Skip to content

නව වෛද්‍ය පනතක් සම්පාදනය කිරීමට ජනපතිගෙන් උපදෙස්!

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතයි.

යෝජිත වෛද්‍ය පනත මඟින් දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩුපාඩු මග හැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම එහි අපේක්ෂාවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) ජනාධිපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී උක්ත තීරණයට එළඹ ඇත.

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද එහිදී තීරණය කර තිබේ.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන අතර ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කොට අත්‍යවශ්‍ය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුණි.

වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.

මීට අමතරව හෙද සේවය සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වත්මන් සෞඛ්‍ය සේවා අවශ්‍යතා සමඟ සමපාත වන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයින් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබුණි.

මීට අමතරව, වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත 4 මිණුම් දණ්ඩ සහිත රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ යෝජනා ඉදිරිපත් ක‍රන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

Latest