G-20 සමුළුවට සමගාමීව සැප්තැම්බර් 9 වනදා ඉන්දියානු ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යවන ලද ආරාධනා පත්‍රයක President of Bharat (භාරතයේ ජනාධිපති) ලෙස සඳහන්ව තිබීමත් සමග ඉන්දියාවේ නිල නාමය වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේය යන රාවයක් පැන නැගුණේ ය.

ඉන්දියාවේ ප්‍රධාන ස්වදේශික භාෂාවන් බොහොමයකින් එරට හඳුන්වන්නේ භාරත් ලෙස වුවද ඉංග්‍රීසියෙන් සමාන්‍යයෙන් එරට හඳුන්වනු ලබන්නේ India යනුවෙනි. කෙසේ වෙතත්, එරට නිල නාමය ඉංග්‍රීසියෙන් ද Bharat ලෙස වෙනස් කිරීමට යන බවට සැකයක් මතු වූයේ, ඉංග්‍රීසියෙන් යවන ලද ආරාධනාපතක Bharat යයි සඳහන්ව තිබීම හේතුවෙනි.

කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රබලයකු වන ජයිරාම් රමේෂ් මෙම සිද්ධිය පිළිබඳ සටහනක් තබමින් මෙය ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සූදානම් වීමක් ලෙස ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂයෙහි සමහර දේශපාලකයන් සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂයට එරෙහිව පිහිටුවාගන්නා ලද සන්ධානයෙහි නම ද "ඉන්දියා" වන බැවින් ඊට බියවූ භාරතීය ජනතා පක්ෂය "භාරත්" යන නම ප්‍රචලිත කිරීමට උත්සාහ ගන්නා බව ය.හ්මේ අතර භාරතීය ජනතා පක්ෂ දේශපාලකයන් පවසන්නේ ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි India සහ Bharat යන වචන දෙකම ඇතුලත් බව සහ ඒ දෙකම භාවිතා වන බැවින් විපක්ෂය නැති බිල්ලකු මවා පෙන්වන බව ය. කෙසේ වෙතත්, බීජේපීයෙහි ආධ්‍යාත්මික මූලය වන රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් (RSS), කවදත් භාරත් යන නම වෙනුවෙන් පෙනී සිටියි. එය සියළු වැසියන් භාරතීය සංස්කෘතිය සමග ඒකාත්මික කිරීමේ RSS අභිලාෂයන් හා සමපාත වෙයි.
"India, that is Bharat"
ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1 (1) වගන්තියෙහි සඳහන්ව ඇත්තේ "India, that is Bharat, shall be a Union of States" (ඉන්දියාව, එනම් භාරතය, ප්‍රාන්තවල එකමුතුවක් වන්නේය" යනුවෙනි. මෙම යෙදුම වටහාගැනීමට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වූ පසුබිම වටහාගත යුතු ය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියැවෙන්නේ එක් අතකින් අති මහත් ප්‍රචණ්ඩකාරී පරිසරයක රට දෙකඩ වූ පසුබිමේ ය. අනෙක් අතින් විශාල වූ විවිධත්වයන්ගෙන් යුතු රටක සියළු පාර්ශව අතර එකමුතුවක්, සංහිඳියාවක් ඇති කළයුතු පසුබිමක ය. එමෙන්ම ඇතැම් ප්‍රදේශයන් හි ප්‍රවල බෙදුම්වාදී ව්‍යාපාර පවතින සමයක ය. උතුරු ඉන්දීය හින්දු හදබිමෙන් පිටත, භාරත් යන ඓතිහාසික නාමයෙන් ඉන්දියාව හඳුනා නොගන්නා ප්‍රජාවන්ට ද India යන නම වටා ඒකරාශී විය හැකි ය. නමුත් හින්දි හදබිමෙහි මෙන්ම අන් බොහෝ උතුරු ඉන්දියානු ප්‍රදේශයන් හි ජනයා ඉන්දියාව දන්නේ "භාරත්" ලෙස ය. එහෙයින් මේ නම් දෙකම යොදාගැනීම දැකිය යුතු වන්නේ සියළු දෙනා අතර ඒකාබද්ධතාවයක් ඇති කිරීමේ අරමුණ හා සමගාමීව ය.
India යන නාමය Bharat ලෙස වෙනස් කිරීමට උත්සාහ කරන්නේය යන කරුණ මත ආණ්ඩුව විවේචනය කරන පාර්ශව සමහරක් කියා සිටින්නේ එමගින් ඓතිහාසික භාරත් යන නම සමග ඒකාබද්ධ නොවන කොටස් නොසලකා හැරෙන බවයි.
INDIA සන්ධානයේ නම
මේ අතර තේජස්වි යාදව් වැනි ඇතැම් දේශපාලකයන් පවසන්නේ විපක්ෂ සන්ධානය INDIA නමින් නම් කළ බැවින් බියට පත් භාරතීය ජනතා පක්ෂය "භාරත්" යන නම ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බවයි.
ප්‍රචාරණ වටිනාකම අතින් INDIA යන නම තෝරාගැනීම සාර්ථක පියවරක් වූ අතර එම නම හන්ඳුන්වා දුන් අලුතම එයින් සැලකියයුතු කතාබහක් නිර්මාණය වූයේ ය. එමෙන්ම භාරතීය ජනතා පක්ෂ දේශපාලකයන් කිහිප දෙනකුම විපක්ෂ සන්ධානයේ නම එළිදැක්වුණ අලුත භාරත් යන නම ප්‍රචාරය කරනු දකින්නට ලැබුණි. කෙසේ වෙතත් කල් යාමේදී ඒ පිළිබඳ උද්‍යෝගය අඩු වූ බවක් පෙනෙන්නට වූයේ ය. ඒ බව විපක්ෂයට ද වැටහී ගිය බව පෙනී යන්නේ ඔවුන්ගේ සන්ධානයේ තුන්වන රැස්වීමේදී "ජීතේගා භාරත්, ජීතේගා ඉන්දියා" යන සටන් පාඨය හඳුන්වා දීම හේතුවෙනි.
කෙසේ වෙතත් "භාරත්" විවාදය විපක්ෂය විසින් ප්‍රවේශම් සහගතව ගමන් කළ යුතු මාර්ගයකි. එක් අතකින් ඔවුන් වෙත ජාතිද්‍රෝහී චෝදනා නැගීමට ද, අනෙක් අතින් පක්ෂ අතර විවිධ අදහස් මතු වීමට ද ඉඩක් මෙම විවාදය තුළින් පැන නැගේ.