Skip to content

හරක් හොරුන්ගේ ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරන්න..

මහින්ද අමරවීර පොලිසියෙන් ඉල්ලයි..

අත් අඩංගුවට ගැනෙන කිරි ගව සොරුන් ගේ ඡායාරූප සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලිමක් කර තිබේ.

මෑතක සිට  කිරිගව සොරකම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්  ඒවා මැඩලීමට  පොලිස් දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී කාලයේ සිදු කරන මුර සංචාර වැඩි කරන ලෙසත්, මහජනතාවට, ගව සොරුන් පිළිබඳව වහාම පොලිසියට දැනුම් දීමේ වැඩ පිළිවෙළක් සකසන ලෙසත් ඇමැතිවරයා පොලිස් බලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇත.

කිරිගව සොරකම් වැළැක්වීම සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත්, අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ සහ පොලිසියේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් සමග පැවැත්වූ සාකච්ඡාවකදි  මෙම ඉලිලිම් සිදු කර තිබේ.

ගව සොරකම් වෙනුවෙන් ලබා දෙන දඩුවම් ලිහිල් කර ඇත්නම් එම දඩුවම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා හා නීතිමය සංශෝධන ඉදීරිපත් කරන්නැයි ද ඇමැතිවරයා මෙම සාකච්ඡාවේදී  දැනුම් දී ඇත.

දිනපතා  එක් දිස්ත්‍රික්කයකින් අඩුම තරමින් කිරි ගව සොරකම් පහක් හෝ හයක් සම්බන්ධව පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබෙන බවත් ඒ අනුව එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් මෙම ගව සොරුන් වැඩි පීරිසක් සුඛෝපභොගි වාහන යොදා ගනිමින් ගවයින් සොරකමේ නිරත වන බවට හෙළිදරව් වී ඇතැයි ද පොලිස් නිලධාරිහු ඇමැතිවරයාට මෙහිදී පෙන්වා දී තිබේ.

මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල ගවගාල්වල CCTV කැමරා පවා සවි කර තිබෙන අතර ඇතැම් ගවගාල්වල ගවයින්ට දම්වැල් හා ඉබි යතුරු පවා දමා ගවයින් ආරක්ෂා කර ගන්නා තරමට කිරි ගව සොරකම ඉහළ ගොස් ඇති බවත්, මෙම සතුන් මස් සඳහා අලෙවි කරන අතරම මේ නිසා අනාගතයේ දී කිරි  නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ ඇති බවත් මෙම සාකච්ඡාවේදී  පශු අංශ අවධාරණය කළේය.

Latest