වර්ෂ 1889 ජූනි මස 30 වන දා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය (IPU) පිහිටුවනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංවර්ධනය සහ සාමය ඇති කිරීම ආදී මූලික අරමුණු මත වන අතර එහිදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරා ඇත. නමුත් පසු කාලයේ එනම් 2018 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය පිහිටවූ දිනය වැදගත් දිනයක් ලෙස සලකා සෑම වසරකම ජූනි මස 30 වනදා ජාත්‍යන්තර පාර්ලිමේන්තු දිනය ලෙස නම් කර ඇත.

ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය යනු ලෝක පාර්ලිමේන්තුවල ගෝලීය සංවිධානයක් වන අතර බහු පාර්ශවික දේශපාලන සංවිධානයක් ලෙස මෙය 1889 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ සියලු ජාතීන් අතර සහයෝගීතාව සහ සංවාදය දිරිමත් කරමින් ලෝකයේ පාර්ලිමේන්තු 179 ක සහ ඒ ආශ්‍රිත මංතීවරුන්ගේ සහභාගිත්වයෙනි.
මෙය ලොව පුරා පාර්ලිමේන්තු නියෝජනය කරන මංත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද බැඳී සිටින අතර වසරකට දෙවරක් සාමාජිකයින් 1,500 කට ආසන්න ප්‍රමාණයකින් රැස් වේ.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ වී ඇත්තේ රට රටවල් වල අරමුණු සාක්ෂරාත් කර ගැනීමේදී ලොව පුරා පාර්ලිමේන්තු විසින් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබිඹු කිරීමට වන අතර ඊට අමතරව පාර්ලිමේන්තුවල ස්වයං තක්සේරුව, විශේෂයෙන් කාන්තාවන්ගේ සහ තරුණ මංත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය ප්‍රවර්ධනය කිරීම, තාක්ෂණික දියුණුව වැළඳ ගැනීම, පාර්ලිමේන්තු නියෝජිතත්වය සහතික කිරීම සහ වෙනස්වන ලෝකයට අදළව සිටීම අවධාරණය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමතුලිත කිරීම අවධාරණය කර සිටීම ද ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ සහ මෙම දිනයේ පොදු අරමුණු බවට පත්ව ඇත.
එමෙන්ම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ 134 වන සංවත්සරය ද අදට යෙදී ඇති අතර 2023 අද දිනයේ මෙහි තේමාව වී ඇත්තේ " ග්‍රහලෝකය සඳහා පාර්ලිමේන්තුව " යන්නය. එහි අදහස වන්නේ දේශගුණ විපර්යාසයන් සඳහා ලොව පුරා පාර්ලිමේන්තු සක්‍රීයව මැදිහත් විය යුතු බවය.
පාර්ලිමේන්තුවාදය පිළිබඳව ජාත්‍යන්තර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර සිටින්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මෙන්ම දේශපාලන ආයතන කෙරෙහි ද වත්මන් ලෝක ප්‍රජාව විශ්වාසය නැතිකොටගෙන ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ජාතිවාදී සහ ජාතිකවාදී ක්‍රියා වලින් අභියෝගයන්ට ලක්ව ඇති බවය.

එමන්ම ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත් වීමටනම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික නියෝජනය වන පාර්ලිමේන්තු විනිවිදය විය යුතුවා සේම ශක්තිමත් විය යුතු බවය. එපමණක් නොව අද දිනයේ තේමාව අදාළ කරගනිමින් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ දේශගුණ විපර්යාස මඟින් ලෝක ප්‍රජාව ටිකෙන් ටික විනාශ කරමින් සිටින බවත්, එය ලෝකයේ සංවර්ධනයට, සාමයට, ආරක්ෂාවට තර්ජනයක් බවය.
මේ නිසා දේශගුණ අර්බුද විසඳීම සඳහා ලොව පුරා පාර්ලිමේන්තු සක්‍රීයව මැදිහත් විය යුතු බව ද, පරිසර හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පාර්ලිමේන්තු කටයුතු කළ යුතු බව ද, පැරිස් ගිවිසුමට අනුකූලව රාජ්‍යයයන්ගේ ක්‍රියාමාර්ග මෙහෙයවීමට ද පාර්ලිමේන්තු කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් අවධාරණය කර සිටී.