ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව එළඹෙන මහමැතිවරණයේදී පරාජය කිරීම ඉලක්ක කරගෙන විපක්ෂ සන්ධානයක් නිර්මාණය කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක් 2023 ජූනි 23 වනදා පැට්නා නගරයේදී හමුවීමට නියමිත ය.
බිහාර් ප්‍රාන්තයේ මහ ඇමති සහ ජනතා දාල් (එක්සත්) [Janata Dal (United)] නායක නිතිශ් කුමාර්ගේ ආරාධනයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජනතා දාල් (එක්සත්) පක්ෂයට අමතරව කොන්ග්‍රස් පක්ෂය, අකිලේශ් යාදව්ගේ සමාජවාදී පක්ෂය, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂය, ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂය (NCP), ශිව් සේනා (උද්දව් බාල්සහබ් තාකරේ) පක්ෂය, ත්‍රිණමූල් කොන්ග්‍රසය, මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (People’s Democratic Party - ජම්මු සහ කශ්මීරයේ පක්ෂයකි) සහ ජම්මු සහ කශ්මීර් ජාතික කොන්ග්‍රසය යන පක්ෂ සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
කාලයක් තිස්සේ කතාබහට ලක්වෙමින් පැවති විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීමේ උත්සාහය වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන වැදගත් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි ය. මීට පෙර මෙම පක්ෂ සමහරක් මෙන්ම වෙනත් විපක්ෂ දේශපාලන පක්ෂ අතර ද මේ පිළිබඳ යම් යම් සාකච්ඡා සිදුවූයේ ය. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේදී විපක්ෂ දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ගොඩනගාගැනීමේ කටයුතු පසුගිය සමයෙහි සිදුවිය. නමුත් ජාතික මට්ටමෙන් පක්ෂ ගණනාවක් 2024 මැතිවරණය ඉලක්ක කරගෙන අනාගත සන්ධානයක් පිළිබඳ සාකච්ඡා කරනුයේ මුල් වරට යැයි කිව හැක.
සන්ධාන ගැටළු
බීජේපීය පරාජය කිරීම සඳහා සන් ධානයක් නිර්මාණය කිරීමේදී ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් මුහුණදෙන අභියෝග සහ ගැටළු පිළිබඳ මීට පෙර මෙම ලේඛකයා විසින් ලියන ලද ලිපියකින් සාකච්ඡාවට භාජනය කෙරිණ. රාහුල් ගාන්ධි නායකයකු ලෙස යහපත් ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමට අසමත්ව සිටීම සහ ඒ ඔස්සේ ඇතිවන සන්ධාන අගමැති අපේක්ෂකයා පිළිබඳ ගැටළුව, කොන්ග්‍රස් පක්ෂය නොමැතිව ප්‍රබල සන්ධානයක් ගොඩනැගීමේ නොහැකියාව, කොන්ග්‍රස් පක්ෂය සහ අනෙකුත් ඇතැම් බීජේපී විරෝධී පක්ෂ අතර ඇති නොගැලපීම් සහ එදිරිවාදිකම් ආදිය මෙහිදී වැදගත් ගැටළු බවට පත්වේ.

මෙවර සන්ධාන සාකච්ඡා සංවිධානය කිරීම සඳහා කොන්ග්‍රස් පක්ෂය මූලිකත්වය නොගෙන නිතීශ් කුමාර් ඒ සඳහා ඉදිරිපත්ව සිටින්නේ ද කොන්ග්‍රස් පක්ෂය සමග ඇතැම් බීජේපී විරෝධී පක්ෂවලට ඇති එදිරිවාදිකම් හේතුවෙනි. කොන්ග්‍රස් පක්ෂය විසින් ආරාධනා කළේ නම් ත්‍රිණමූල් කොන්ග්‍රස් පක්ෂය සාකච්ඡා සඳහා පැමිණේ යයි බලාපොරොත්තු විය නොහැකි ය. මේ අතර එක් එක් පක්ෂවලින් පහළ මට්ටමේ නියෝජිතයන් නොව නායකත්ව මට්ටමේ නියෝජිතයන් මෙම සාකච්ඡා සඳහා සහභාගී විය යුතු යයි නිතීශ් කුමාර් විසින් බලකරනු ලැබ තිබුණ බව ද දැනගන්නට ලැබේ. මෙම සාකච්ඡා බරපතල ලෙස සලකන බව පෙන්වීම සඳහා එය අත්‍යවශ්‍ය කොන්දේසියකි.
සහභාගී නොවන්නෝ
මේ අතර විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක්ම මෙම සන්ධාන සාකච්ඡා සඳහා සහභාගී නොවේ. තෙලන් ගනා මහ ඇමති කේ. චන්ද්‍රසේකර් රාඕගේ (KCR) භාරතීය රාශ්ට්‍ර සමිති (කලින් තෙලන්ගනා රාශ්ට්‍ර සමිති) සාකච්ඡා සඳහා සහභාගී නොවේ. චන්ද්‍රසේකර් රාඕ සිය පක්ෂයේ නම වෙනස් කළේ ද තමන් මූලිකව ජාතික මට්ටමේ සන්ධානයක් ගොඩනගන අටියෙනි. එහෙයින් අනෙකෙකු මුල්ව එවන් සන්ධානයක් ගොඩනැගීමට උත්සාහ කිරීමේදී ඔහු ඊට සහභාගී වීමෙන් වැළකෙන සේ පෙනී යයි. එමෙන්ම ඔහුට ද කොන්ග්‍රස් පක්ෂය සමග තදබල එදිරිවාදිකමක් තිබේ. තවද, ඔහු සමග සන්ධානගතව මෙන් කටයුතු කරන අසදුද්දීන් ඔවයිසිගේ සමස්ථ ඉන්දියානු මජ්ලිස්-ඊ-ඉතිහදුල් මුස්ලිමීන් (All India Majlis-e-Ittehadul Muslimeen) පක්ෂය ද බීජේපීය මෙන්ම කොන්ග්‍රස් පක්ෂය ද සිය ප්‍රතිවාදීන් ලෙස සලකයි.

ආන්ද්‍රා ප්‍රදේශ් හි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මෙම සන්ධාන සාකච්ඡා සඳහා සහභාගී නොවේ. මහ ඇමති ජගන් මෝහන් රෙඩ්ඩිගේ YSR කොන්ග්‍රස් පක්ෂය, බීජේපීය සහ කොන්ග්‍රස් පක්ෂය යන දෙකෙන්ම ස්වාධීන මාවතක ගමන් කිරීමට උත්සාහ කරන බව පෙනී යයි. චන්ද්‍රබාබු නායිදුගේ තෙළිඟු දේශම් පක්ෂය (TDP) නැවත බීජේපීය සමග කිසියම් එකඟතාවයක් ගොඩනගාගැනීමට උත්සාහ කරන බවට රාවයක් වෙයි.
මේ අතර කර්ණාටකයේ දේව් ගවුඩාගේ ජනතා දාල් (ඓහික) [Janata Dal (Secular)] පක්ෂය ද මෙම සන්ධාන සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නැත. ඔවුන් ද බීජේපීය සමග කිසියම් කතාබහක සිටින බවට රාවයක් පවතී.
මේ ආකාරයෙන් පෙනී යන්නේ බීජේපීය පරාජය කිරීමේ පොදු එකඟතාව ඔස්සේ පොදු සන්ධානයක් ගොඩනගාගැනීම තව බොහෝ දුර ඉලක්කයක් බව ය. කෙසේ වෙතත් ඒ සඳහා විපක්ෂ කණ්ඩායම්වලට ඇත්තේ මාස අටක, නවයක තරම් කෙටි කාලයක් පමණි.