ලාංකේය දේශපාලනය හා සමගාමීවම කතාබහට ලක්කල හැකි ලෝක දේශපාලකයින් ද වන අතර ඔවුන් පාලනය කල රටවල් සහ ලංකාව අතරද පැවතියා යැයි කියන සබඳකම් පිළිබඳ ආන්දෝලනාත්මක හෙලිකිරීම් වරින්වර මාධ්‍යයන් තුලින් අසන්නට දකින්නට ලැබුණි. උගන්ඩාව යනු එසේ කලකට ඉහතදී කතාබහට තුඩුදුන් රටක් වූ අතර, ලංකාව තුළ විදේශීය සංචිත සිඳී ගොස් තිබූ පසුබිමක ගුවන් යානා තුලින් මුදල් නෝට්ටු උගන්ඩාවට යොමු කරන ලද පුවතක් වාර්තා වූ ආකාරය ඔබට මතක ඇත. එවකට විවිධ වූ අදහස් සමාජය තුළ මුල්බැසගෙන තිබූ අතර එක් පාර්ශවයක් සඳහන් කරනු ලැබුවේ පාලකයින් අප රටේ විදේශ සංචිත ගෙඩිය පිටින්ම සූරා කා උගන්ඩාවේ තැන්පත් කරලන්නට ඇති බවට ය.
එම අදහසට පක්‍ෂ වන හේතු සාධක වශයෙන් ගත් කල ඒ කාල රාමුව තුලදීම සැලකිය යුතු මට්ටමකින් උගන්ඩාවේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වී තිබීම ගත හැකිය. තවත් පාර්ශවයක් සඳහන් කරන ලද්දේ (විශේෂයෙන්ම ආණ්ඩුවට හිතකාමී) උගන්ඩානු මුදල් ලංකාව තුල මුද්‍රණය කොට ගුවන් යානා මගින් එම රට වෙත යොමු කරන ලද බවය. සත්‍ය අසත්‍ය කුමක් වුවද උගන්ඩාව යනුත් කළු සල්ලි තැන්පත් කිරීමෙහි ලා පාරාදීසයක් බව අප දනී. වෙනත් රාජ්‍යයන්ගෙන් කොතෙකුත් බලපෑම් එල්ල වුවද, එම අයථා වත්කම් පිළිබඳ තොරතුරු හෙළි නොකරන ඔවුන් විවිධ වූ ව්‍යාජ ආයතන නාමකරණයන් යටතේ (Shell Companies) නිල නොලත් වත්කම් ආයෝජනය කරනු ලබන බව නොරහසකි.
සිදුවීම පිළිබඳව ඔබට අමතක නම් සඳරු සත්සරගේ මෙම ගීතයට සවන් යොමු කර බලන්න.
මෙකී චෝදනාවන්ගේ සත්‍ය අසත්‍යභාවය සෙවීම වගකිවයුතු රජයකට යථා කාලයකදී බාරය..
අද මාතෘකාව ගලා යනුයේ උගන්ඩාව කාලයක් පාලනය කරනු ලැබූ ඒකාධිපති පාලක ඉඩි අමීන් සම්බන්ධවය. උගන්ඩානු දේශපාලන ඉතිහාසය ගත්කල එය ද බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. එසේ පැවති උගන්ඩාව යටත් විජිත පාලනයෙන් නිදහස ලබාගනුයේ 1962 වර්ෂයේදීය.

එරට දේශපාලන ඉතිහාසය කියවීමේදී මග නොහැරම යා හැකි චරිතයක් වන ඉඩී අමීන් යනු කවුරුන් ද? ඔහුගේ දේශපාලනික ආස්ථානය කෙබඳු ද? ඔහුගේ පාලනය යටතේ උගන්ඩාවට සිදු වූයේ කුමක් ද?
ආසියාවේ මුතු ඇටය වශයෙන් ලංකාව හැඳින්වෙනවා මෙන්ම අප්‍රිකානු මහද්වීපයේ මුතු ඇටය වශයෙන් හැඳින්වෙන්නේ උගන්ඩාවය. නයිල් ගංගාව පවා ආරම්භ වන එම සශ්‍රීක රටෙහි පාරිසරික සම්පත් රාශියකි. කලකට ඉහත සෞභාග්‍යමත් ජීවිත ගත කරන ලද (එම රටේ වර්තමාන තත්ත්වයන්ට සාපේක්‍ෂව) එරට වැසියෝ මේ වන විට ගතකරනු ලබන්නේ පීඩාකාරී ජීවිතයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු කඩා වැටුණු රටක් වශයෙන් ද ගැනෙන උගන්ඩාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්‍ෂිත කරනු ලැබ ඇති රටවල් පිළිගන්නා ආකාරයට, එරට ජනතාවට තමන්ගේ අයිතීන් හිමි නොවනා භූමියකි. මෙකී දේශපාලනික සංස්කෘතිය උගන්ඩාවට හඳුන්වා දෙනු ලබන්නේ ඉඩී අමීන් විසිණි. සමහරෙකුට අනුවනම් ඔහු උමතුවකින් පෙළුණු පාලකයෙකි. තවත් සමහරෙකු ඔහු මිනීමස් අනුභව කල බවට ද චෝදනා එල්ල කොට ඇත. අප්‍රිකානු රාජ්‍යයන් පාලනය කරනු ලැබූ ඒකාධිපතියන් බහුතරය හා සන්සන්දනය කල විට ද ඉඩී අමීන් යනු අතිශය කැපී පෙනෙන දුෂ්ඨ චරිතයකි.

ඔහු ඉපදුණු වර්ෂය පිළිබඳ මතභේදාත්මක කරුණු රැසක් ඇති නමුදු බොහොමයක් මූලාශ්‍ර දක්වා ඇති පරිදි ඉඩී අමීන් ඉපිද ඇත්තේ 1925දීය. උගන්ඩාව තුළ විවිධ ගෝත්‍ර නියෝජනය කරනු ලබන ජන වර්ග ජීවත් වන අතර ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා එක්තරා වැඩසටහනකදී දක්වා තිබූ ආකාරයට ඉඩී අමීන්ගේ පියා කක්වා නම් ගෝත්‍රයට ද, ඔහුගේ මව ලුම්පාරා නමැති ගෝත්‍රයට ද අයත් ය. රෝමානු කතෝලික ආගම නියෝජනය කල ඉඩී අමීන්ගේ පියා ඔහු මෙලොව එළිය දැකීමට බොහෝ කාලයකට පෙරාතුව ඉස්ලාම් ධර්මය වැළඳගෙන ඇත. එනයින්ම නමේ සඳහන් ආකාරයටම ඉඩී අමීන් ද උපතින්ම ඉස්ලාම් භක්තිකයෙක්ය. 1940 වකවානුව තුළදී ඉස්ලාම් පාසලකින් අධ්‍යාපනය හදාරා ඇති ඔහු ඉතාම අඩු අධ්‍යාපනයක් ලබා ඇතැයි සඳහන්ය.

උත්තුංග දේහධාරී චරිතයක් වූ ඉඩී අමීන් සවි ශක්තිය අතින් ගත්කල එහි ආඩ්‍ය වූ තැනැත්තෙකි. 1951 වර්ෂයේ සිට අවස්ථා ගණනාවකදී ඔහු බොක්‍සිං ශූරයෙකු වශයෙන් ද තේරී පත්ව ඇත. පසුකාලීනව ඔහු හමුදා සේවයට එක්වන අතරම අප්‍රිකානු රයිෆල් බලකායට 1946 දී සම්බන්ධව ඇතැයි වාර්තා වල සඳහන් ය.

උගන්ඩාවට නිදහස හිමිවන 1962 වැනි කාලවකවානුවේ දී ඉඩී අමීන් සිය හමුදා සේවයේ උසස්වීම් ලබා ගන්නා අතර, කර්නල් ධූරයක් දක්වා ඒ කාලය වන විටදී ඔහු ඉහළට පැමිණෙයි. නිදහසින් පසු උගන්ඩාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මිල්ටන් ඔබොටේ පත්වන අතර, පසුකාලීනව ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට එරට ජනාධිපති ධූරය දක්වාම සිය බලය ව්‍යාප්ත කරනු ලබයි.

එකල ඔහුගේ සමීපතමයෙකු වූ ඉඩී අමීන් හට හමුදාපති ධූරය ලබා දීමට ද ඔහු විසින් කටයුතු කරනු ලබන අතර මොවුන් දෙදෙනා එකතුව ඇත්දළ ජාවාරම ජයටම සිදුකරගෙන ගොස් ඒ තුළින් විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමට සමත් වී තිබේ. උපකල්පනය කරන්න, එවකට පුද්ගලයෙකු සිය ජීවිත කාලය පුරාවටම වෙහෙස මහන්සි වී උපයා ගනු ඇතැයි නිර්ණය කල හැකි ආදායම මොවුහු එක් දිනකදී උපයා ඇතැයි සඳහන් ය. සූරාකෑම, ගසාකෑම, වංචාව සහ දූෂණය පිළිබඳ මොවුන් කප්පිත්තන් බව මේ හරහා ඔබට සිතා ගැනීමට පුළුවන. දේශපාලනික බලය උපයෝගී කරගනිමින් අයථා ක්‍රම හරහා විශාල ධනයක් ඔවුන් විසින් ඒකරාශී කොට ගෙන ඇත.

මේ තත්ත්වයට උගන්ඩාව ක්‍රමයෙන් පත් වන විට ඉඩී අමීන් සහ ඔබොටේ අතර යම් යම් මත ගැටුම් නිර්මාණය වන අතර එහි ප්‍රතිඵලයන් වශයෙන් හමුදා නිලධරයෙකු ඝාතනය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉඩී අමීන්ට එරෙහිව චෝදනා එල්ල වීමට පටන් ගැනෙයි. ගැටුම් ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාන ලද හේතුව වන්නේ හමුදාපති ලෙස පත්වීමෙන් අනතුරුව ඉඩී අමීන් තම ගෝත්‍රයේ පිරිස් වැඩි වැඩිව හමුදා සේවයට බඳවා ගැනීමය. මෙසේ ගැටුම් ඇවිලෙමින් තිබූ පසුබිමක; 1971 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සම්බන්ධ වීම සඳහා ඔබොටේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය අවස්ථාවේදී ඉඩී අමීන් සිය ක්‍රියාත්මක වීම අරඹයි. ඔහු උගන්ඩාවේ බලය අල්ලා ගැනීමට සමත් වෙයි.

දේශපාලන විචාරකයින් කරුණු දක්වා ඇති ආකාරයට මිල්ටන් ඔබොටේ ගේ දූෂණ සහ අක්‍රමිකතා දාමය හමුවේ එරට ජනතාව නිහඩ පිළිවෙතක් අනුගමනය කර නැත. ඔවුහු ඒවාට එදිරිව නැගී සිට අරගල දියත් කර ඇති අතර එවකට විපක්‍ෂය ද මෙම අසාධාරණය සම්බන්ධව හඩ නගා ඇත. නමුත් මා ඉහතදී සඳහන් කල පරිද්දෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගත් ඔබොටේ සිය ප්‍රබල ජනපති ධූරය හරහා ඒවා සියල්ල යටපත් කොට තිබේ.
ඉඩී අමීන් විසින් බලය අල්ලා ගත් කාල සීමාව වන විට ලෝක දේශපාලනික බල කඳවුරු තුලද ගැටුමක් තිබූ බව ඉතිහාසය පසු විපරම් කිරීමේදී පෙනී යන කරුණකි. ඔබොටේ විසින් ගෙන ගිය දේශපාලනය සමාජවාදයට වැඩි නැඹුරුවක් දැක්වූ අතර, උගන්ඩාව තුල සිදුවූ මෙම හමුදා කුමන්ත්‍රණය හරහා සිදු කල බලය පැහැර ගැනීමට එරෙහිව බටහිර රටවල් තුලින් කිසිදු මැදිහත්වීමක් සිදු නොවුණි. මක් නිසාද යත් ධනවාදී රටවල් විසින් එවකට විශ්වාස කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට පක්‍ෂව ඉඩී අමීන් කටයුතු කරනු ඇති බවටය. මේ හේතු කාරණා හමුවේ ඔබොටේට ඉතිරිවන එකම විකල්පය නම් ටැන්සානියාවට පලා යාමය.
උගන්ඩාවේ සිය බලය තහවුරු කරගැනීමට සමත් වූ ඉඩී අමීන් ප්‍රකාශ කරනු ලබන්නේ තමා එරට පුරවැසියෙක් මෙන්ම සාමාන්‍ය හමුදා සෙබලෙකු පමණක් බවත්, උගන්ඩානු ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීමට තමන් කටයුතු කරන බවටත් ය. නමුත් මෙම ප්‍රකාශයෙන් සම්පූර්ණයෙන්ම පාහේ පරිභාහිරව කටයුතු කරන ඉඩී අමීන් ඔහුගේ ප්‍රතිවාදීන් මර්ධනය කිරීමටත්, විශාල මිනිස් සංහාරයන් සිදු කිරීමටත් කටයුතු කර ඇත. පත පොතේ සඳහන් පරිදි ඔහු විසින් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයන් ප්‍රමාණය ලක්‍ෂ 03කට අධිකය. ඉඩී අමීන් මිනී මස් අනුභව කළ බව ද බොහෝ තැන්හි ලියැවී ඇත. විශාල වශයෙන් වධකාගාර පවත්වාගෙන ගොස් ඇති මොහුගේ පාලනය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුර්දාන්ත එකක් ය.
ඉඩී අමීන්ගේ චරිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔහුගේ හාස්‍ය උපදවන බ්‍රිතාන්‍ය සංචාරය පිළිබඳව සඳහන් නොකරම බැරිය. හදිසියේම බ්‍රිතාන්‍යයට ගොඩබසින ඔහු තමාට එළිසබෙත් රැජිණ මුණගැසීමට අවශ්‍ය බවට අදාළ නිලධාරීන්ට දන්වා ඇත. ඒ අනුව කඩිමුඩියේ එම හමුව සූදානම් කර දී ඇති අතර රැජිණගේ ප්‍රශ්ණය වන්නේ "ඔබ ඇයි බ්‍රිතාන්‍යයට ආවේ?" යන්නය. එයට ඉඩී අමීන්ගේ පිළිතුර වන්නේ "මගේ රටේ මගේ ප්‍රමාණයට හරියන සපත්තු නෑ. සයිස් 14 සපත්තු හොයාගෙන තමයි මම එංගලන්තෙට ආවේ.." ඉදින් ඉඩී අමීන් ගත කරන ලද අධි සුඛෝපභෝගී ජීවිතය පිළිබඳව ඔබට සිතාගත හැකි බවට සැක නැත. ජනතාවගේ ධනස්කන්ධය අතිවිශාල අන්දමින් සූරා කෑ ඔහු ඇතුළු පිරිවර අවසානයේ බ්‍රිතාන්‍යයෙන් මෙකී පාලනයට අදාළව යම් සහයෝගයක් ලැබේ යැයි අපේක්‍ෂා කර ඇත. නමුත් එසේ සහයෝගයක් නොලැබුණු තැන, බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඉඩී අමීන් සිදු කරන ලද හපන්කම් කිහිපයක් පහත පරිදිය.
එවකට උගන්ඩාව තුළ ආසියාතිකයන් විශාල ප්‍රමාණයක් සිය ආයෝජනයන් සිදුකොට තිබූ අතර ඉඩී අමීන්ගේ තීරණය වූයේ බ්‍රිතාන්‍යයන් යටතේ මෙම ආයෝජකයන් උගන්ඩාවට පැමිණි බවටය. ඔවුන් සියල්ල රටින් නෙරපා හැරීමට තීරණය කල මෙම උන්මන්තක පාලකයා සීමිත දින ගණනක් ඇතුලත ඔවුන්ට රටින් පිටව යන මෙන් බල කර ඇත. ආයෝජකයින් උගන්ඩාවෙන් නික්ම යාමත් සමගම ඉඩී අමීන් වටා සිටි පිරිස මෙම ව්‍යාපාරයන් සියල්ල අල්ලා ගත්හ. ඉඩී අමීන්ගේ අනුග්‍රාහකයන් සහ දේශපාලනික හිතවතුන් මේ ආකාරයෙන් විශාල ධනස්කන්ධයක් පැහැර ගන්නා ලදහ. ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට පෙනී සිටින බවට ප්‍රකාශ කල තැනැත්තා අවසානයේ දී වියරුවෙන් මෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සඳහාම ආධාර අනුබල ලබා දෙන ලදී.
තත්ත්වයන් මෙසේ පවතින විට මේ හා සමකාලීනව එංගලන්තය කෙටි කාලීන වූ ආර්ථික අවපීඩනයකට මුහුණ දෙනු ලබන අතර ඉඩී අමීන් විසින් අපූරු ක්‍රියාවක් සිදු කොට තිබේ. ඔහු විසින් එංගලන්තයට ත්‍යාග වශයෙන් ප්‍රදානය කිරීමට බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලක ලෑස්ති කරනු ලබන අතර ඒවා රැගෙන යාම සඳහා හැකි නම් ගුවන් යානයක් යොමු කරන මෙන් ඔහු විසින් එංගලන්තයට දන්වා සිටියි. මෙම ක්‍රියාවේ ඉඩී අමීන්ගේ අරමුණ වන්නේම බ්‍රිතාන්‍යය ඔවුන් ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීමත් තමන් විසින් ඔවුනට ආධාර සැපයූ බවට ලෝකයේ අනෙක් රටවල් වලට ඒත්තු ගැන්වීමත් ය. ඉඩී අමීන්ගේ නොමනා තක්කඩි දේශපාලනික ක්‍රියාවලිය යම් පමණකින් හෝ මෙම ක්‍රියාව හරහා යටපත් කර ගැනීමට හැකි වේ යැයි ඔහු සිතා සිටියා වීමට ද පුළුවන.
රටේ ආර්ථිකය හසුරවනු ලබන්නේ සීමිත පිරිසක් ය. විරුද්ධ පාක්‍ෂිකයින් මෙන්ම ප්‍රතිවාදීන් මර්ධනය ද ජයටම සිදු වේ. කොතෙකුත් ජනතා නැගිටීම් සිදු වූවද ඒවාට ඉඩී අමීන් ලබා දුන් පිළිතුර වන්නේ වධකාගාර වෙතට එරට ජනතාව යොමු කිරීමය. විශාල වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඝාතනය කිරීමට ද මෙම කෲර පාලකයා විසින් එවකට කටයුතු කොට ඇත. මූලාශ්‍ර වල සඳහන් වන ආකාරයට වධකාගාර තුල හිර කර තබන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇත්තේ අධික තෙරපුම නිසා හුස්ම ගැනීමට නොහැකි වීමෙන්ය. අප්‍රිකානු මහද්වීපයේ මුතු ඇටය යන විරුදාවලියෙන් හැඳින්වූ උගන්ඩාව අවසානයේදී එරට ජනයාට පීඩිත ජීවන තත්ත්වයක් උරුම කරලූ භූමි බාගයක් බවට පරිවර්තනය වීය.
ඉඩී අමීන්ගේ පාලනය සඳහා මුල් කාලීනව විශාල දායකත්වයක් සපයනු ලබන්නේ ඊශ්‍රායලය විසින්ය. ඉදිකිරීම් සඳහා මෙන්ම නව නිර්මාණ සිදු කිරීමට අවශ්‍ය දැනුම ලබා දී ඇතැයි සැලකෙන්නේ ද මොවුන් විසිණි. 1976 කාල වකවානුවේදී ප්‍රංශ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ත්‍රස්ත කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලද අතර මෙසේ පැහැර ගන්නා ලද ගුවන් යානය උගන්ඩාවේ ගොඩ බැස්වීමට ඉඩී අමීන් අවසර ලබා දීමත් සමගම ඊශ්‍ර්‍රායලය සහ උගන්ඩාව අතර දැවැන්ත ගැටුමක් පැන නැගිණි. තත්ත්වයන් අවසානයේ කෙළවර වන්නේ ඊශ්‍රායල හමුදාවන් එරටට පැමිණ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නා පසුබිමක් තුලය. මෙකී හේතු කාරණා හමුවේ සිය සබඳතා පවත්වා ගැනීමට ඉඩී අමීන් ඉන් පසුව තෝරා ගන්නේ ලිබියාවේ ගඩාෆි සමගින්ය.

ලිබියානු ඉංජිනේරු තාක්‍ෂණය උගන්ඩාවේ ඉදි කිරීම් සඳහා කැටි කර ගන්නා ඉඩී අමීන් විසින් තව තවත් වධකාගාර එරට තුල ඉදි කරනු ලබන අතර, අදටත් එම ගොඩනැගිලි උගන්ඩාවේ දක්නට ඇතැයි සැලකේ. වත්මන තුල මතුපිටින් බැලූ බැල්මට ඒවා වධකාගාර සේ නොපෙනුණ ද, ඉඩී අමීන්ගේ පාලන කාලය තුල සැබවින්ම එම ගොඩනැගිලි වධකාගාර වශයෙන් පවත්වා ගෙන ගොස් ඇත. මිනිසුන්ගේ අනේකවිධ දුක් වේදනා සඳහා අදටත් සාක්‍ෂි සපයන්නේ මැටි වලින් රුධිරයෙන් එම මිනිසුන් වධකාගාර වල බිත්ති තුල තබා තිබූ සටහන්ය. ඒකාධිපති දුර්දාන්ත පාලනයන් හමුවේ මිනිසුන් විඳින පීඩාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද..?

යම් යම් කෘතීන් වල සඳහන් පරිදි සහ අන්තර්ජාලය තුල පළකර ඇති කරුණු හාරා අවුස්සා බැලීමේදී ඉඩී අමීන් විසින් කාන්තාවන් විශාල ප්‍රමාණයක් විවාහ කොටගෙන ඇති අතර දරුවන් 40ක හෝ 60ක ප්‍රමාණයක් ඔහුට දාව සිටි බවට පැවසෙයි. මොවුනගෙන් එක්තරා දරුවෙකු වසර කිහිපයකට පෙර, සිය පියා අතින් සිදුවූ අමානුශික සහ කෲර ක්‍රියා කලාපය වෙනුවෙන් සමාව අයැද සිටීමට ද කටයුතු කර ඇත. සඳහන් වන ආකාරයට අදටත් උගන්ඩාවේ දක්නට ලැබෙන මොන්ගෝ යනුවෙන් හඳුන්වනු ලබන මාලිගය එකල ප්‍රධාන වධකාගාරය වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. වාර්තාගත පරිදි ලක්‍ෂ 03කට වැඩි පිරිසක් ඝාතනය කෙරූ සහ තවත් එවැනිම පිරිසක් අතුරුදන් කිරීමට කටයුතු කරනු ලැබූ ඉඩී අමීන්ගේ මෙම ප්‍රජා පීඩක පාලනයට එරෙහිව ටැන්සානියාවේ සිට විපක්‍ෂය ඇතුළු විවිධ පාර්ශව ප්‍රහාරයන් සැලසුම් කරනු ලබන්නේ මේ අතරවාරයේය.
ඊශ්‍රායලය මේ වන විට ඉඩී අමීන් සමග විරසකය. ඒ අනුව ඊශ්‍රායලයේ සහාය ද විපක්‍ෂ පාර්ශව වෙත හිමිවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 1979 පමණ වන විට ඉඩී අමීන්ට සිදුවන්නේ සිය රට අතහැර පලා යාමටය. මුලින්ම ලිබියාවටත් ඉන් අනතුරුව සෞදි අරාබියටත් දේශපාලන රැකවරණ සඳහා පලා යන ඔහු 2003 දී සිය ආයුෂ නිමා කරනු ලබයි. විශේෂත්වය වන්නේ මෙම කාල සීමාව පුරාවටම මොහු අත්අඩංගුවට පත් නොවී තිබීමය.

මහා සශ්‍රීකත්වයකින් ආඩ්‍යව පැවති ස්වභාවික සම්පත්වලින් අනූන වූ උගන්ඩාව වර්තමානය වන විට ද කඩා වැටීමට ලක්ව ඇති රටක් යැයි කීමෙහි වරදක් නැත. එරට තුළ ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා යැයි වාර්තා වූවද උගන්ඩානු වැසියන්ගේ ජීවන තත්ත්වයන් සැබවින්ම උසස් මට්ටමක පවතිනවා දැයි යන්න ගැටළු සහගතය. එරට දූෂණය සහ අක්‍රමිකතාවය පිළිබඳ අපූරු පුවතක් කලකට ඉහතදී විදෙස් මාධ්‍යයන් තුලින් වාර්තා කර තිබූ අතර එය නම්; 2012 දී ඩොලර් මිලියන 70කට ආසන්න මුදලක් වියදම් කර උගන්ඩානු වැසියන්ට හැඳුනුම්පතක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන අතර ඔබ විශ්වාස කරන අන්දමට ඔවුන් හැඳුනුම්පත් කීයක් නම් සාදන්නට ඇති ද? ඔවුන් නිර්මාණය කරන්නේ හැඳුනුම්පත් 400ක් පමණක්මය..
සංචිත කොතෙකුත් වර්ධනය වූවා යැයි වාර්තා වූවද එම මුදල් පරිපාලනය කරනු ලබන්නේ එක්තරා දූෂිත වළල්ලක් ය. පීඩිත ඒකාධිපති පාලනයේ සෙවණැල්ල වැටී තිබූ උගන්ඩානු වැසියන්ගේ ජීවන මට්ටම සුඛිත මුදිත වන දිනයක් පිළිබඳව ඉගි පළ කිරීම සැබවින්ම අවිනිශ්චිතය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනු ලබන, ඒ වෙනුවෙන් පෙනී සිටින කිසිදු රටක් උගන්ඩාව හුවා දක්වනු ලබන ආර්ථික සමෘද්ධිය පිළිගනු ලබන්නේ නැත.
සුන්දර රාජ්‍යයක් ඒකාධිපති වියරුවෙන් බිඳ වැට්ටවූ මෑත ඉතිහාසයේ තවත් එක් ප්‍රජා පීඩක පාලකයෙකු වශයෙන් ඉඩී අමීන්ගේ නම කළු අකුරින් ලියැවී ගොස් අවසානය..