Skip to content

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ පළමු පියවර ශ්‍රී ලංකාව ජයගනී.

2023 අයිසීසී එක්දින ලෝක කුසලානයට තෝරාගැනීමේ තරගාවලිය

දෙවැනි දිනය

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර එක්දින ජාත්‍යන්තර තරගය

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියට තරග වදින කණ්ඩායම් දහය අතරට පිවිසීම ඉලක්ක කරගනිමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කන්ඩායම,  තරනය කළ යුතු පළමු කඩුල්ල සාර්ථකව පැනීමට අද සිම්බාබ්වේ දේශයේ බුලවායෝ හිදි එක්සත් අරාබි එමීර කණ්ඩායම ලකුණු 175කින් පරාජය කරමින් සමත් විය.

එක්සත් අරාබි එමීරය ලබාගත් තුන්වැනි විශාලම පරාජය ලෙස අද තරගය සටහන් වෙයි.
අයිසීසී හි පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල් සමග ශ්‍රී ලංකාව තරග වැදුනු තිස්වැනි අවස්ථාව අද තරගය වන අතර ඉන් ශ්‍රී ලංකාව පරාජය වී ඇත්තේ එක් වතාවකදි පමණි. ඒ 2003 වසරේදි කෙන්යාව හමුවේ ලද පරාජයයි.

කාසියේ වාසිය දිනූ එමීර කණ්ඩායම් නායක මොහොමඩ් වසීම්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලාංකා ආරම්භක පිතිකරුවන් ප්‍රවේශම් සහගත නමුත් ශක්තිමත් අඩිතාලමක් තම ඉනිමට දමා දීමට සමත් විය. පැතුම් නිශ්ශංකගේ ආරම්භය තරමක් මන්දගාමි වුවද අනෙක් පසින් දිමුත් කරුණාරත්න එමීර පන්දුයවන්නන් විටින් විට යැවූ දුර්වල පන්දු හමුවේ උපරිම ඵල නෙලාගැනීමට සමත් විය. ඉනිම ආරම්භයේදි පිතිකරුවන් දෙදෙනා අතර කඩුළු අතර දිවයාමේදි අනවබෝධයක් පැවැතියද ඉනිම ඉදිරියට යාමේදි එම දුර්වලතාවය මඟ හරවා ගනිමින් ඉනිමේ නවවැනි පන්දු වාරයේදි ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 50 සටහන් කරවීය.

මේ 2015 වස⁣රේ දි ටී.එම්.ඩිල්ෂාන් සහ උපුල් තරංගට පසු ශ්‍රී ලාංකේය ආරම්භ පිතිකරුවන් යුගලක්, එක්දින ජාත්‍යන්තර තරගවලදි පිට පිට තුන්වැනි වතාවට ලකුණු පනහකට වැඩි සබඳතාවක් පැවැත් වූ පළමු අවස්ථාවයි. මෙම තරගයට පෙරාතුව ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති අවසන් එක්දින තරග දෙකේදි නිශ්ශංක සහ දිමුත් එක්ව පිළිවෙලින් ලකුණු 82ක සහ 84ක සබඳතාවක් පළමු කඩුල්ලට එක් කිරීමට සමත් විය.

හතරේ පහර 7ක් සමගින් සිය එක්දින ජාත්‍යන්තැ තරග දිවියේ නවවැනි අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න, එමීර කණ්ඩායමේ දාහත් හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක අයාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ ස්විප් පහරක් එල්ල කිරීමට යෑමේදි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

දිමුත් කරුණාරත්න අද තරගයේදි ලබාගත් අර්ධ ශතක පිට පිට ඉනිම තුනකදි ලබාගත් තුන්වැනි අර්ධ ශතකයයි.

17 වැනි පන්දුවාරයේදි දිමුත් දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 95ක් ලෙසය. දිමුත්ගේ දැවී යාමත් සමග එමීර පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය යම් දුරකට පාලනය කිරීමට සමත් වූ අතර පන්දු වාර තුන හතරක ඇවෑමෙන් අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සහ පැතුම් ක්‍රම ක්‍රමයෙන් ඉනිම ගොඩනැඟීමේ අරමුණින් වේගවත් පහරවලට යනු දක්නට ලැබිණි.

පැතුම් නිශ්ශංක තම එක්දින ක්‍රිකට් දිවියේ අටවැනි අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දඟ පන්දු යවන ක්‍රීඩක බැසිල් හමීඩ් තරගයේ යැවූ පළමු පන්දුවටම දැවී ගියේ ලේට් කට් පහරක් එල්ල කිරීමට ගොස් පන්දුව කඩුල්ලේ වැදීම හේතුවෙනි.

විසිහත්වැනි පන්දුවාරයේදි පැතුම් දැවී යන විට හතරේ පහර 5ක් සමග පන්දු 76කදි ලකුණු 57ක් ලබා සිටියේය.

ලකුණු පුවරුව - කඩුළු 2ක් දැවී ලකුණු 138යි

පැතුම්ගේ දැවී යාමෙන් අනතුරුව අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසි සධීර සමරවික්‍රම මන්දගාමි ආරම්භයක් ලබා ගත්තද ඉන් අනතුරුව රිද්මයට පැමිණ පහරවල් කරා යමින් කුසල් මෙන්ඩිස්ට හොඳ සහායක් ලබා දුන්නේය.

එමීර පන්දු යවන්නන් ⁣වෙත සිය අනසක මුදා හැරි කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය 22වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කලේ පන්දු 46ක් වැය කරමිනි.

මේ 2019 වසරට පසු මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ශ්‍රී ලංකාවෙන් පිටතදි අර්ධ ශතක වාර්තා කළ පළමු අවස්ථාවයි.

මෙන්ඩිස් සහ සධීර සුසංයෝගය ක්‍රියාත්මක කළ වේගවත් පිති හරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි ලකුණු පනහා වාර්තා වන්නේ පන්දු 38කිනි.

අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු පහරදීමේ ගියර මාරු කළ මෙන්ඩිස්, පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයට තෝරාගැනීමේ තරගාවලියේදි ශ්‍රී ලංකාවට එරෙහිව කඩුළු ත්‍රිත්වයක් ලබා ගත් දඟ පන්දු යවන ක්‍රීඩක මෙයියප්පන් යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 36 වැනි පන්දු වාරයේදි ලකුණු 17ක් උදුරා ගැනීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු වේගය තවදුරටත් වැඩි කිරීමට යෑමේදි කුසල් මෙන්ඩිස්, වේගපන්දු යවන ක්‍රීඩක අලි නසීර්ට එල්ල කළ පුල් පහර හතර සීමාව ආසන්නයෙදි උඩ පන්දුවක් ලෙස රැක ගැනීම හේතුවෙන් දැවී යනවිට පන්දු 63කදි ලකුණු 78ක් ලබා සිටියේ හත⁣රේ පහර 10ක් සමගින්ය.

සධීර සහ කුසල් අතර තුන්වැනි කඩුල්ලට පන්දු 79 කදි ලකුණු 105ක සම්බන්ධතාවක් වාර්තා විය.

කුසල්ගේ දැවී යාමෙන් අනතුරුව සධීර සමරවික්‍රමද සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වන්නේ හතරේ පහර 5ක් සමග පන්දු 50ක් වැය කරමිනි.

ශ්‍රි ලංකා එක්දින තරග ඉතිහාසයේ මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක රැස් කළ සිව්වැනි අවස්ථාව මෙයයි.

සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රවේගකාරි පිතිහරඹයකට අවතීර්ණ වූ සධීර පන්දු 64කදි හතරේ පහර 9ක් සමග ලකුණු 73ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දි දැවී ගියේය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර 44.3 කදි කඩුළු 4ක් දැවී ලකුණු 287ක් ලෙස සටහන් විය.

සධීරගේ දැවී යාමෙන් අනතුරුව පිතිකරණ අනුපිළිවෙලේ වෙනසක් කරමින් දසුන් ශානක අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසුනේ ලකුණු පුවරුවේ වාසිය ලබාගනිමින් වැඩි ලකුණු ගණනක් කරා යෑමේ අරමුණින්ය.

කෙසේ නමුත් එම උපක්‍රමය අසාර්ථක වෙමින් වේගපන්දු යවන ක්‍රීඩක අලි නසීර් යැවූ කෙටි පන්දුවකට තර්ඩ් මෑන් කලාපයට උඩපන්දුවක් ලබා දෙමින් දසුන් දැවී යන්නේ පන්දු 3කදි එක් ලකුණක් පමණක් ලබා සිටියදීය.

ලකුණු පුවරුව - පන්දුවාර 45.3 කදි 292/5

එමීර කණ්ඩායමේ 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක අලි නසීර්ගේ පන්දු යැවීම ඉතා උසස් මට්ටමක පැවැති අතර ඔහු සිය පන්දුවාර දහය නිමා කරන්නේ එක් නිලකුණු පන්දුවාරයක්ද යවමින් ලකුණු 44ට කඩුළු 2ක් දවා ගනිමින්ය.

ශ්‍රී ලංකා ඉනිමේ විශාල ලකුණු ප්‍රමාණයකට යෑමේ ඉඩ තවදුරටත් අවහිර කරමින් ධනංජය ද සිල්වා රොහාන් මුස්තාෆාගේ පන්දුවකට රිවර්ස්ස්විප් පහරක් එල්ල කිරීමට යෑමේදි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන්නේ පන්දු 5කදි ලකුණු 5ක් පමණක් ලබා සිටියදීය.

ලකුණු පුවරුව - පන්දු වාර 46.2කදි 297/6

ධනංජයගේ දැවී යාමෙන් අනතුරුව පිටියට එක් වූ රිච්මන්ඩ් සගයන් වන වනිදු හසරංග සහ චරිත් අසලංක එක්ව හත්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදි ලකුණු 58ක නොබිඳුනු සබඳතාවක් එක් කරන්නේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 50 අවසානයේ 355 ක් දක්වා ඉහළ දමමිනි.

ලකුණු 5ක් ලබා සිටියදි චරිත් අසලංක ලබා දුන් උඩපන්දුව රොහාන් මුස්තෆා අතින් ගිලිහී යාම එමීර කණ්ඩායමට සිදු වූ විශාලම අත්වැරැද්ද ලෙස සටහන් කළ හැකිය. ලද අවසරයෙන් උපරිම පළ නෙළා ගත් අසංලක පන්දු 23කදි නොදැවී ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වූ අතර අසලංකට අර්ධ ශතකය ලබා ගැනීමට හැකි වූයේ නම් එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉනිමකදි මුල්පෙළ පිතිකරුවන් පස්දෙනාම අර්ධ ශතක ලබාගත් තුන්වැනි අවස්තාව ලෙස වාර්තා වීමට තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර ඉනිමක ලකුණු 300 ඉක්ම වූ 81 වැනි අවස්ථාව ලෙස මෙය සටහන් වන අතර සිම්බාබ්වේ හිදී ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා විය.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ඉනිමේ සුවිශේෂත්වය ලෙස සිය හැකියාවන් සහ දුර්වලතා හඳුනාගෙන ක්‍රීඩාංගනයට ගැලපෙන පරිදි තරග වැදීම ප්‍රශංසනීය ලක්ෂණයක් ලෙස දැක්විය හැක. බුලවායෝ පිටියේ හතරේ සීමාව සැලකිය යුතු ලෙස දුරින් පිහිටීම හඳුනාගෙන විශාල පහරවල⁣ට නොයා පිටියේ පන්දු රකින්නන්ගේ හිඩැස් අතරට පන්දුව යොමු කිරීම, කෙටි සහ ඉක්මන් ලකුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සාර්ථක ඉනිමක් ගොඩනැංවීමට බලපෑවේය.

පිළිතුරු ඉනිම ඇරඹූ එමීර කණ්ඩායම ශ්‍රී ලංකා වේග පන්දු යුගලය ඉලක්ක කරගනිමින් ප්‍රවේගකාරි පිකිහරඹයක් දියත් කිරීමට යත්න දැරු අතර කසුන් රාජිත පන්දුවාර දෙකකින් අනතුරුව ඉවත් කරගැනීමට නායක දසුන් ශානකට සිදු විය. කෙසේ නමුත් අනෙක් අන්තයෙන් මනා පාලනයක් සහිතව වේගවත් පන්දු සංකලනයක් ක්‍රියාත්මක කල ලහිරු කුමාර, ආරම්භක පිතිකරු රොහාන් මුෂ්තෆා දවා ගැනීමත් සමග ක්‍රමයෙන් එමීර ඉනිමේ ප්‍රහාරය අඩාල විය.

ලකුණු 20ක් ලබා සිටියදී එමීර නායක මොහමඩ් වසීම්, මහීෂ් තීක්ෂනගේ පන්දුවකට ලබා දුන් පහසු උඩ පන්දුව කසුන් රාජිත අතහැරියේ දිනයේ ශ්‍රී ලංකා පන්දු රකින්නනන් දැක් වූ කැපවීමට කළු පැල්ලමක් එක් කරමිනි. කෙසේ නමුත් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමේදි මොහොමඩ් වසීම් එල්ල කළ වේගවත් පහර, විශිෂ්ඨ උඩ පන්දුවක් බවට පත් කරගැනීමට හතරේ සීමාව ආසන්නයේදි චරිත් අසලංක සමත්වීමත් සමග තරගය, ශ්‍රී ලංකාව ජයගන්නේ ලකුණු කීයකින්දැයි සහ කීයටදැයි යන පැනය පමණක් ඉතිරි විය.

වසීම්ගේ දැවී යාමෙන් අනතුරුව එමීර පිතිකරුවන් යලි තරගයට අවතීර්ණ වීමට යම් උත්සාහයන් දරුවද වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිගින් දිගටම එමීර පිතිකරුවන් සිරකරගන්නට සමත් විය.

එමීර ඉනිමේ නවවැනි කඩුල්ල දවාගැනීමත් සමග වනිදු හසරංග සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ පනස්වැනි කඩුල්ල සහ පළමු ඉනිමක කඩුළු 5ක් දවා ගැනීම වාර්තා කිරීමට සමත් විය.

වනිදු, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුළු 50ක් දවාගත් දෙවැනි පාදඟ පන්දු යවන්නාය. වනිදුට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම දක්වා ඇති පාදඟ පන්දු යවන්නා උපුල් චන්දන පමණය.
හසරංගගේ පන්දු යැවීම (ලකුණු 24ට කඩුළු 6ක්) එක්සත් අරාබි එමීරයට එරෙහිව පන්දු යවන්නෙක් එක්දින ජාත්‍යන්තර තරගයක වාර්තා කළ හොඳම දක්ෂතාවයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව : 355/6(50)

කුසල් මෙන්ඩිස් 78(63), සධීර සමරවික්‍රම 73(64), පැතුම් නිශ්ශංක 57(76), දිමුත් කරුණාරත්න 52(54), චරිත් අසලංක 48*(23)

පන්දු යැවීම : අලි නසීර් 2/44(10), බැසිල් හමීඩ් 1/19(3), අයාන් ඛාන් 1/52(10)

එක්සත් අරාබි එමීරය :

මොහොමඩ් වසීම් 39(48), ව්‍රීත්යා අර්වින්ද් 39(55), අලි නසර් 34(32)

පන්දු යැවීම : වනිදු හසරංග 6/24(8), ධනංජය ද සිල්වා 1/25(4), ලහිරු කුමාර 1/26(6)

තරගයේ වීරයා : වනිදු හසරංග

Latest