Skip to content

ඉදිරි මාස කිහිපය තුළ ඉන්සියුලින්වල බරපතල හිඟයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉන්සියුලින් සැපයීමට  ඇණවුම්  බාර ගත් සමාගම නිසි පරිදි ඉන්සියුලින් තොග ලබා නොදීම හේතුවෙන් ඉන්සියුලින් සැපයීම පිලිබද බරපතල අර්බුදයක් මතුවී ඇතැයි  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

මේ හේතුවෙන් ඉන්සියුලින් හදිසි මිලදී ගැනීමක් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් සමාගමකට අවසර ලබා දී ඇති අතර ඒ  හේතුවෙන් හතර ගුණයක පමණ වැඩි මිලක් ගෙවා ඉන්සියුලින් ලබා ගැනීමට සිදුව ඇති බව ඔහු පවසයි.

සාමාන්‍යයෙන් ප්‍රසම්පාදනයේදී ඉන්සියුලින් මිලදී ගෙන ඇත්තේ රුපියල් 150ක පමණ මිලකට වන අතර නව ප්‍රසම්පාදනයේදී රුපියල් 650ක පමණ මුදලක් ඊට වැය කිරීමට සිදු වී ඇති බව රවී කුමුදේශ් ගෙට් පීක් වෙත කියා සිටියේය.

කෙසේ නමුත් අදාල සමාගමට කිසියම් හදිසි තත්ත්වයක් හේතුවෙන් අවශ්‍ය තොග ලබා දීමට නොහැකි වූයේනම් එය පූර්ව වශයෙන් දැනුම් දීමට නොහැකි වූයේ කිනම් කාරණාවක් හේතුවෙන්ද යන්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ පිළිබඳව පූර්ව වශයෙන් දැනුවත් වීමේ ක්‍රමවේදයක් නොවූයේ කුමක් නිසාද යන්න  විමර්ශනය කළ යුතු බව එම සංගමය ප්‍රශ්න කරයි

මේ හේතුවෙන් හානිවන මුදල මහජනතාවයේ බදු මුදලින් ගෙවීම වෙනුවට අදාල සමාගම හෝ ඊට මැදිහත් නොවූ නිලධාරින්ගෙන් අය කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් එසේ නොමැතිවීම මගින් අනවශ්‍ය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගැනීමේ යාන්ත්‍රනය අනවශ්‍ය ලෙස හදිසි මිලදී ගැනීම් වෙත යොමු වීම නොවැළැක්විය හැකි බවත්, එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Latest