Skip to content

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට පත් වීමත් සමග කුපිත වූ විරෝධතාකරුවන් කලහකාරී වේ. දහසකට වැඩි පිරිසක් අත් අඩංගුවට.

ඊයේ දිනයේදී (09) පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී එරට පැරාමිලිටරි නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා. පසුගිය කාලය පුරාවට ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදාළ නඩු විභාගයන් සදහා පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ අත් අඩංගුවට පත් වී ඇත​. (විදෙස් මාධය වාර්තා වලට අනුව ඔහු සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති Al-Qadir Trust නඩුව සඳහා ඉස්ලාමාබාද් මහාධිකරණයේ පැවති නඩු විභාගයකට සහභාගී වෙමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.) මේ සමගම රට තුල ඇතිවූ කලහකාරී තත්වය හේතුකොට ගෙන මේ වනවිට දහසකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් පැවති කලහකාරී විරෝධතා හේතුවෙන් රට පුරා අට දෙනෙකු මිය ගොස් ඇති බවත් එරට පොලීසිය විදෙස් මාධය වෙත වාර්තා කර සිටිනවා.

මෙම තත්වය හේතු කොට ගෙන ඉම්රාන් ඛාන් අද දිනයේ ඉස්ලාමාබාද් අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීමටත් ඒ වෙනුවට ඔහුගේ නියමිත නඩු විභාගය ඔහු අත් අඩංගුවේ පසුවන ස්ථානයේදීම පැවැත්වෙන බවත් එරට පොලීසිය අද දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත​. ඔහු රදවා සිටින පොලිස් ගෙස්ට් හවුස්හි දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවත් එය අධිකරණ ශාලාවක් ලෙස මේ වන විට ක්‍රියාත්මක බවත් වැඩි දුරටත් සදහන් වේ. පාකිස්තානයේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය ද මෙම තත්වය වඩා තීව්‍ර කිරීමට බලපෑ සාධකයක් වී ඇත​.

නගර කිහිපයක පොලිස් වාහනවලට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති අතර පාසල් ද මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ. වැඩිදුරටත් දැක්වෙන්නේ පාකිස්තාන බලධාරීන් විසින් අන්තර්ජාල​ හා සමාජ මාධ්‍ය සදහා වන ප්‍රවේශයන් ද මේ වන විට සීමා කර ඇති බවයි. කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ පක්ෂය වන PTI (Pakistan Tehreek-e-insaf) එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඇති බවද සදහන්. රොයිටර් සේවය වාර්තා කර සිටින්නේ අද දිනයේ පාකිස්තාන රුපියල 1.3% කින් දුර්වල වී ඇති බවත් එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්‍ෂව පාකිස්තාන රුපියලහි අගය 288.5 ලෙස නව වාර්තාගත අවම මට්ටමක් පෙන්නුම් කරන බවත්ය​.

ඉම්රාන් ඛාන් ආණ්ඩු විරෝධී රැල්ලක පසුගිය කාලය පුරාවට නැගී සිටි අතර මේ වසරේ ජාතික හා පළාත් සභා මැතිවරණ සදහා ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිට ඇත​. කෙසේ වෙතත් ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු වුවහොත් ඔහුට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බව සදහන්.

Latest