අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරයට සමගාමීව ඉන්දියාව සහ ප්‍රංශය අතර ආරක්ෂක ගනුදෙනු පිළිබඳ එළඹීමට නියමිත වූ එකඟතාවයන් ඉන්දියන් සාගර කලාපයේ අනාගතයට බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම චීනයේ නාවික බලය සීඝ්‍රයෙන් වර්ධනය වන පසුබිමක, ඊට එරෙහිව ක්වොඩ් (Quad) රාජ්‍යයන් සිය නාවික ශක්තිය පුළුල් කරද්දී, ඉන්දියාවෙහි නාවික බලය වර්ධනය වීම මූලෝපායිකව වැදගත් ය.
ඉන්දියාවට ක්වොඩ් එකමුතුවට අයත් අනෙක් රටවල් තුනට වඩා විශේෂිත තත්ත්වයක් පවතී. ක්වොඩ් කණ්ඩායමෙහි මූලික අරමුණ ලෙස දිස්වන්නේ චීනයේ වර්ධනය පාලනය කිරීමයි. ක්වොඩ් හි අනෙක් සාමාජිකයන් වන ඇමරිකාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව මෙන් නොව ඉන්දියාවට චීනය සමග ගොඩබිම් දේශසීමාවක් වෙයි. අනෙක් අතට, පැසිෆික් සාගර කලාපයෙහි චීන සමුද්‍රීය බලය වර්ධනය වීම ක්වොඩ් හි අනෙක් රටවලට බලපෑ හැකි නමුත් ඉන්දියාව විවෘත වන්නේ ඉන්දියානු සාගර කලාපයට වන හෙයින් චීන නාවික බලය ඍජු ලෙස එරටට දැනෙන්නේ නැත. එවැන්නක් සිදුවන්නේ චීන නෞකාවක් හෝ සබ්මැරීනයක් ඉන්දියානු සාගර කලාපයට පැමිණි අවස්ථාවක ය.

කෙසේ වෙතත් තීරයක් මාවතක් ක්‍රියාවලිය (Belt and Road Initiative) යටතේ චීන බලපෑම වර්ධනය වීමත්, චීන නෞකා හමුදාව වේගයෙන් ශක්තිමත් වීමත් හේතුවෙන් ඉන්දියාව ද ඉන්දියානු සාගර කලාපයෙහි ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගෙන ඇත. ඉන්දියානු නාවික හමුදාව මේ අයුරින් සමස්ථ ඉන්දු-පැසිෆික් සාගර කලාපයෙහි ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන වැදගත් පුරුකක් බවට පත් වෙයි. ඒ සඳහා නවීන නාවික හමුදාවක් ඉන්දියාවට අවශ්‍ය ය.
පසුගිය දශක කිහිපය තුළ ඉන්දියාවෙහි ආරක්ෂක අංශ නවීකරණය වී ඇත්තේ සාපේක්ෂව අඩු වේගයකිනි. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා මෑතකාලීනව එරට විවිධ නවීන අවි මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇත. ඉන්දීය ගුවන් හමුදාව සඳහා ප්‍රංශයේ රෆාල් යාන 36 ක් ලබාගැනීම, ඇමරිකානු ඩ්‍රෝන ලබාගැනීම ආදිය මෙහිදී වැදගත් ය. මෝදිගේ ප්‍රංශ සංචාරය අතරතුර සිය නාවික හමුදාව සඳහා රෆාල්-එම් (රෆාල් මැරීන්) ගුවන් යානා 26 ක් ලබාගැනීම සහ ස්කෝර්ෆීන් වර්ගයේ සබ්මැරීන තුනක් ලබාගැනීම සඳහා එකඟතා ඇතිකරගැනීමට අපේක්ෂා කරන ලදී.
ප්‍රංශ-ඉන්දීය සබඳතා
ප්‍රංශය බටහිර කඳවුරේ රටක් වුවද විදේශ ප්‍රතිපත්තිවලදී ඇතැම්විට බටහිර කඳවුරට වඩා වෙනස් ස්ථාවරයන් ගනී. සීතල යුධ සමයෙහි බටහිර රටවල් සහ ඉන්දියාව අතර සබඳතා එතරම් යහපත් නොවූ සමයෙහි පවා ප්‍රංශය සහ ඉන්දියාව අතර යහපත් සබඳතාවයක් විය. 1998 දී ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදාබැලීමක් සිදුකළ අවස්ථාවේ බටහිර රටවල් එරටට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන විටදී ප්‍රංශය ඊට එක් නොවීය. 2019 දී ඉන්දියාව කශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය අහෝසි කරනවිට ද ප්‍රංශය එතරම් විරෝධයක් නොදැක්වීය.

මේ අතර ප්‍රංශය නිරන්තරයෙන් ඉන්දියාවට අවි සපයන රටක් වූයේ ය. 1953 සිටම ප්‍රංශ ගුවන් යානා ඉන්දියානු ගුවන් හමුදා සේවයේ ද ඇතැම්විට නාවික හමුදා සේවයේ ද තිබී ඇත. වර්තමානයේ මෙසේ ඉන්දියාව සතුව තිබෙන නවීනම යානා රෆාල් ප්‍රහාරක යානා වෙයි.
ගුවන් යානා සහ සබ්මැරීන
ඉන්දියානු සාගරයෙහි සිය නාවික බලය ව්‍යාප්ත කිරීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමුව ඇති බව නොරහසකි. මේ වනවිට ඔවුන් සතුව ගුවන් යානා ගෙනයන නෞකා දෙකක් ද සබ්මැරීන කිහිපයක් ද වෙයි. ඔව්හු 2030 වනවිට සබ්මැරීන 24 ක් සහිත නාවික හමුදාවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරති. එමෙන්ම රෆාල්-එම් යානා යොදාගනු ඇත්තේ ගුවන් යානා ගෙනයන නෞකාවල රැගෙන යාම සඳහා ය.
තවද, රෆාල්-එම් ගුවන් යානා නිපදවීමට අවශ්‍ය දැනුම ද ඉන්දියාව සමග හුවමාරු කරගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සබ්මැරීන ද අනාගතයේදී ඉන්දියාව තුළම නිර්මාණය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව ය. මෙය ඉන්දියානු ආණ්ඩුවෙහි ඉන්දියාව මතම රඳා පැවතීමේ ආත්මනිර්බර් භාරත් (Atmanirbhar Bharat) වැඩපිළිවෙලට ද එකඟ වනු ඇත.

මේ අතර ප්‍රංශය සමග වන සම්බන්ධය ඉන්දියාවට ඉන්දියන් සාගරයෙහි ඈත දියඹ කෙරෙහි සිය නාවික ශක්තිය විදහා දැක්වීමට ඉවහල් වන තවත් කරුණක් වෙයි. ඉන්දියානු සාගරයෙහි ප්‍රංශ දූපත් කිහිපයක් වන අතර අවශ්‍යතාවයක් වුවහොත් ඒවායෙන් සැපයුම් ලබාගැනීමේ හැකියාව ඉන්දියානු නෞකාවලට ලබාගත හැකිවනු ඇත.
චීනයේ නාවික බලය වර්ධනය වීම තුළින් ඔවුන් මුලින්ම අවධානය යොමු කරනු ඇත්තේ පළමු දූපත් දාමය ලෙස හඳුන්වන ජපානය, තායිවානය, පිලිපීනය යන දිවයින්වලින් සලකුණු කෙරෙන ප්‍රදේශය වෙත බලය විහිදාලීම බව අපේක්ෂා කෙරේ. ඒ අනුව චීනය යම් ආකාරයකින් ඉන්දියන් සාගරය තුළ නාවික ශක්තිය ව්‍යාප්ත කරන්නේ නම්, එය සිදුවනු ඇත්තේ ඉන් අනතුරුව ය. එහෙයින් ඉන්දියාවට සිය ශක්තිය වර්ධනය කරගැනීමට තරමක කාලයක් ලැබී ඇත.