Skip to content

භාරත ඉතිහාසයෙන් අප්‍රකට ආදර කතාවක්

අද මා පැවසීමට සූදානම් වන්නේ එක්තරා ප්‍රේම කතාවක් පිළිබඳව ය​. නමුත් මෙය සාමාන්‍ය ප්‍රේම කතාවකට වඩා වෙනස් කතාවකි. නූතන ඉන්දියානු ඉතිහාසයෙහි හමුවන මෙම ප්‍රේම කතාව ඇතැම්විට ඉන්දියානු ඉතිහාසය පිළිබඳ දැනුමැති ඇතැමුන් ද අසා නැති විය හැකි ය​.

මේ කතාවේ කතානායකයා වන්නේ උල්ලාස්කර් දත් ය​. 1885 දී උපන් උල්ලාස්කර්, 20 වන සියවස ආරම්භයේදී විප්ලවවාදී කටයුතුවල නිරත වුණු බ්‍රිතාන්‍ය විරෝධී ජාතික අරගලයෙහි පුරෝගාමී විප්ලවවාදියෙකි. උල්ලාස්කර් දත් වැනි පුද්ගලයන් ගැන අපට එතරම් අසන්නට නොලැබෙන්නේ පසුකලෙක නිදහස් ඉන්දියාවේ බලයට පැමිණි නේරු - ගාන්ධි පවුල සහ ඔවුන්ගේ හිතමිතුරන් විසින් මෙම විප්ලවවාදීන් විසින් සිදුකළ කාර්යයභාරයට සැලකියයුතු බරක් නොදුන් නිසාවෙන් බවට ප්‍රබල මතයක් වෙයි. වර්තමානයේ භාරතීය ජනතා පක්ෂය විසින්, එක්තරා දුරකට සිය දේශපාලනික අවශ්‍යතා ද හේතුවෙන් මෙම අමතකකළ විප්ලවවාදීන් පිළිබඳ මතකය අලුත් කරමින් සිටියි.

විසිවන සියවස මුල් කාලයේ ඉන්දියාවේ බෙංගාලයේ ව්‍යාප්ත වුණු අනුශීලන් සමිති නම් වූ සමාජයන් එකළ විප්ලවවාදී ව්‍යාපාරයෙහි තිඹිරිගෙය විය​. අනුශීලන් සමිති යනු කායවර්ධන සමිති වූ අතර ඒවාට එක් වූ ඇතැම් තරුණයෝ විප්ලවවාදී ව්‍යාපාරයට එකතු වූහ​. මෙම විප්ලවවාදීන්ට මතවාදී සහය ලැබුණු ජාතිකවාදී චින්තකයෝ ද එකළ වූහ​. එයින් තිදෙනකු වූයේ ලාල් - බාල් - පාල් ත්‍රිත්වය යි. එනම් ලාල් ලාජ්පත් රායි, බාල් ගංගාධර් තිලක් සහ බිපින් චන්ද්‍ර පාල් ය​. මේ තිදෙනාගෙන් බිපින් චන්ද්‍ර පාල් අපේ කතාවට වැදගත් වන අයුරු තවත් ස්වල්ප මොහොතකින් ඔබ දකිනු ඇත​.

ලාල් ලාජ්පත් රායි, බාල් ගංගාධර් තිලක් සහ බිපින් චන්ද්‍ර පාල්

උල්ලාස්කර් දත් රසායන විද්‍යාව ඉගෙනීමේ උනන්දුවක් දැක්වූ අයකු වූ අතර බෝම්බ නිපදවීම පිළිබඳ ස්වයං අධ්‍යයනයෙන් උගත්තේ ය​. එහෙයින්ම විප්ලවවාදීන්ගේ බෝම්බ තනන්නා ඔහු විය​. 1907 දී මුසාෆර්පුර් හි මහේස්ත්‍රාත්වරයා ඝාතනය කිරීම සඳහා කළ අසාර්ථක උත්සාහයෙන් අනතුරුව උල්ලාස්කර් දත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වූහ​. ඔවුන්ට එරෙහිව පැවති නඩුව අලිපෝර් බෝම්බ නඩුව ලෙස ප්‍රකට ය​.

උල්ලාස්කර් දත්ට මෙම නඩු තීන්දුව මගින් මරණීය දණ්ඩනය නියම වූයේ ය. ඔහුගේ අභියාචනයකින් අනතුරුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස සංශෝධනය කරන ලදී. එහෙත් ඔහුට එම දඬුවම ගෙවීමට සිදුවූයේ එකළ අමානුෂිකත්වයෙන් අගතැන්පත් ස්ථානයක් වූ කාලා පානි (කළු දිය​) බන්ධනාගාරයේ ය​. කටුක දේශගුණයක් සහිත අන්දමන් දූපත් හි පිහිටි මෙම බන්ධනාගාරය​ ඉංග්‍රීසි බසින් cellular jail යයි හඳුන්වන ලදී. එම නමෙහිම එම බන්ධනාගාරයේ එක් ලක්ෂණයක් අන්තර්ගත වූයේ ය​. එහි එක් එක් සිරකරුවාට තනි සිරකුටි වූ අතර එහි අරමුණ වූයේ එකිනෙකා අතර සන්නිවේදනය අහුරා දැමීම ය​. මෙහිදී සිරකරුවෝ සහමුලින් හුදෙකලා කරන ලද හ​. ඔවුනට අපිරිසිදු ආහාර ලබා දෙනු ලැබුණි. ඔවුන්ට දිගින් දිගටම වද දෙන ලදී. නැතහොත් බරපතල වැඩ පවරන ලදී. මෙසේ පැවරුණු එක් වැඩක් වූයේ සෙක්කුවක් කරකවමින් තෙල් හිඳීම ය​. දෛනික ඉලක්කය සැපිරූයේ නැති විට ඊට ද දැඩි දඬුවම් පනවන ලදී.

උල්ලාස්කර් දත්

එක් දිනෙක​, උල්ලාස්කර් දත්ට දැඩි සේ උණ ගැණින​. ඔහු සෙක්කුව කැරකැවීම ප්‍රතික්ෂේප කළේ ය​. ජේලරුවෝ ඔහුට පාඩමක් උගන්වන්නේ යැයි තීරණය කර ඔහු ඇදගෙන ගියෝ ය​. කුටියක් තුළ වූ පුටුවක හිඳුවා බැඳ දමන ලද උල්ලාස්කර් දත්ට විදුලි සැර වැද්දීමට ජේලරුවෝ කටයුතු කළෝ ය​. දිගින් දිගටම​, ඔහුට විදුලි සැර වද්දන ලදී. ඔහු වේදනාවෙන් කෑමොර දෙද්දී ද එය නවත්වන ලද්දේ නැත​. බන්ධනාගාරය පුරාම ඔහුගේ වේදනාබර විලාපය ඇසුන ද ජේලරුවෝ ඒ ගැන නොතැකූහ​. ඔවුන්ට අවශ්‍ය වූයේ ද අනෙක් සිරකරුවන්ට අනතුරු ඇඟවීම ය​. එහෙයින් උල්ලාස්කර් දත් වැඩි වැඩියෙන් විලාප නගනු දැක ඔව්හු තව තවත් සතුටු වූහ​.

අවසානයේදී උල්ලාස්කර්ගේ සිහි විකල් විය​. මේ අතර අන් සිරකරුවෝ උපවාසයක් ඇරඹූහ​. බ්‍රිතාන්‍ය පාලකයෝ උල්ලාස්කර් සිරගෙයින් ඉවත් කර මදුරාසියේ මානසික වෛද්‍ය ආයතනයක් කරා යැවූහ​. වසර ගණනාවක් ඔහු එහි ප්‍රතිකාර ලබමින් කෙමෙන් කෙමෙන් සුවපත් විය​.

Cellular Jail

විදුලි සැර වැදෙමින් විලාප නගද්දී ද​, මනස විකල් වෙමින් තිබියදී ද උල්ලාස්කර්ගේ ඉදිරියේ මැවුණු ඡායාවක් විය​. ඈ ඔහුගේ පාසැල් වියේ පෙම්වතිය වූ ලීලා ය​. උල්ලාස්කර් දත් අත් අඩංගුවට පත් වූයේ කලින් අපට හමුවූ ලාල් - බාල් - පාල් ත්‍රිත්වයෙහි බිපින් චන්ද්‍ර පාල්ගේ දියණිය වූ ලීලා සමග විවාහ ගිවිසගෙන සිටියදී ය​. උල්ලාස්කර් දත් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙද්දී ද ඔහුට නිරන්තරයෙන් සිහි වූයේ ලීලා ය​.

කාලය ගෙවී උල්ලාස්කර් දත් සුව අතට හැරුණි. ඔහුව මානසික වෛද්‍ය ආයතනයෙන් නිදහස් කරන ලදී. ඔහු වහ වහා ගියේ ලීලා සොයාගෙන ය​. ඒ වනවිට ද ඔවුන්ගේ ජීවිතයේ දශකයකට ද වඩා ගෙවී ගොසිනි. ලීලා සොයාගෙන ගිය ඔහුට දැනගන්නට ලැබුණේ ඔහු බලාපොරොත්තු නොවූ පුවතකි. වසර ගණනාවක් ඔහුගෙන් තොරතුරක් නොමැතිව සිටි ලීලා, ඔහු ජීවතුන් අතර ඇතැයි යන බලාපොරොත්තුව ඉවත ලා වෙනත් අයකු හා විවාහ වී සිටියා ය​.

උල්ලාස්කර් දත් සිය අවාසනාව ගැන කම්පා වෙමින් ආපසු හැරුණේ ය​. යළි තමන් රුචි විප්ලවවාදී දිවිය සොයා ගියේ ය​. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හා හැප්පුණේ ය​. යළි සිරගත වූයේ ය​. යළි නිදහස් වූයේ ය​. පසුව බෙංගාලයේ සිය පාරම්පරික ගම් පෙදෙස කරා ගොස් තනිව ජීවත් වන්නට වූයේ ය​.

1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව නිදහස ලැබී ය​. ඒ සමගම රටවල් දෙකක් බිහිවූයේ මහා ඝාතනයක් ද සමග ය​. උල්ලාස්කර් දත් සරණාගතයෙක් ලෙස අලුතින් බිහි වූ නැගෙනහිර පාකිස්ථානයෙන් ඉන්දියාව කරා ආවේ ය​. නැවත හුදෙකලා ජීවිතයකට ඔහු යොමුවිය​.

වසර දහයක් ගෙවිණ​. මේ අතර කල්කටාවට පැමිණි උල්ලාස්කර් දත් වෙත ආරංචියක් පැමිණියේ ය​. එනම් ලීලා දැන් වැන්දඹුවක බව ය​. එමෙන්ම ඇය ඉණෙන් පහළ පණ නැතිව​ ඔත්පලව බොම්බායේ දිවි ගෙවන​​ බවය​. බොම්බායට පැමිණි උල්ලාස්කර් දත් ලීලා සොයා එම විසල් නගරය පීරුවේ ය​. අවසානයේ ඇය සිටින තැන ඔහු සොයාගත්තේ ය​. ඇයව ද රැගත් උල්ලාස්කර් දත් අසාමයට ගියේ ය​. ලීලා විවාහ කරගත් ඔහු ඇයව රැකබලාගනිමින් නව ජීවිතයක් ඇරඹුවේ ය​.

අවසානයේ ඔහුට ඔහු සෙවූ ප්‍රේමය හමු විය​.

Latest