හොස්පිට්ල් එකේ හිටපු කට්ටිය හිතලා තියෙන්නේ ළමයින්ගේ හැසිරීමට හේතුව එයාලට ගෙදර තිබ්බ ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ලැටෝයාට මොකක් හරි මානසික රෝගයක් තියෙන්න පුලුවන් කියන දේ තමා ඒ අය සැක කරේ. ඉතින් හොස්පිට්ල් එකෙන් ළමා සේවාවක් එහෙමත් නැති නම් චයිල්ඩ් සර්විස් (Child Service) එකකට කතා කරලා. මේ සිදුවීම පරීක්ෂා කරන්න භාර දුන්නේ වැලරි වොෂින්ටන් කියන නිලධාරිනියට. එයා හොස්පිට්ල් එකේ මනෝ වෛද්‍යවරුන්ට මේ අයගේ මානසික තත්වය පරීක්ෂා කරන්න කියලා නියම කරා. ඒත් ඉතින් අන්තිමට ලැටෝයයි එයාගේ ළමයින්ටයි එහෙම මොකුත් මානසික රෝගයක් තියෙයි කියලා ඒ කාටවත් හොයා ගන්න බැරි වුනා.

මේ ප්‍රශ්නේ අගක් මුලක් හොයා ගන්න ඕනේ නිසා වැලරි අවුරුදු 7 ළමයාට කතා කරන්න තීරණය කරලා ඒ ළමයාගේ ලගට ගිහින් තියෙනවා. ඒ වෙලාවේ ඒ ළමයා ඇස් දෙක ලොකු කරන් ගොරවලා එයාගේ සහෝදරයාගේ බෙල්ලෙන් අල්ලන් මිරිකලා මෙහෙම කියලා.

"දැන් මැරෙන්න වෙලාව."

ඒ වෙලාවේ ලොකූ ට්‍රයි එකක් දීලා තමා අවුරුදු 9 ළමයාව බේරගෙන තියෙන්නේ. හැබැයි ඊළගට වුන දේ තමා හොස්පිට්ල් එකේ වැඩ කරන අයට තවමත් පැහැදිලි කරන්න බැරි වෙලා තියෙන්නේ. වැලරි පල කරපු නිළ ඩී.සී.එස් රිපෝට් (DCS Report) එකට අනුව අවුරුදු 9 ළමයා රෝසාගේ අතින් අල්ලගෙන ඉන්න ගමන් ආපස්සට ගිහින් බිත්තිය දිගේ කකුල් දෙකෙන් ඇවිදලා සිවිලිමේ හිටගෙන තියෙනවා. හරියට හොල්මන් ෆිල්ම් එකක වගේමයි. ඊළගට ඒ ළමයා කරනමක් ගහලා ආපහු බිමට පැනලා. මේ හැමදෙයක්ම වෙලා තියෙන්නේ රෝසාගේ අත අල්ලන් ඉන්න ගමන්. ළමයාට මේ කිසිම දෙයක් මතක තිබිලා නැහැ. ඩී.සී.එස් වාර්තාවේ තියෙන මේ සිදුවීමට නර්ස් කෙනෙකුත් සාක්ෂි දීලා තියෙනවා. ආයෙත් මම කියනවා ඔයාලට. මේ මම හිතින් මවාගෙන කියන ඒවා එහෙම නෙමේ.

DocumentCloud
DocumentCloud
DocumentCloud

මොකක්ද කරන්න ඕනේ කියලා තීරණයක් ගන්නකන් වැලරි වොෂින්ටන් ළමයින්ව ඩී.සී.එස් එක යටතේ තාවකාලික රැකවරණයේ තියා ගන්න තීරණය කරා. මේ එක්කම හොස්පිට්ල් එකේ පූජකතුමා මයිකල් එල් මැගිනොට් කියන පූජකතුමාට මේ සිදුවීම ගැන කියලා තියෙනවා. මේ පවුලේ අය එක්ක කතා කරලා එක්ස්සොර්සිම් එකක් කරන්න කියලා. මැගිනොට් පූජකතුමා ලැටෝයාගේ ගෙදරට ගියපු වෙලාවේ ඒ ගෙදර ලයිට් කිසිම හේතුවක් නැතුව නිවි නිවි පත්තු වෙන්න අරන් තියෙනවා. ඒ වගේම මේ පූජකතුමා දැකලා තියෙනවා ලැටෝයා අඩ අදුරේ දැකපු සෙවනැල්ලත්. ඒ වගේම තෙත් අඩි සටහන් සලකුණු.

පූජකතුමා ලැටෝයාගේ මූණ ඉස්සරහට කුරුසය ඇල්ලුවාම ලැටෝයා වලිප්පුව හැදිලා වගේ දගලන්නත් පටන් අරගෙන. ඉතින් පූජකතුමා විශ්වාස කරලා තියෙනවා මේ ගෙදර ඩීමන්ලාගේ බලපෑමට යටත් වෙලා තියෙනවා කියන කාරණාව. හරියටම කියනවා නම් මේ ගෙදර ඩීමන්ලා කොහෙට හරි ගමන් කරන්න යොදා ගන්න පෝටල් එකක් තියෙනවා කියන දේ තමා මැගිනොට් පූජකතුමා නිගමනය කළේ. කොහෙහරි නරක දිහාවකට යන්න පෝටල් එකක්. සතියකට පස්සේ ඩී.සී.එස් එකයි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුයි මේ ගෙදර තත්වය පරීක්ෂා කරන්න ඇවිත් තියෙනවා. ගැරී නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් තමා අවුරුදු කැප්ටන් චාර්ල්ස් ඔස්ටින් කියන්නේ. මෙයා මේ ගෙදර ඇතුළට යනකන් ඩීමන්ලා, හොල්මන් කියන දේවල් විශ්වාස කරලා නැහැ.

"හැබැයි එයා මේ ගෙදරින් එළියට එද්දි ඒ දේවල් ගැන විශ්වාස කරන තැනට එයාව පත්වුනා."

Police chief ‘believes’ story of possessed children
A US police chief has reinforced a woman’s claims that her three children were possessed by demons.

එක නිලධාරියෙක්ගේ ඕඩියෝ රෙකෝඩර් එකේ බැට්‍රි සම්පූර්ණයෙන්ම බැහැලා. හැබැයි එයා ගේ ඇතුළට යන්න කලින් අලුත්ම බැට්‍රි තමා එයා රෙකෝඩර් එකට දාලා තියෙන්නේ. තවත් පොලිස් නිලධාරියෙක්ගේ ඕඩියේ රෙකෝඩර් එකේ මෙහෙම කියනවා රෙකෝඩ් වෙලා තියෙනවා.

"හේයි. මම පුදුමයට පත් වෙනවා."

මේ නිලධාරීන් ගත්ත ෆොටෝස් වල අමුතු හැඩයේ සෙවනැලි තිබිලා තියෙනවා. කැප්ටන් ඔස්ටින් ගත්ත ෆොටෝ එකක එතන හිටපු නැති කෙනෙක්ගේ ඡායාවක් පවා තිබිලා තියෙනවා. කැප්ටන් ඔස්ටින්ගේ පොලිස් රේඩියෝ එක වැඩ කරන එකත් නැවතිලා. එයාගේ කාර් එකේ තිබ්බ ඉලෙක්ට්‍රොනික් උපකරණ හැම එකක්ම හේතුවක් නැතුව වැඩ කරන එක නතර වෙලා. හැබැයි ඒ හැම එකක්ම පරීක්ෂා කරද්දි ඒවගේ කිසිම මැකැනිකල් අවුලක් තිබිලා නම් නැහැ. මේ හැමදෙයක් ගැනම නිල පොලිස් වාර්තාවේ තියෙනවා. කැප්ටන් ඔස්ටින් කියන්නේ ඇස් දෙකට බලන්නවත් බැරි අපරාධ ස්ථාන සෑහෙන ප්‍රමාණයක් පරීක්ෂා කරපු කෙනෙක්. හැබැයි එයා කියලා තියෙනවා මේ ගෙදර එයා එක දවසක්වත් රැයක් ගත කරන්නේ නම් නැහැ කියලා.

The exorcisms of Latoya Ammons
A woman and three children who claimed to be possessed by demons. A 9-year-old boy walking backward up a wall in the…

අන්තිමට මැගිනොට් පූජකතුමා මේ ගෙදර එක්ස්සොර්සිම් ගානක් කරලා තියෙනවා. තුන් වෙනි සෙසන් එකෙන් පස්සේ ගෙදර පාරිශුද්ධ වෙලා තියෙනවා. පූජකතුමා කියන විදිහට ඩීමන්ලාව ගෙදරින් අයින් කරලා. ඊට පස්සේ ඩීමන්ලා හෝ ආවේශ වීම් ගැන කතා කරන්නේ නැහැ කියන නියම කිරීම ඒ කියන්නේ ස්ටිපියුලේශන් (Stipulation) එක දාලා චයිල්ඩ් සර්විස් එකෙන් ළමයින්වත් ආපහු ගෙදරට එවලා. කොහොමහරි අන්තිමට මේ අද්භූත සිදුවීම් නතර වෙලා. ලැටෝයා අවුරුද්දකට විතර පස්සේ මේ ගෙදරින් වෙන ගෙදරකට පදිංචිය මාරු කරලා ගිහින් තියෙනවා.

Wikiwand - Ammons haunting case
The Ammons haunting case, also known as the 200 Demons House or Demon House, is an alleged haunting and demonic possession which occurred in Gary, Indiana, in the United States in 2011. Latoya Ammons, her mother, Rosa Campbell, and her three children claimed paranormal activity occurred in the resid…
The ‘200 Demons’ House: A Skeptical Demonologist’s Report | Skeptical Inquirer
Sparking an international media frenzy, a house in Gary, Indiana, was—according to two unnamed “clairvoyants”—besieged by over 200 demons.

ඊට පස්සේ මේ ගෙදර පදිංචියට ගොඩක් අය ඇවිත් තියෙනවා. හැබැයි මේ ගෙදර අන්තිමට පදිංචියට ආවේ සැක් බේගන්.

සැක් බේගන්

ඔයා දන්නවා නේද සැක් බේගන්ව?

එයා තමා ගෝස්ට් ඇඩ්වෙන්චස් (Ghost Adventures) කියන ටීවී ප්‍රෝග්‍රෑම් එක මෙහෙයවපු නිවේදකයා. එයා මේ ඩීමන් හවුස් කියන වැඩසටහන මේ ගෙදර ඇතුලේ ශූට් කරලා ඊට පස්සේ මේ ගෙදර විනාශ කරනවා. ඇත්තටම ඩීමන්ලාට පෝටල් එකක් තිබිලා තියේ නම් බය වෙන්න දෙයක් නැහැ. ඒක දැන් පොළවටම සමතලා වෙලා තමා තියෙන්නේ.

Demon House (2019) ⭐ 4.8 | Documentary, Horror, Mystery
1h 35m | TV-14

ගොඩාක් මිනිස්සු කියන දෙයක් තමා මේ වගේ සිදුවීම් නපුරේ බලවේග ලෝකයේ තියෙනවා කියන්න හොදම සාක්ෂි කියන එක. ඒ වගේම අපිට මේ නපුරේ බලවේග එක්ක කරන යුද්ධය දිනන්න නම් ඇදහිල්ල එහෙමත් නැති නම් ෆේත් (Faith) කියන දේ අපට අත්‍යවශ්‍යය දෙයක්. ඇත්තටම මේක යුද්ධයක් නම් මේ යුද්ධයේ සටන් කරන ශ්‍රේෂ්ඨතම සටන් කරුවා වෙන්නේ කතෝලික පල්ලියේ පූජකතුමෙක් සහ එක්ස්සොර්සිට් කෙනෙක් වෙන ෆාදර් ගේබ්‍රියල් ආමෝත්. හරියටම කියනවා නම් නපුරට එරෙහිව කරන සටනේ වීරයෙක් විදිහට හදුන්වන්න පුලුවන්. අවුරුදු 30 ක් පුරාවටම මෙයා තමා වතිකානුවේ ප්‍රධාන එක්ස්සොර්සිට් (Vatican's Chief Exorcist) විදිහට සේවය කරලා තියෙන්නේ.

ෆාදර් ගේබ්‍රියල් ආමෝත්

"ඔව්. ඒක ඇත්තටම තියෙන ජොබ් එකක්. පල්ලියේ ඇත්තටම තියෙන තනතුරක්."

ෆාදර් ගේබ්‍රියල් එයාගේ සේවා කාලය තුල එක්ස්සොර්සිම් දාහකට වැඩිය කරලා තියෙනවා. ඒ වගේම මේ විෂය සම්බන්ධව පොත් රාශියක් ලියලා තියෙනවා. එයා විශ්වාස කෙරුවේ ඩීමන්ලාගේ ආවේශ වීම ඇත්ත සිදුවීමක් කියලා. ඒ වගේම යක්ෂයා විශ්වාස කරුවන්ගේ ෆේත් එක විනාශ කරන්න උත්සහ කරනවා කියන දේ ෆාදර් නිතරම කියපු දෙයක්.

Goodreads
Discover and share books you love on Goodreads.

රසල් ක්‍රෝ රගපාන Pope's Exorcist කියන ෆිල්ම් එක බලලා තියේද?

the pope’s exorcist - Google Search
The Pope’s Exorcist (2023) ⭐ 6.1 | Horror, Thriller
1h 43m | A

අන්න ඒ ෆිල්ම් එකේ රසල් ක්‍රෝ රගපාන්නේ ෆාදර් ගේබ්‍රියල්ගේ චරිතය. ඒ වගේම ෆිල්ම් එකේ පෙන්නන කතා කෙලින්ම අරගෙන තියෙන්නේ ෆාදර් ගේබ්‍රියල් ලියපු සිදුවීම් වලින්. මේ ෆිල්ම් එක ගැන හරියටම කියනවා නම් ඒක Da Vinci Code ෆිල්ම් එකෙයි Indiana Jones ෆිල්ම් එකකයි මික්ස් එකක් වගේ. ආයේ කියන්න දෙයක් නැහැ සුපිරි. ඒකේ තියෙන්නේ වතිකානුවෙන් කරන කවර් අප් (Cover-up) එකක් ගැන. මේ විදිහට වතිකානුව අපෙන් හංගපු දේවල් ගොඩාක් තියෙයි. මම වෙන වෙලාවක ඒ ගැන කියන්නම්කෝ. ඔයා එක්ස්සොර්සිම් එහෙමත් නැතිනම් සුපර්නැචුරල් ත්‍රිලර්ස් බලන්න කැමති නම් ඔයා අනිවාර්‍යෙන්ම බලන්න ඕනේ ෆිල්ම් එකක් තමා Pope's Exorcist කියන්නේ.

ෆාදර් ගේබ්‍රියල් කියන්නේ වතිකානුවේ ප්‍රධාන එක්ස්සොර්සිට් විදිහට ඩීමන්ලා දාහකට වැඩි ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. මෙහෙම කියද්දි ඔයාට හිතෙයි මෙයා පල්ලියේ දොරෙන් ආපු හැමෝටම එක්ස්සොර්සිම් කරපු ෆාදර් කෙනෙක් කියලා. ඒත් ඇත්ත ඒක නෙමේ. හැබැයි ෆාදර්ට කියලා කෙනෙක්ට එක්ස්සොර්සිම් එකක් කරන්න ඕනේ නම් ඊට කලින් ඩොක්ටර් කෙනෙකුයි මනෝ චිකිත්සකයෙකුයි යටතේ පරීක්ෂාවක් කරලා තියෙන්න ඕනේ. ෆාදර් ගේබ්‍රියල් කියලා තියෙනවා එක්ස්සොර්සිම් එකක් කර ගන්න එයාට කතා කරපු අයගෙන් සියයට එකක් වගේ පිරිසකට තමයිලු ඇත්තටම ඩීමන්ලගේ බලපෑමක් තිබිලා තියෙන්නේ.

ඇත්තටම කෙනෙක් ඩීමන් කෙනෙක්ගේ බලපෑමකට ලක් වෙලාද කියලා බලන්න ෆාදර් ගාව ටෙක්නික් කිහිපයක් තිබිලා තියෙයි. එකෙන් එකක් තමා ඒ කෙනාට ඇස් දෙක වහගන්න කියලා කුරුසයක් වගේ ශුද්ධ වූ දෙයක් එයාගේ මූණ ඉස්සරහට ගේන එක. ඇත්තටම ඒ කෙනාට ඩීමන් කෙනෙක්ගේ ආවේශයක් තියේ නම් ඒ කෙනා ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. ෆාදර් ගේබ්‍රියල් එක්ස්සොර්සිම් එකක් කෙරුවේ සාමාන්‍යයෙන් පල්ලියේ රහසිගත තැනක. එහෙමත් නැති නම් ශුද්ධ වූ වෙනත් තැනක. මේ එක්ස්සොර්සිම් එකට සහභාගී වෙන්න පුලුවන් පොඩි පිරිසකට විතරයි. ෆාදර් ගේබ්‍රියල්ගේ සහයකයා වගේම ආවේශ වුන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙක්ට මේ එක්ස්සොර්සිම් එකට සහභාගී වෙන්න අවසර තියෙනවා.

2016 දී ක්‍රිස්ටීනා කියන ගෑනු ළමයාට කරපු එක්ස්සොර්සිම් එකක් වීඩියෝ කරන්න ෆාදර් ගේබ්‍රියල් විලියම් ෆ්‍රයිඩ්කින් කියන කෙනාට අවසර දීලා තියෙනවා. ඇත්තටම කියනවා නම් එක්ස්සොර්සිම් එකක් වීඩියෝ කරන්න ෆ්‍රයිඩ්කින් තරම් සුදුසු කෙනෙක් නැහැ. මොකද කියනවා නම් එයා තමා The Exorcist ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.

විලියම් ෆ්‍රයිඩ්කින්

ෆාදර් ගේබ්‍රියල් වීඩියෝ කරන්න අවසර දුන්න එකම සහ අවසන් එක්ස්සොර්සිම් එක තමා මේක. හැබැයි මේ එක්ස්සොර්සිම් එක සාර්ථක වුනේ නම් නැහැ. ඊට මාස කිහිපයකට පස්සේ අවුරුදු 91 ක් වුන ෆාදර් ගේබ්‍රියල් ආමෝත් ජීවිතයෙන් සමු ගත්තා.

එක්ස්සොර්සිම් සාමාන්‍යෙන් කතෝලික පල්ලිය එක්ක සම්බන්ධ වුන දෙයක්. හැබැයි මේ සංකල්පය අවුරුදු දහස් ගණනක් අතීතයට ගියපු එකක්. ඩීමන්ස්ලා එහෙමත් නැතිනම් නපුරු ආත්ම අසනීප සහ ස්වභාවික ව්‍යසනය වලට හේතුව කියලා පුරාණ බැබිලෝනියන්වරු විශ්වාස කරලා තියෙනවා. ඉතින් මේ නපුරු ආත්ම පන්නලා ලෝකය ස්ථාවර කරන්න මෙයාලා එක්ස්සොර්සිම් වගේ රිචුවල්ස් කරලා තියෙනවා. පුරාණ ඊජිප්තු ජාතිකයින් ද නපුරු ආත්ම පන්නන්න එක්ස්සොර්සිම් කරලා තියෙනවා. මේ දේ කරන්න එයාලා යොදා ගත්ත ක්‍රමයක් තමා හෙකා (Heka) කියන මැජික් ස්පෙල් එක.

The Magic of Heka: Ancient Egyptian Rituals That Have Crossed Cultures and Time
Magic has always been a mysterious way to achieve goals and was often thought to make dreams come true.

ක්‍රිස්තියානි ආගමේ මුල් දවස් වල එක්ස්සොර්සිම් කියන්නේ ඒ ඇදහිල්ලේ තිබුණ ප්‍රධාන දෙයක්. මුල් කාලීන පල්ලිය විශ්වාස කෙරුවේ මානසික සහ ශාරීරික අසනීප වලට හේතුව වුනේ ඩීමන්ලා කියන එක. ඒ වගේම මේවා හොද කරන්න තිබුණ එකම විදිහ එක්ස්සොර්සිම් එකක් කරන්න ඕනේ කියන එක. මධ්‍යතන යුගය වෙද්දි එක්ස්සොර්සිම් තවත් ප්‍රසිද්ධ වුනා. මිත්‍යා දෘෂ්ටියට එරෙහිව සටන් කරලා යක්ෂයාගෙන් මිනිස්සු බේරගන්න ක්‍රමයක් විදිහට තමා එයාලා මේක දැක්කේ. හැබැයි එක්ස්සොර්සිම් වල පීක්ම කාලය වුනේ පුනරුද යුගය. මායාකාරියන්ගේ නඩු විභාග එහෙමත් නැතිනම් විච් ටයල්ස් (Witch Trials) ගැන ඔයාලා අහලා තියෙනවානේ. හැමෝම හිතුවේ මායාකාරියෝ යක්ෂයා සමඟ සම්බන්ධකම් පැවත්තුවා කියලා. ඒ වගේම මේ අයව ගලවගන්න ක්‍රමය විදිහට දැක්කේ එක්ස්සොර්සිම් රිචුවල් එක.

හැබැයි මේ හැමදෙයක්ම ප්‍රබුද්ධ යුගය (Age Of Enlightenment) වෙද්දි අනිත් පැත්ත හැරෙනවා. පල්ලියේ අධිකාරිත්වය ප්‍රශ්න කරපු මිනිස්සු එක්ස්සොර්සිම් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ගොඩාක් විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් එක්ස්සොර්සිම් දැක්කේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති මිත්‍යා විශ්වාසයක් විදිහට. හැබැයි ඉතින් එක්ස්සොර්සිම් නැත්තටම නැති වෙලා ගියේ නම් නැහැ. දේශීය විශ්වාස මිනිසුන් අතර ශක්තිමත්ව තියෙන ප්‍රදේශ වල එක්ස්සොර්සිම් දිගටම පැවතුනා. ඒ වගේම ෆිල්ම් වලටයි පොප් කල්චර් එකටයි හේතු වෙන්න එක්ස්සොර්සිම් සහ එක්ස්සොර්සිට් කියන මාතෘකාව ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. දැන් අපි ඉන්න තොරතුරු යුගයේ සමාජ මාධ්‍යය නිසා එක්ස්සොර්සිම් වල නැගී සිටීම අපට දැක ගන්න පුලුවන්.

එක්ස්සොර්සිම් ඉතිහාසය පුරාවටම ප්‍රැක්ටිස් කරපු දෙයක්...

සමහර විට ඒක මනෝචිකිත්සාවේ එහෙමත් නැති නම් සයිකොතෙරපි වල මුල්ම ස්වරූපය වෙන්න පුලුවන්...

බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හදුන්වන හිපොක්‍රටීස් එයාගේ වෘත්තීය ගමන පටන් ගත්තෙත් එක්ස්සොර්සිට් කෙනෙක් විදිහට...

හිපොක්‍රටීස්

ඒත් එක්ස්සොර්සිම් කියන දේ ඇත්තක්ද?

ඒක එහෙම වෙන්න පුලුවන්ද?

ඒක ඉතින් තීරණය වෙන්නේ ඔයාගේ විශ්වාසයන් සහ ඔයා ඇත්ත කියලා සලකන දේ මත...

ඔයා විශ්වාස කරනවාද ඩීමන් කියන්නේ ඇත්තටම ඉන්න කට්ටියක් කියලා?

ඔයා හිතනවා නම් ඔවුන් ඇත්තටම සිටිනවා කියලා, ඒ වගේම ඔබටත් ඩීමන් කෙනෙක් ආවේශ වෙලා නම් එක්ස්සොර්සිම් කියන්නේ ඔබට සැබෑ විසඳුමක් වෙන්න පුලුවන්...

ඒත් ඇත්තටම එක්ස්සොර්සිම් එකක් නිසා ඔබට සුව වෙලා ඩීමන්ස්ලා ඔබේ ශරීරයෙන් පිටවෙලා ගියාද?

එහෙමත් නැති නම් ඩීමන්ලා ඔයාගේ ශරීරයෙන් පිට වෙලා ගියා කියලා ඔයා විශ්වාස කරන්නේ ඔයා ඇත්තටම ඩීමන්ලා ඉන්නවා කියලා විශ්වාස කරපු නිසාද?

ඇත්තටම ඒක ගැන කියන්න අමාරුයි.

අවේශ වීමක් සුපර්නැචුරල් කියන කැටගරි එකෙන් නැතුව වෙනත් විදිහකට පැහැදිලි කරන්න වෛද්‍ය වෘත්තිකයන් සෑහෙන කාලයක ඉදන් අරගල කරනවා. අපස්මාරය, භින්නෝන්මාදය, මල්ටි පර්සනැලටි ඩිසෝඩර්, ඩිසැස්සෝටිව් අයිඩෙන්ටි ඩිසෝඩර්, බයිපෝලර් ඩිසෝඩර් වැනි ආබාධ තත්ව වල ලක්ෂණ ආවේශ වුන පුද්ගලයෝ පෙන්නුම් කරනවා. ඒත් මේ රෝග වලට සාමාන්‍යයෙන් කරන ප්‍රතිකාර ආවේශ වීම් වලදී සාර්ථක වෙන්නේ නැහැ. ඒත් සමහර අවස්ථා වලදී එක්ස්සොර්සිම් නම් සාර්ථක වෙනවා.

මේ වෙද්දි ආවේශ වීම් කියන දේ ඩී.එස්.එම් වල ඒ කියන්නේ Diagnostic and Statistical Manual of Mental Disorders කියන විෂය තුල හදුනා ගෙන තියෙනවා. හරියටම කියනවා නම් Possession Trance Disorder එහෙමත් නැති නම් PTD. මේක ඩී.එස්.එම් වලට අලුතින් එකතු කරපු විෂයක්. නවීන ප්‍රධාන ධාරාවේ ඩොක්ටර්ස්ලා හිතන්නේ නැහැ අපි ඩීමන්ලා එක්ක ගනුදෙනු කරනවා කියලා. ඒ වුනාට ඔවුන් පිළිගන්නවා වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්න බැරි දෙයක් මේ මිනිසුන්ට සිදු වෙනවා කියලා.

ආවේශ වුනා කියලා කියන මිනිස්සු ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ආගමික පවුල් වලින්. එහෙමත් නැති නම් ප්‍රශ්න තියෙන ගෙවල් වලින්. ගොඩාක් අවස්ථා වල ආවේශ වුනා කියන ළමයි එක්කෝ කරලා තියෙන්නේ රගපෑමක්. නැති නම් දෙමව්පියෝ සතුටු කරන්න කරපු දෙයක්. රොනල්ඩ් හන්කෙලර්ගේ සිදුවීම ගන්නකෝ. රොනල්ඩ් කියන්නේ ගොඩාක් ආගමික විශ්වාස ඔලුවේ තියාගෙන හිටපු එයාගේ අම්මට විරුද්ධව කටයුතු කරපු කෙනෙක්.

ඇනලි මිෂේගේ දෙමව්පියෝ අතිශයින්ම ආගමික කට්ටියක්. එයාලා එයාගේ දුවව ලොකු කරලා තියෙන්නේත් ඒ විශ්වාසයන් ඔලුවට දාන ගමන්. සමහර විට ඇනලි භින්නෝන්මාදය හරි මල්ටි පර්සනැලටි ඩිසෝඩර් තිබුණ කෙනෙක් වෙන්න පුලුවන්. එයා විශ්වාස කරපු ආවේශය එතනින් ආව එකක් වෙන්න පුලුවන්. ඒ වගේම මතක තියා ගන්න. ඇනලි කියන්නේ අපස්මාරය තිබුණ කෙනෙක්. එයාට ඇන්ටිසයිකොටික්ස් බෙහෙත් ගන්න නියම කරලා තිබුණේ. එයා බෙහෙත් බොන එක නතර කරාට පස්සේ එයාගේ තත්වය තවත් වැඩි වුනා. දැන් මේ දේවල් විශ්වාස කරන අය කියයි මේ හැමදෙයක්ම වුනේ ඩීමන් කෙනෙක් ආවේශ වුන නිසා කියලා. විශ්වාස කරන්නේ නැති අය කියයි ඇය මානසිකව ලෙඩ වෙලා හිටියා. ආවේශය කියන්නේ එයාගේ ආගමික විශ්වාස නිසා මැනිෆෙස්ට් වුන දෙයක් කියලා. ඒත් කාටවත් කියන්න බැහැ ඇත්තටම මොකක්ද වුනේ කියලා.

ලැටෝයා ආමන්ස් කියන්නෙත් අතිශයින්ම ආගමික විශ්වාස ඔලුවේ තියාගෙන හිටපු කෙනෙක්. සාමාන්‍ය මිනිස්සු පවුලේ අයගෙන් හරි විශේෂඥයෙක්ගෙන් හරි උපදෙස් ගන්න අවස්ථාව වල ලැටෝයා උපදෙස් ගත්තේ පාරභෞතික හැකියා තියෙනවා කියන සයිකික් කෙනෙක්ගෙන්. එයාගේ ළමයිනුත් ලොකු වෙන්නේ මේ වගේ පවුල් පරිසරයක. ආවේශ වීම් ඇත්ත කියලා හිතාගෙන හිටපු අම්මව රවට්ටන්න සමහර විට මේ ළමයි ස්කූල් කට් කරන්න හිතන් බොරුවට රගපෑවා වෙන්න පුලුවන්. වාර්තා වෙලා තියෙන විදිහට එයාගේ ළමයින්ට ස්කූල් යන එක සෑහෙන්න මිස් වෙලත් තියෙනවා.

ස්කූල් යන්නේ නැති වෙන්න ළමයි බොරුවට රගපෑවා වෙන්න බැරිද?

කාටවත් හරියටම කියන්න බැහැ...

ඒ වගේම මේ ආවේශ වීම් පටන් අරන් තියෙන්නේ ලැටෝයා ආමන්ස්ට ගෙවල් කුලී ගෙවන්න බැරි වුන කාලෙක. ඒ වගේම එයා කියලා තියෙනවා ඩීමන්ලා නිසා තමා ගෙවල් කුලී ගෙවා ගන්න බැරි වුනේ කියලත්. ගෙදර අයිතිකාරයාගෙන් ඇහුවාම එයා කියනවා ලැටෝයාට කලින් සහ පස්සේ හිටපු කාටවත් නම් මේ වගේ අද්භූත දේවල් දකින්න හම්බෙලා නැහැ කියලා.

එතකොට සැක්?

භූත විශේෂඥයා ගැන මොකද කියන්නේ?

ඔයා එයාගේ වැඩසටහන් බලලා නෑ නේද?

අපේ රටේ ටීවී චැනල් වල කැළණි ගගෙන් නයි මතු වුනා පෙන්නුවා මතකද?

සැක්ගේ වැඩසටහන් වල යන්නෙත් ඒ වගේ ස්ක්‍රිප්ට් වලට යන වැඩසටහන්. ඒවගේ කිසිම ඇත්තක් නැහැ. හැබැයි සැක් අපායට යන්න තිබ්බ පෝටල් එක විනාශ කරන්න ඒ ගෙදර බිමට සමතලා කරපු ක්ලිප් එක බලන එක නම් ආතල් ඉතින්. සමහර විට එයා එයාගේ ටීවී ශෝ එකේ ප්‍රසිද්ධිය වැඩි කර ගන්න එහෙම කරන්න ඇති. ඒ වගේම එයා ඒ ගෙදර විනාශ කරපු එක ගැන චැනල් වල නිවුස් වල පවා ගියා.

මේ කේස් එකේ සාක්ෂි කාරයෝ විදිහට හිටපු අයගෙන් කැප්ටන් ඔස්ටිනුයි කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් හැමෝම මේ වගේ අද්භූත දේවල් ගැන තදින්ම විශ්වාස කරපු කට්ටිය. කැප්ටන් ඔස්ටින් ගැන කියනවා නම් එයාගේ රෙකෝඩ් එකක තියෙනවා එයා සල්ලි ගැන උනන්දු වුනේ කියලා. කැප්ටන් ඔස්ටින් හිතලා තියෙනවා එයාට මේ සිද්ධියට සම්බන්ධ වුන එකෙන් ෆිල්ම් එකකට මොකක් හරි ඩීල් එකක් දාගන්න පුලුවන් වෙයි කියලා.

මැගිනොට් පූජකතුමා මතකයි නේද?

එයා එවර්ග්‍රීන් මීඩියා කියන කම්පැනි එකත් එක්ක ෆිල්ම් ඩීල් එකකට සයින් කරලත් තියෙනවා.

එවර්ග්‍රීන් මීඩියා කියන්නෙ මොකක්ද දන්නවා නේද?

කොන්ජරින් ෆිල්ම් සෙට් එක නිර්මාණය කරපු කම්පැනි එක තමා එවර්ග්‍රීන් මීඩියා කියන්නේ...

The Conjuring (2013) ⭐ 7.5 | Horror, Mystery, Thriller
1h 52m | A

ඒක ගැලපෙනවා නේද?

මොකද කොන්ජරින් ෆිල්ම් සෙට් එක හදලා තියෙන්නේ අවධානය සහ සල්ලි හොයා ගන්න මිනිස්සු කියපු කතා පදනම් කරගෙන. මම නම් හිතන විදිහට ඒ කතා පිටිපස්සේ කිසිම ඇත්තක් නැහැ. හැබැයි ඇත්ත වුනත් බොරු වුනත් මේ ෆිල්ම් ටිකට ඩොලර් බිලියනයකට වඩා හම්බ කර ගන්න පුලුවන් වුනා. මම කියන්නේ නැහැ මේ ඔක්කොම බොරු කියනවා ඇති කියලා. මම කියන්නේ මේ කතාවේ තියෙන සම්පූර්ණ චිත්‍රය තේරුම් ගන්න නම් මේ වගේ පොඩි පොඩි දේවල් දකින එක ගොඩාක් වැදගත් වෙනවා කියලා. විශේෂයෙන්ම මේ දේවල් වලින් අද මිනිස්සු සල්ලි හම්බ කරන විදිහ දකිද්දි

අද කාලේ අපේ රටේ තොවිලයක් කර ගන්න ගුරුන්වහන්සේ කෙනෙක්ට කීයක් ගෙවන්න ඕනේද කියලා දන්නවාද?

පොඩ්ඩක් හොයලා බලන්නකෝ. ගණන් ඇහුවාම ඇස් උඩ යනවා. පුරාණ පෙරදිග ශිෂ්ටාචාරයේ ඉස්සර ඉදන් තිබිලා තියෙන යන්ත්‍ර විද්‍යාව යොදා ගත්තේ මේ වගේ ආවේශ වීම් වලට ප්‍රතිකාර කරන්න තමා. ඒක ඇතුලේ ලස්සන මනෝ විද්‍යාත්මක ගැඹුරු සංකල්පයක් තියෙනවා. හැබැයි ඒ කාලේ හිටපු ගුරුන්වහන්සේලා මේ දේවල් කරන්න අද වගේ සල්ලි නම් ගත්තේ නැහැ.

මේ ගැන විශ්වාස කරන අය කියයි එක්ස්සොර්සිම් කියන්නේ හැම වෙලාවෙම අපි අවට ඉන්න නපුරු බලවේග එක්ක සටන් කරන්න තියෙන වැදගත් ආයුධයක් කියලා...

මේ ගැන විශ්වාස කරන්නේ නැති අය කියයි එක්ස්සොර්සිම් කියන්නේ නොදැනුවත්කම නිසා මිනිසුන් සාධාරණීකරණය කරගෙන තියෙන, ඒ වගේම ඒක නිසා මිනිසුන් මැරෙන, නොදියුණු මිනිසුන් සිදු කරන වධහිංසා දෙන චාරිත්‍රයක් කියලා...

ඔයා මොකද හිතන්නේ?

Latest