Skip to content

සියලු පක්ෂ ඒකඟයි නම් 13 වන සං‌ශෝධනය බලාත්මක කල හැකියි.

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත් එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දේශපාලන නායකයින්ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග 18 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එහිදී කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස මහින්ද රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදි පැවසීය.

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංසෝධනයට අදාලව ඉදිරිපත්කර ඇති යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතරම පොලිස් බලතල හැරුනුකොට යෝජනාවේ ඇතුලුත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් ඊට ඒකඟ වන්නේනම් පමණක් වන බවටද පාර්ලිමේන්තුව තුල 2/3 ක බහුුුතරයක් ඊට අවශ්‍ය බවටද ජනාධිපති වරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Latest