Skip to content

එක්දින ලෝක කුසලානයට අවසන් කණ්ඩායම් දෙක තෝරාගැනීමේ තරගාවලියේ කාල සටහන නිකුත් වෙයි

2023 අයිසීසී එක්දින ක්‍රිකට් ලෝක ශූරතාවට සහභාගිවන අවසන් කණ්ඩායම් දෙක තෝරාගැනීම සඳහා කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලිය ලබන ජුනි 18 සිට ජුලි 09 දක්වා සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග ඉතිහාසයේ වසර 44කට පසු දෙවැනි වතාවට එක්දින ලෝක කුසලානයට තෝරාගැනීමේ තරගාවලියට සහභාගි වීමේ අවධානමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සිදු වී ඇත.

1979 වසරේදි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට තෝරාගැනීමේ තරගාවලියට මින් පෙර සහභාගි වූ අතර අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ තරගාවලියේ ශූරයන් ලෙස 1979 එක්දින ලෝක කුසලාන තරාගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එම ලෝක කුසලාන තරගාවලිය පවත්වන සමයේ ටෙස්ට් වරම් දිනාගෙන නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායම අතින් 1932 වසරේදි ටෙස්ට් වරම් දිනූ ඉන්දීය කණිඩායම පරාජය කෙරෙන්නේ ලෝක ක්‍රිකට් තරග ඉතිහාසයේ ටෙස්ට් වරම් නොදිනූ රටක් ටෙස්ට් වරම් දිනූ රටක් පරාජය කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් ද තබමිනි.

මෙවර තෝරාගැනීමේ තරගාවලියේ සියලු තරග සිම්බාබ්වේ හි හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ පළමු කඩඉම එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව ජුනි 19වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.00ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්, ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකකට බෙදා මූලික වටයේ තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව අයත් වන්නේ බී කාණ්ඩයටයි.

ඒ කාණ්ඩය

  • සිම්බාබ්වේ
  • බටහිර ඉන්දිය කොදෙව්
  • නෙදර්ලන්තය
  • නේපාලය
  • ඇමෙරිකා එක්සත් ජනපදය

බී කාණ්ඩය

  • ශ්‍රී ලංකාව
  • අයර්ලන්තය
  • ස්කොට්ලන්තය
  • ඕමානය
  • එක්සත් අරාබි එමීරය

තරගාවලියේ මූලික වටයේ තරග සමාරම්භය සනිටුහන් කරමින් ජුනි 18වැනි ඉරිදා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම හරාරේ ක්‍රිකට් සමාජ පිටියේ දි හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගිවන සියළු තරග බුලවායෝ හි ක්වින්ස් ක්‍රීඩා සමාජ පිටියේ දි පැවැත්වීමට නියමිතය. මින් පෙර ක්වින්ස් ක්‍රීඩා සමාජ පිටියේදි ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරග 9කට සහභාගිව ඉන් හයක් ජයග්‍රහණය කිරීමට සමත් වන්නේය. තරග දෙකක් අත්හැර දමනු ලබන අතර පරාජය වන්නේ එක් තරගයක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන

පුහුණු තරග

ජුනි 13 - නෙදර්ලන්තයට එරෙහිව
ජුනි 15 - ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව

මූලික වටයේ තරග

ජුනි 19 - එක්සත් අරාබි එම්රයට එරෙහිව
ජුනි 23 - ඕමානයට එරෙහිව
ජුනි 25 - අයර්ලන්තයට එරෙහිව
ජුනි 27 - ස්කොට්ලන්තයට එරෙහිව

තරඟ සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන නවයට ආරම්භවීමට නියමිත අතර ශ්‍රී ලංකා⁣ව මූලික වටයේ තරග හතර සහ පුහුණු තරග දෙක බුලවායෝ හි ක්වින්ස් ක්‍රීඩා සමාජ පිටියේදි පැවැත්වීමට නියමිතය.

මූලික වටයේ තරගවලින් අනතුරුව ඒ ඒ කාණ්ඩයේ ලීග් ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් තුනට සුපර් සික්ස් වටයට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත. සුපර් සික්ස් වටයේදි, මූලික වටයේ එකිනෙකා අතර තරග නොවැදුණු කණ්ඩායම් අතර තරග පැවැත්වෙන අතර ඒ අනුව සුපර් සික්ස් වටයේදි එක් කණ්ඩායමකට හිමිවන තරග ගණන තුනකි. එසේම සුපර් සික්ස් වටයේ ලීග් ලකුණු සටහනට සුපර් සික්ස් වටයට තේරි පත්වුණු අනෙක් කණ්ඩායම් දෙක සමග තරග ප්‍රථිඵලවල ප්‍රසාද ලකුණුද එක්වනු ඇත.

අයිසීසී ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවලට ප්‍රථම වරට විනිසුරු තීරණය නැවත පිරික්සීමේ ක්‍රමය (DRS) මෙවර තරගාවලියේ සුපර් සික්ස් වටයේ සිට හඳුන්වා දීමට ද නියමිතය.

සුපර් සික්ස් වටයට පිවිසෙන කණ්ඩායම් හය අතරින් ලීග් ලකුණු සටහනේ පළමු තැන රැඳෙන කණ්ඩායම් දෙකට 2023 අයිසීසී එක්දින ලෝක කුසලානයට සහභාගි වීමේ වරම් ලැබෙනු ඇත.

එම කණ්ඩායම් දෙක අතර අවසන් මහා  තරගය පුලි 9 වැනි දා හරාරේ ක්‍රීඩා සමාජ පිටියේ දි පැවැත්වීමට නියමිතය.

2023 අයිසීසී එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 5 වැනි දා සිට නොවැම්බර් 26වැනි දා දක්වා ඉන්දියාවේ දි පැවැත්වීමට නියමිතය.

Latest