Skip to content

ඉන්දියාවේ කාන්තා නියෝජන යෝජනාව පාර්ලිමේන්තුවට​

ඉන්දියාවේ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වූ අතර එදින පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පැවති අවසන් පාර්ලිමේන්තු රැස්වීම පවත්වනු ලැබුණි. සැප්‍තැම්බර් 19 වනදා නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී පවත්වන ලද පළමු රැස්වීම තවත් ඓතිහාසික බවට පත්වූයේ බීජේපී ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද "නාරි ශක්ති වන්දන් අධිනියම්" හෙවත් කාන්තා නියෝජන පනත හේතුවෙනි.

එම පනතා හඳුන්වා දීමට පෙර පාර්ලිමේන්තු සභාව ඇමතූ අගමැති නරේන්ද්‍ර මෝදි සිහිපත් කළේ 1970 දශකයෙහි සිටම විවිධ ආණ්ඩු කාන්තා නියෝජන පනතක් සම්මත කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බවයි. කෙසේ වෙතත් මෙවර එම කරුණ සාර්ථක කරගැනීමට හැකි වේ යැයි ඔහු බලාපොරොත්තු පළ කර සිටියේ ය​. එම පනත් කෙටුම්පත සම්මත කරගන්නට තමන් කැපවන බව දේශයේ මව්වරුන්ට​, සහෝදරියන්ට සහ දූවරුන්ට ප්‍රතිඥා දෙන්නේ යයි ද ඔහු කියා සිටියේ ය​.

ඉන් අනතුරුව ඉන්දීය ආණ්ඩුවේ නෛතික කටයුතු පිළිබඳ ඇමති අර්ජුන් රාම් මේග්වාල් විසින් මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණි. එය සැප්තැම්බර් 20 වනදා ලෝක් සභාවේ විවාදයට ගනු ලැබුන අතර සැප්තැම්බර් 21 වනදා රාජ්‍ය සභාවෙදී විවාදයට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග රටේ විවිධ ප්‍රදේශවල භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිණියන් සිය ප්‍රීතිය පළ කරනු ද දකින්නට ලැබුණි.

අතීතයේ බාධා

කාන්තා නියෝජනය පිළිබඳ කතාබහ මුලින් ඇති වූයේ 1974 දී ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිළිබඳ ඉන්දීය රජය විසින් සම්පාදනය කෙරුණ වාර්තාවක ප්‍රතිඵලය ලෙස ය​. එහිදී බොහෝ අංශවලින් ස්ත්‍රීන් පසුපසින් සිටින බව දකින්නට ලැබුණ අතර දේශපාලන නියෝජනය ඉන් එක් අංශයක් විය​. මෙම වාර්තාවෙන් අනතුරුව කාන්තා නියෝජනය පිළිබඳ කතාබහක් නිර්මාණය විය​. ඇතැම් ප්‍රාන්ත ඒ පිළිබඳ යම් යම් පියවර ගත්තේ ය​. නමුත් මධ්‍යම ආණ්ඩු මට්ටමෙන් කිසිදු යෝජනාවක් ක්‍රියාවට නැගුණේ නැත​.

1987 දී එවකට අගමැතිවරයා වූ රජිව් ගාන්ධි විසින් පත්කළ කමිටුවකින් ලද නිර්දේශ මත 1992 වනවිට පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයක් හඳුන්වා දෙන ලදී. එය ඇත්තෙන්ම සාර්ථක ඉදිරි පිම්මක් බවට ඔප්පු වී තිබේ. වර්තමානය වනවිට පන්චායත් සහ නගර සභා සැලකීමේදී නියෝජිත සංඛ්‍යාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් ය​. කෙසේ වෙතත් ඊට ඉහළ මට්ටමේදී කාන්තා නියෝජනය තවමත් ඇත්තේ බොහෝ පහළිනි. ලෝක් සභාවේ කාන්තා නියෝජනය සියයට 15 ක් පමණ වේ. එමෙන්ම ඉන් දියාවේ ප්‍රාන්තවල මහ ඇමති ධුරය දරන කාන්තාවන් දැනට සිටින්නේ එක් අයකු පමණි. ඒ බටහිර බෙංගාලයේ මමතා බැනර්ජි ය​.

මමතා

දේව් ගවුඩා අගමැති සමයේදී ද ඉන්පසු අටල් බිහාරි වජ්පායි පාලන සමයේ දෙවතාවකදී ද කාන්තා නියෝජන පනත් කෙටුම්පත් සම්මත කරගන්නට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය​. මන්මෝහන් සිං පාලන සමයේදී එය රාජ්‍ය සභා අනුමැතිය ලද ද ලෝක් සභාවේදී සම්මත කරගත නොහැකි වූයේ ය​.

මෙසේ කාන්තා නියෝජනය පිළිබඳ පනත් කෙටුම්පතක් සම්මත කරගැනීම කළ නොහැකි වූයේ කාන්තාවන්ට නිශ්චිත නියෝජනයක් ලබාදීම සඳහා දේශපාලන පක්ෂ විරුද්ධ වීම හේතුවෙන් නොවේ. ගැටළුව වූයේ "කෝටාව තුළ කෝටාව​" පිළිබඳ ප්‍රශ්නය හෙවත් "අනෙකුත් පසුගාමී කුල​" ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල විරෝධයයි.

ඉන්දියාවේ මේ වනවිට ද පහළ යයි වර්ගීකරණය කළ කුලයන් හි (Scheduled Castes) සහ පහළ යයි වර්ගීකරණය කළ ගෝත්‍රයන් හි (Scheduled Tribes) ප්‍රජාවන්ට වෙන්වූ නියෝජන කෝටාවක් වෙයි. නමුත් "අනෙකුත් පහළ යයි සම්මත කුල" (Other Backward Castes) ප්‍රජාවන්ට එවන් කෝටාවක් නොවේ. එහෙයින් ඔවුන්ගේ කාන්තාවන්ට සාධාරණ නියෝජනයක් නොලැබේ යයි සැකයක් එම ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට තිබුණි. 1990 දශකයේ සිට පැවති සභාග ආණ්ඩුවලදී එම පක්ෂවල විරෝධය පැහැදිලි ලෙසම ප්‍රබල වූ හෙයින් කාන්තා නියෝජන පනත ඇණහිටියේ ය​.

නව පනත් කෙටුම්පතෙන්

මෝදි ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අනුව මහජන ඡන්දයෙන් පත්වන සියළු නියෝජන සභාවන් හි කාන්තාවන්ට සියයට 33 ක නියෝජනයක් තහවුරු කෙරේ. ඒ අනුව මෙම නීතිය අදාල වනුයේ ලෝක් සභාවට, ප්‍රාන්ත පහළ මන්ත්‍රී මණ්ඩලවලට සහ මධ්‍යම ආණ්ඩු පාලනයේ වන ප්‍රදේශවල මන්ත්‍රී මණ්ඩලවලට ය​. රාජ්‍ය සභාවට සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල ඇති ප්‍රාන්තවල එම මන්ත්‍රී මණ්ඩලවලට මෙම නීතිය අදාල නැත​.

මේ අනුව අදාල මන්ත්‍රී මණ්ඩලවල කාන්තාවන්ටම වෙන්කළ ආසන ප්‍රමාණය සියයට 33 ක් වනු ඇත​. අනෙකුත් ආසන සඳහා ද කාන්තාවන්ට තරග කිරීමේ අවහිරයක් නොවේ. තවද​, මේ වනවිටත් පහළ යයි සම්මත කුලවල සහ ගෝත්‍රවල ජනතාවන්ට වෙන්කළ ආසන ප්‍රමාණයන් තුළ ද මෙම කාන්තා නියෝජනය තහවුරු කෙරේ.

උදාහරණයක් ලෙස ගතහොත්, යම් ප්‍රාන්ත සභාවක සමස්ථ ආසන සංඛ්‍යාව 100 ක් යයි සලකමු. එහි පහත් යයි සම්මත කුලවල ප්‍රජාව සඳහා ආසන 30 ක් වෙන්කර ඇතැයි ද සලකමු. එවිට සමස්ථ ආසන 100 න් 33 ක් කාන්තාවන්ටම වෙන් කෙරෙන අතර​, පහත් යයි සම්මත කුලවල ප්‍රජාව සඳහා වන ආසන 30 න් ද 10 ක් කාන්තාවන්ටම වෙන් කෙරේ.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මෙම සැසියේදී සම්මත වුව ද මෙය කඩිනමින් ක්‍රියාවට නොනැගේ. පනත් කෙටුම්පත සඳහන් කරන පරිදි එය ක්‍රියාවට නැගීම සඳහා කරුණු කිහිපයක් සැපිරිය යුතු ය​. මුලින්ම නව ජන සංගණනයක් සිදුවිය යුතු වන අතර ඉන්පසු සීමා නිර්ණය සිදුවිය යුතු ය​. ඉන් අනතුරුව කාන්තා නියෝජනය ක්‍රියාවට නැගේ. 2021 දී පැවැත්වීමට නියමිත වූ ජන සංගණනය කොරෝනා වසංගතය හේතුවෙන් නොපැවැත්වූ අතර ඊළඟ සංගණනය කිනම් වසරක පැවැත්වේදැයි මෙතෙක් නිවේදනය කර නැති හෙයින් කාන්තා නියෝජනය සැබෑ ලෙසම ක්‍රියාවට නැගෙන දිනයක් පැහැදිලිව කිව නොහැක​. නමුත් මෙම පනත් කෙටුම්පත මෙවර සම්මත වීමට විශාල ඉඩක් ඇති හෙයින් ඉදිරි දශකයක් තුළ කාන්තා නියෝජනය ක්‍රියාවට නැගේ යයි අනුමාන කළ හැක​.

Latest