Skip to content

ඉන්දු චීන දේශ සීමා ප්‍රශ්නය උණුසුම් වෙයි

පසුගිය සතියේ චීනය විසින් ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශයේ ස්ථාන 11ක් නැවත නම් කිරීම සිදු කර ඇත. අද ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා අරුණාචල් ප්‍රාන්තයට සංචාරය කර ඇති අතර මේ කෝපයට පත් චීනය මේ සංචාරය චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වමින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

නමුත් චීනය මෙතරම් කලබල වන්නේ ඇයි?

එයට හේතුව වන්නේ ඉන්දියාව මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා ඇත්තේ චීනයට තේරෙන භාෂාවකින් වීම නිසා ය. අතීතයේ ඉන්දියාව මෙවැනි ප්‍රශ්න මේ ආකාරයට විසඳීමට නො ගොස් රටවල් දෙක අතර ආතතිය අඩු කරමින් සාකච්ඡා සඳහා මාවත් විවෘතව තැබීමට පුරුදුවී සිටි නමුත් චීනය එම ආකාරයට ආපසු ක්‍රියා නො කරන බැවින් මෙවර ඉන්දියාව මෙම පියවර ගෙන ඇත.

දෙරට අතර මේ සම්බන්ධ පළමු අඩිය තැබීම සිදු වූයේ චීනය පසුගිය සතියේ ඉදිරිපත් කෙරූ නව සිතියම් වල අරුණාචල් ප්‍රදේශයේ ස්ථාන 11ක් නැවත චීනය විසින් නම් කිරීමත් සමගින් ය. එම ප්‍රදේශය ඉන්දියාවට අයත් ප්‍රදේශයක් වන අතර ලෝකය ද එය ඉන්දීය ප්‍රදේශයක් ලෙස පිළි ගැනීම සිදු කරයි. නමුත් චීනය විසින් එම ප්‍රාන්තයේ ස්ථාන 11කට චීන නම් ලබා දුන් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික කුණාටුවක් ඇති වීම සිදු වී ඇත.

චීනය සහ ඉන්දියාව අතර ඇති ලඩාක් දේශ සීමාව සම්බන්ධ ප්‍රශ්නය තවමත් විසඳා ගැනීමට නො හැකි ව සිටින අවස්ථාවක මෙම ප්‍රශ්නය ඇති වී ඇත. ඉන්දියානු සහ චීන හමුදා දහස් ගණනක් ලඩාක් දේශ සීමාවේ රැඳී සිටින අතර දැන් චීනය විසින් අරුණාචල් ප්‍රදේශය ද ඉන්දු චීන දේශ සීමා ගැටලුව ට ඇද ගෙන ඇත.

මෙය පැහැදිලි ප්‍රකෝප කිරීමක් වන අතර ඉන්දියාව ඊට ප්‍රතිචාර දැක්වීම සිදු කෙරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා දෙ දින සංචාරයක් සඳහා ප්‍රාන්තයට පැමිණීම මගිනි. මායිම් ගම්මාන සංවර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සහ චීනයේ ව්‍යාප්තිවාදී න්‍යාය පත්‍රය ඉස්මතු කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වේ.

ඔහුගේ මෙම සංචාරයත් සමග චීනය විසින් නව දිල්ලිය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.

" සැන්ග්නන් ( Zangnan ) යනු චීනයට අයිති භූමියකි. ඉන්දියානු නිලධාරියාගේ සැන්ග්නන් සංචාරය චීනයේ භෞමික ස්වෛරීභාවය උල්ලංඝනය කරයි. මෙය දේශ සීමා සම්බන්ධව ඇති තත්වයේ සාමය සහ සන්සුන් භාවයට හිතකර නොවේ. "

සැන්ග්නන් යනු අරුණාචල් ප්‍රදේශය සඳහා චීනයේ නමයි. එහි තේරුම දකුණු ටිබෙටය යන්නයි.

Latest