Skip to content

ඉරණවිල තවත් නිවසක් මුහුදට බිලි වෙයි.

මුහුද රළු වීම හේතුවෙන් හලාවත - ඉරණවිල ප්‍රදේශයේ තවත් නිවසක් 21 වැනිදා සවස මුහුදට බිලි විය.

වසර 02 ක පමණ කාලයක සිට පවතින මුහුදු ඛාදනය හේතුවෙන් මේ වන විට නිවාස 02 ක් සම්පූර්ණයෙන්ම මුහුදට බිලිවී ඇත.එම නිවාස වල පදිංචිව සිටි පිරිස් වෙනත් ස්ථනයක තාවකාලිකව පදිංචිකර ඇත.

21 වැනිදා සවස වන විට නැවත වතාවක් මුහුද රළු වන්නට විය.ඒ සමගම පැමිණි දැවැන්ත රළ පහරට හසුවී එක් නිවසකට හානි සිදු වන්නට පටන් ගෙන ඇත.ප්‍රදේශවාසීන් කඩිනමින් ක්‍රියාත්මක වී එම නිවසේ තිබූ ගෘහ භණ්ඩ ඇතුළු අනෙකුත් දෑ ඉවත් කිරීමට කටයුතු කර ඇත.එම නිවසට යාබදව ඇති නිවසක්ද ක්‍රමයෙන් මුහුදට යමින් පවතින ආකාරයක් දක්නට ඇත.

මේ අතර ප්‍රචණ්ඩ වූ මුහුදු රළ හලාවත - නයිනමඩම මාර්ගය හරහා ගමන් කරමින් තිබෙන ආකාරයක්ද දක්නට ලැබුණි.මෙම හේතුව නිසා මාර්ගයට මෙන්ම මුහුදට බටහිරෙන් පිහිටි නිවාස වලටද ඉදිරියේදී හානි සිදු විය හැකි බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.

තත්ත්වය මේ ආකාරයටම පැවතුනහොත් ඉරණවිල මුහුදු තීරය සම්පූර්ණයෙන්ම විනාශයට  ලක්වන බවද ප්‍රදේශවාසීන් කියා සිටී.

0:00
/

Latest