Skip to content

වානේ පන්නරය ලැබූ හැටි - 1

" මිනිසාට ජීවත් වීමට ලැබෙනුයේ එක් වරක් පමණකි. අරමුණක් නැතිව ජීවත් වීම නිසා කටුක වේදනාවන් ඇති නොවන සේ ද නීච හා නොවැදගත් අතීතයක් නිසා ලැජ්ජාවීමට සිදු නොවන සේ ද ඔහු ජීවත් විය යුතුය. ඔහු මිය යන විට ඔහුට මෙසේ කීමට පුළුවන්කමක් තිබිය යුතුය.

මාගේ මුළුමහත් ජීවිතයත් මුළුමහත් ශක්තියත් ලෝකයේ අතිශයින්ම උදාර හා සුන්දර පරමාර්ථය උදෙසා, එනම් මානව සංහතියට විමුක්තිය ලබා දීමේ සටන උදෙසා කැප කරන ලදී. ජීවත් වීම සඳහා යුහුසුලු විය යුතුය. මන්දයත් හදිසි රෝගාබාධයක් නිසා හෝ ශෝකාන්විත අණතුරක් විසින් ජීවිතය කෙටි කළ හැකි බැවිනි ".

එසේ කීවේ ලෝක සාහිත්‍යයේ මහා ලේඛක නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි ය. මේ ඔහුගේ වානේ පන්නරය ලැබූ හැටිය.

ලෝක සාහිත්‍යයේ රුසියන් සාහිත්‍ය ගත්විට ශ්‍රී ලංකාවේ පාඨක ප්‍රජාව අතර අතිශය ජනප්‍රියය යන්නට කිසිදු සැකයක්  නැති අතර ලියෝ ටෝල්ස්ටෝයි, ඇලෙක්සැන්ඩර් පුෂ්කිං, ඇන්ටන් චෙකෝෆ්, නිකොලොයි ගොගෝල්, මස්කිම් ගෝර්කි, චින්ගීස් අයිත්මාතව්, ඉවාන් බර්නින් සහ නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි වැනි දැවැන්ත සාහිත්‍යදරයන් ඒ අතර ද වඩාත් ජනප්‍රිය වේ.

ඉහත නම් කී මාහා ලේඛයන් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පාඨක සිත් පැහැර ගන්නා ලද්දේ ඔවුන්ගේ සියළුම ග්‍රන්ථ හරහා නම් නොවේ. ඒ සඳහා ඔවුන්ගේ එක් ග්‍රන්ථයක් පමණක් වුව ප්‍රමාණවත් වූ අතර එහිදී මස්කිම් ගෝර්කිගේ අම්මා කෘතිය පමණක් පාඨක සිත් පැහැර ගැනීමට ප්‍රමාණවත් විය. චින්ගීස් අයිත්මාත්ව්ගේ ගුරු ගීතය පමණක් ප්‍රමාණවත් විය. රත්නශ්‍රී විජේසිංහයන්ගේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන ගීතය සඳහා පාදක වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කිංගෙ තානායම්කරුවා කෙටිකතාව පමණක් ප්‍රමාණවත් විය. මේ ආදී ලෙස නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ " වානේ පන්නරය ලැබූ හැටි ( How the steel was tempered ) නම් කෘතිය පමණක් ප්‍රමාණවත් විය.

සමාන්‍යයෙන් රුසියානු සාහිත්‍ය කෘති සම්බන්ධයෙන් පවතින එක් මතවාදයක් වන්නේ එම සාහිත්‍ය කෘතිවල අඩංගුව ඇත්තේ රුසියානු දේශපාලන මතවාදය බවත් ඔවුන් අනෙකුත් රටවල් කරා තම මතවාදය ව්‍යාප්ත කිරීමට සාහිත්‍යය දේශපාලන ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස භාවිත කළ බවත් ය. කෙසේ නමුත් දේශපාලනය මඟින් සිදු කරණුයේ භාහිරය සමග ගණදෙනු කිරීම වන අතර කලාව සාහිත්‍ය මගින් සිදු කරණුයේ තම අභ්‍යන්තරය සමග ගණදෙනු කිරීමය. එම නිසා කලාව සහ දේශපාලනය එකිනෙකින් වෙන් කිරීම ඉතාම අපහසු වන අතර

වරෙක සෝමරත්න බාලසූරිය මහතා කියා සිටියේ  "දේශපාලනයෙන් ව්‍යුක්ත මිනිස් ජීවිතයක් කොතනකවත් ඇත්තේ නැත. එබැවින් දේශපාලනයෙන් මිඳුණු සාහිත්‍යයක් පිළිබඳව ද කිසිවක් කතා බහ කළ නොහැකිය. සාහිත්‍ය නිර්මාණයේදී පවා දේශපාලනික පසුබිම ඊට නිරායාසයෙන්ම ඇතුළු වේ " යනුවෙනි.

වානේ පන්නරය ලැබූ හැටි පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් ඉහත කරුණු දැක්වූයේ ඇයි ?

සැබවින්ම එයට හේතුව නම් විශේෂයෙන් රුසියන් සාහිත්‍ය තුළ රුසියාවේ දේශපාලන මතවාද අඩංගුකොට ඇත යැයි යන මතය අනුව ධනවාදී මතවාදයන් දරන ප්‍රගතිශීලී පාඨක පිරිස් එම සාහිත්‍ය ප්‍රතික්ෂේප කරන බව මාගේ පුද්ගලික අත්දැකීම වන වාමාංශික අදහස් දරන පාඨක පිරිස්නම් රුසියන් සාහිත්‍යයට බොහෝ සෙයින් ප්‍රිය කරන බව ද මාගේ අත්දැකීමයි. කෙසේ නමුත් ඕනෑම කලාවක කුමන හෝ මතවාදී දේශපාලනය යම් පමණකොට හෝ අඩංගුවන බව ද පිළිගත යුතු සත්‍යයකි.

ඉදිං ඔබගේ හෝ මාගේ පුද්ගලික දේශපාලන මතය කෙසේ වූවත් මේ මහා සාහිත්‍ය ග්‍රන්ථවල ජීවිතයට වැගත්වන වන දහසකුත් දේ ඇති බැවින් කුමන හෝ එක් හේතුවක් මත සැබවින්ම ඒවා බැහැර කිරීම අපරාදයක් යැයි සිතේ. සමහරවිට ඔබ ධනවාදී දේශපාලන මතය අගයකරන්නෙකු විය හැකිය. එසේ හෙයින් ඔබ වානේ පන්නරය ලැබූ හැටි ප්‍රතික්ෂේප කිරීමට ගියහොත් මාගේ උත්සහය අපතේ යෑමක් ලෙස සිතූ බැවින් ඉහත කරුණු ද පූර්විකාවට එක් කිරීම යෝග්‍යයැයි සිතුණි.

වානේ පන්නරය ලැබූ හැටි පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ දී තවත් කරුණු කිහිපයක්නම් සාකච්ඡා කිරීමට සිදු වේ. මන් ද " ලේඛකයා කියවා නොගෙන පොත කියවීමට නොහැකිය " යනුවෙන් කියමනක් පවතින බැවිනි. එබැවින් නිකොලොයි අලෙක්සේයෙවිච් ඔස්ත්‍රොව්ස්කි පිළිබඳව කෙටියෙන් හෝ සාකච්ඡා කිරීමට අපට සිදු වේ. එසේ වූවත් එය වැඩියක් ද නොවේ.

වෙබ් අඩවිය තුළ අප සාකච්ඡා කළ බෲස්ලී, ප්‍රේමකීර්ති ඉන් බැරට ගොස් අප දන්නා මහගම සේකර වැනි දැවැන්ත චරිත සේම  ඔස්ත්‍රොව්ස්කි ද ජීවත් වන්නේ ඉතාම කෙටි කාලයකි. එනම් අවුරුදු 32 ක් තරම් ඉතාම කෙටි කාලයකි. වර්ෂ 1904 දී උපත ලබා වර්ෂ 1936 දී මිය යන මේ මහා ලේඛකයා රුසියානු සාහිත්‍යයේ මහා දැවැන්ත චරිතයක් ලෙස අප හඳුනාගත්ත ද සැබවින්ම ඔහු උපත ලබන්නේ එවකට සෝවියට් දේශයට අයත්ව තිබූ යුක්‍රේනය තුළය.

වසර 32 ක් තරම් ඉතා කුඩා කාලයක්  ජීවත් වූව ද ඔහු සැලකෙන්නේ සෝවියට් රුසියාවේ වීරෝධාර චරිතයක් ලෙසය. ඒ සෝවියට් දේශය ගොඩ නැගීමේදී ඔස්ත්‍රොව්ස්කි ප්‍රතිවිප්ලවවාදී කණ්ඩායම්වලට සහ පෝලන්ත හමුදාවලට එරෙහිව සටන් කල නිසාවෙන් වන අතර යුද්ධයෙන් ලද අමානුෂික අත්දැකීම් නිසාවෙන්ම ඔහුට ස්නායු රෝගයකට සහ අංශභාගයට ගොදුරු වී ජීවිතයේ අවසාන කාලයේ වසර දොළහක් රෝගියකු ලෙස ඇඳකට සීමා වීමට සහ අන්ධයකු ලෙස ජීවත් වීමට  ද සිදු වී ඇත.

අන්දයකු ලෙස රෝගී ඇඳක කාලය ගත කලත් මේ විශිෂ්ඨ ලේඛකයා සාහිත්‍යකරණයේ නියැලීමට අමතක නොකරන අතර සිය සහයකයාගේ ආධාර උපකාර ලබමින් මිය යන තුරු ග්‍රන්ථකරණයේ නියැලුණු බව මූලාශ්‍ර කියයි. කෙසේ නමුත් සෝවියට් දේශයේ පරම්පරා ගණනකම  අත්පොත ලෙස සැලකෙන  How the steel was tempered නැතිනම් වානේ පන්නරය ලැබූ හැටි ඔස්ත්‍රොව්ස්කිගේ දෑතින් පලවන්නේ 1935 වර්සයේදී ය. එමෙන්ම ඔහුගේ මෙම නිර්මාණාත්මක ජයග්‍රහණය සඳහා ලෙනින් සම්මානය ද පිරිනමා ඇත.

වරක් ඔස්ත්‍රොව්ස්කි ගේ මේ ශ්‍රේෂ්ඨ නවකතාව කිය වූ ප්‍රංශ මහා ගත්කරු වන රොමේන් රොලාන් කියා සිටියේ ඔස්ත්‍රොව්ස්කි ක්‍රියාශීලීත්වයේ දීප්තිමත් තරුව වන බවය. එමෙන්ම How the steel was tempered නවකතාව රුසියන් සමාජය තුළ සළකුණු වී ඇත්තේ ඒ ඔවුන්ගේ අත්පොත  ලෙසින් ද වන අතර මෙය විදේශීය භාෂා 150 කට පමණ පරිවර්තනය වූ සහ කෝටි ගණනින් පිටපත් මුද්‍රණය වූ ග්‍රන්ථයක් ද වේ. ඉදිං ග්‍රන්ථයේ අගය වටහා ගැනීමට තව දුරටත් අටුවා ටීකා ටිප්පනී අවශ්‍ය නොවන බව ද සිතේ.

" විප්ලවවාදී යුගයේ ශ්‍රේෂ්ඨතම කලාත්මක නිර්මාණය එය විසින් බිහිකරන ලද මිනිසුන් ය. නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි ඔවුන්ගෙන් කෙනෙකි ". ( සෙම්යොන් ත්‍රෙගුබ් )

එකල ලොව පුරා සමාජවාදී තරණයින් කැළඹූ, කොමියුනිස්ට් ලෝකයට මහත් බලපෑමක් කල නවකතාව සේ සලකන, දැවැන්ත චිත්‍රපට නිර්මාණය වීම සඳහා මූලාශ්‍රයක් වූ ඔස්ත්‍රොව්ස්කි ගේ How the steel was tempered නවකතාව සිංහලයට පරිවර්තනය වූයේ වානේ පන්නරය ලැබූ හැටි යන නමිනි. එමෙන්ම එය සිංහලයට පරිවර්නය වීමේදී ද කොටස් දෙකක් ලෙසින් පරිවර්තනය වූ අතර විශේෂයෙන් එම නිසා අපට මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සිදුවන්නේ ද ලිපි දෙකක් ඔස්සේය. සමහරවිට ලිපි තුනක් හෝ හතරක් ද විය හැකිය. මන්ද ඒ තරම් කරුණු මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඇත.

රුසියන් මහා විප්ලවය පාදකකොටගනිමින් රචනා වූ මෙම ග්‍රන්ථය සාර් යුගයේ ජීවත් වූ තරුණයකුගේ අත්දැකීම් යථාර්තවාදීව ගෙනහැර දක්වන දැවැන්ත නිර්මාණයක් වන අතර නවකතාවේ ප්‍රධාන චරිතය වන පාව්කා කොර්චාගින් ලෙස සැබවින්ම මෙහි පෙනී සිටින්නේ මෙහි කතුවරයා වන නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි ය.

audio-thumbnail
0:00
/0:30

එමෙන්ම ඔබ කාලයක් තිස්සේ රස විඳින ලද ඉතා රසවත් ගීතයක මුල් කොටස ද මා ඉහතින් එක් කර ඇති අතර එහි කියැවෙන පවුලූෂා වන්නේ ද කෘතියේ ප්‍රධාන චරිතය වන පාව්කා කෝර්චාගින් ය. ගීතය කියන්නේ පාව්කාගේ පෙම්වතිය වන තෝන්යා විසිනි.

ඉදිං නමස්කාරයටම බොහෝ සෙයින් තෙල් පහන් පුච්චා දැමීමට මා හට සිදුවූවා යැයි සිතමි. නමුත් විශිෂ්ඨ නවකතාවක් පිළිබඳව සාකච්ඡා කිරීමට යෑමේදී ඒ සඳහා පූර්ව සම්පූර්ණ තොරතුරු ඇතුළත් පසුබිමක් සකසාගත යුතු බැවින් සහ එසේ නොකිරීම එම දැවැන්ත කෘතියට සිදුකරන අගෞරවයක් ද විය හැකි බැවින් නමස්කාරයටම තෙල් පහන් පුච්චා දැමීම සාධාරණීකරණය කල හැකි යැයි ද සිතේ. කෙසේ නමුත් මේ සූදානම් වන්නේ වානේ පන්නරය ලැබූ හැටි කෘතියේ පිටු එකින් එක පෙරලා බැලීමට ය.

වර්ෂ 1914 සිට 1918 දක්වා පැවති පළවන ලෝක මහා සංග්‍රාමය සහ සිවිල් යුද්ධයෙන් ඉක්බිතිව සෝවියට් සංගමයේ ආර්ථිකය යළි ගොඩනැගීම පසුතලය කරගනිමින්  නවකතාව පුරාවටම දිගහැරෙන තරුණ වීරයා වනුයේ පෙර තැනක කී පරිදි පාව්කා කෝචාර්ගින් වන අතර වානේ පන්නරය ලැබීමට නම්  එය ගිණ්නේ රත්කොට තැලිය යුතුය. වහාම ඉන් පසුව දැඩි සීතලට හසුකළ යුතුය.

එසේ නම් නවකතාව පුරාවටම දිගහැරෙන්නේ පාව්කා කෝචාර්ගින් තැලුණු ආකාරයත් සහ එමගින් ඔහු පන්නරය ලැබූ ආකාරයත් වන අතර නමුත් සැබවින්ම මේ දිග හැරෙන්නේ නිකොලොයි ඔස්ත්‍රොව්ස්කිගේ කතාවය. නවකතාව පුරාවටම එහි පිටු වලින් අසාමාන ලෙස පණ ලබන්නේ නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි මය කීම වරදක් නොවේ. කෙසේ නමුත් නව කතාව තුළ ප්‍රධාන තරුණ චරිතය වශයෙන් නම් දරන්නේ පාව්කා කෝචාර්ගින් ය.
පාව්කාගේ චරිතය උපරිම ලෙස නවකතාව තුළ පැහැදිලිය. එය අතිශයින්ම යතාර්ථවාදී වන අතර ඉමහත් ශක්තියකින් යුතුව සැබෑ ජීවිතයෙන් කොටසක් මනහර ලෙස සහ චමත්කාරජනක හැඟීමකින් පාව්කා නිරූපණය කොට දක්වයි.

" නුඹ ගල් රූපයක් වගේ හිටගෙන ඉන්නේ මොකද? ගුප්තමය කෝපයකින් යුතුව තම කළු පැහැති දෙනෙතින් පූජකයා දෙස බැලූ කොල්ලා බොල් හඬකින් පිළිතුරු දුන්නේය. මගේ කලිසමේ සාක්කු නැහැ. ඔහු මැහුම් දිගේ අත යැවීය ".

නව කතාවේ එන ප්‍රධාන චරිතය වන කෝචාර්ගින් නවකතාව තුළට සම්ප්‍රාත්ත වන්නේ මේ අවස්ථාවේදී වන අතර ඒ පාසලේ ගුරුවරයා වන පූජකයා දුම් කුඩු පිළිබඳව කොල්ලන් සතර දෙනෙකුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදීය. අවසාන කොල්ලා වන්නේ  පාව්කා කෝචාර්ගින් ය.

පසුව කෝචාර්ගින්ගේ පාසල් ළමා අවදියත් ඔහුගේ පවුල් පරිසරයත් අමුකොටම දිගහැරෙන අතර විටෙක මෙම නව කතාව ඉතා සුපරීක්ෂාකාරීව පරිශීලය කරන්නෙකු හට හැඟී යන දෙයක් වන්නේ වානේ පන්නරය ලැබූ හැටි රචනා වී මේ වන විට සතවර්ෂයකට ආසන්න කාලයක් ගත වී ඇත. සමහරවිට රුසියාවේ එකී තත්වය දැං වෙනස් වී තිබෙන්නට පුළුවන. නමුත් අප රටේ පාසල් දරුවකුගේ තත්වය තාමත් එකල කෝචාර්ගින්ගේ තත්වයම නේදෝ..... යනුවෙන් සිතෙන්නට පුළුවන.

බැලමෙහෙවරකම් කරන්නාවූ කුස්සි අම්මා කෙනෙකුගේ පුත්‍රයා වූ කෝචාර්ගින් දඟය. වරදක් සිදු කළ විට ඔහුට සිදුවන්නේ කන රතු කොටගෙන පාසල් පංති කාමරයෙන් එළියට යෑමටය. " පව්කාට හුස්ම ගැනීමට පවා ඉඩක් නොතබා ඔහුගේ දෙකන් වැරෙන් අල්වා ගත් පූජකයා හිස බිත්තියට ගසන්නට වී පහර කනු ලැබූ හා බියගන්වනු ලැබූ පාව්කා විනාඩියකින් පාසල් මිදුලට විසිකරණු ලැබීය ".

එසේ දිගහැරෙණුයේ පන්නරය ලැබීමට වානේ කුඩා කල සිටම තැලෙන ආකාරයයි. කෝචාර්ගින් ඉන් පසුව තැලෙන්නට පිවිසින්නේ  දුම්රිය පොළෙහි පිහිටි අවන්හලට වන අතර එවිට ඔහුගේ වයස අවුරුදු දොළහකි. " ප්‍රෝසින්කා  , ග්‍රීෂ්කා වෙනුවට මෙන්න වෙනින් කොල්ලෙක්. කළ යුතු වැඩ ගැන ඔහුට කියාදීපන්".  සමහර විටෙක නවකතාව පරිශීලනය කරන්නෙකු හට මෙසේ සිතෙන්නට පුළුවන. පාසලේදී කෝචාර්ගින් හට ආදරය , කරුණාව ලැබුණේ නම් සහ අග හිඟකම් ජීවිතයට හරස් නොවුණේ නම් ඔහුගේ දෛවය වෙනස් ආකාරයකට ලියවෙන්නට ඉඩ තිබුණි.

How the steel was tempered  නම් මේ විශිෂ්ඨ කෘතිය වානේ පන්නරය ලැබූ හැටි වශයෙන් අපට සිංහලයට පරිවර්තනයකොට දෙන්නේ දැදිගම වී රුද්‍රිගෝ මහතා විසින් වන අතර විශේෂයෙන් එතුමන්ගේ පරිවර්තන විශිෂ්ඨත්වය පිළිබඳව ද වචනයක් සඳහන් කළ යුතුය. රුසියන් කෙටි කතාවක් වූවත් එය ශ්‍රී ලංකාවේ අපට දැනෙන ආකාරයෙන් පරිවර්තනය කිරීමට නැතිනම් ලෝකලයිස් කිරීමට එතුමන් වඩාත් සූක්ෂම වී ඇති අතර සැබවින්ම මෙය දශක ගණනක් තිස්සේ ශ්‍රී ලංකාවේ පාඨක ප්‍රජාව අතර ජනප්‍රියව ඇත්තේ එම පරිවර්තන විශිෂ්ඨත්වය නිසාමය. එය ඔප්පු කිරීම සඳහා පහත උද්දෘත වුව ප්‍රමාණවත් ය.

" හා, හා, හා! ... මෙන්න ප්‍රොසින්කාට බෑණා කෙනෙක් ඇති වෙලා. පිඟන් සෝදමින් උන් ගැහැණු හඬලමින් සිනාසුණහ ".

" ඌ නම් අපූරු කොල්ලා, පිස්සෙක් වගේ දුව, දුව වැඩ කරනවා. අතමිට හිඟ නිසා වෙන්ට ඕන කොල්ලාව මෙහාට වැඩට එව්වේ ".

එපමණක් නොව පරිවර්තකයා විටෙක තම පරිවර්තන කාර්යය සඳහා කාව්‍යාත්මක භාෂාවක් භාවිත කර ඇති බව ද " කොල්ලාගේ මුහුණ මහතය, ඇස් අවිනීතය " වැනි යෙදුම් තුළින් විද්‍යාමාන වේ. මේ නිසා පරිවර්තනය යනු අමුකොටම පිටපත් කිරීම නොව තම ප්‍රතිභාවෙන් එය ඔප් නංවා ඉදිරිපත් කිරීම යන බව දැදිගම රුද්‍රිගෝ මහතා ඉතා හොඳින්  දැන සිට ඇති බවනම් කිව යුතුමය.

සැබවින්ම කෝචාර්ගින් නියෝජනය කරණුයේ සමහරවිට ඔබ හෝ මම හෝ අයත් වන්නාවූ සහ බිලියන අටක් තරම් ජනගහනයෙන් අති බහුතරයක් අයත් වන්නාවූ නිර්ධන පංති සමාජයම විනා අනෙකක් නොවේ. පහත් තැනින්ම ජලය බැස යන බව නැවත නැවතත් පසක් කරමින් පාසලේදී පමණක් නොව අවන්හලේ රාජකාරි තුළද මේ වානේ දන්ඩට සිදු වන්නේ තව තවත් තැලීමට ලක්වීමටය. " අද නුඹට සමාව දෙනවා. හෙට මේ විදිහට තිබුණොත් හොම්බ පොඩි කරනවා ". ඒ කෝචාර්ගින් හට අවන්හලේදී ලැබෙන තිළිණයන් ය.

කුමක් කරම් ද, අප බලාපොරොත්තු වන දේ එලෙසම සිදු නොවෙන විට උදාවෙන තත්පරය තුළ ජීවත් විය යුතුය යන උදාර පණිවිඩය ද කෝචාර්ගින් අප වෙත ගෙන එන අතර getpeakonline අප නොයෙක් නොයෙක් අවස්ථාවලදී දර්ශනවාදය තුළින් ඔබගේ ජීවිතය පහසු කිරීමට යමක් ගෙන ආ ලිපි තුළට වානේ පන්නරය ලැබූ හැටි ද ඇතුළත් කිරීම වරදක් නොවේ යැයි විටෙක සිතේ. "  මාව ඉස්කෝලෙන් එලෙව්වාට තත්වය එතරම් නරක අතට හැරුණේ නැහැ. කොහොමහරි ඒ දුෂ්ඨ පූජකයා මගෙන් පළි ගනීවී. දැන් ඉතිං ඔහුට හෙන වැදුණත් මට කමක් නෑ " එලෙස කියන්නේ කෝචාර්ගින් ය.

නවකතාව තුළ පාසල් අවධියේ සිට කෝචාර්ගින්ගේ ජීවන කඩඉම් දිගහැරෙන අතර ඔහුගේ ඉගෙනීමට පාසල තුළ අවස්ථාවක් නොවූව ද අවන්හල යනු ඔහුට ජීවිතය පිළිබඳව  ඉගෙනීමට ඉතා හොඳ සරසවියක් වන බව ද නවකතාව තුළින් නිරූපිතය. එහිදී ඔහුට මුහුණ ගැසෙනුයේ විවිධාකාරයේ මිනිසුන් ය. ඒ ආකාරයේම වූ අත්දැකීම් ය. තරුණයකු වීත් විප්ලවවාදී අදහසක් මතු නොවන්නේ නම් එය ජීව විද්‍යාත්මක ගැටළුවක් වන බවට කුප්‍රකට කියමනක් ඔබ අසා ඇතැයි සිතන අතර එහිදී කෝචාර්ගින් හටනම් කුඩා කල සිටම එම විප්ලවවාදී අදහස් මතුවන බව ද ප්‍රකාශිතය.

" අපි මෙතන වැඩ කරනවා නෙවෙයි කඹුරනව. අපට ලැබෙන ස්‍තූතිය තමා දත් කැඩෙන කම්මුල් පාර "

අසාධාරණ සමාජ ක්‍රමයක් පිළිබඳව පොදුවේ නැගෙන කෝපාවිෂ්ඨ හැඟීම මෙන්ම එම සාමාජ ක්‍රමයම හේතුවෙන් නැගෙන සංවේදී හැඟීම් ද පාඨකයා වෙත පිරි නැමීමට නවකතාව සමත්වන අතර එය ඉතා සාර්ථක කෘතියක් වන්නේ මේ නිසාය. එනම් එමගින් පිරි නැමෙන්නේ විවිධ වූ රසභාවයන් ය. විශේෂත්වය වන්නේ එක ළඟ එක එක් රසයකින් අනෙක් රසය නියාමනයකොට රසභාවයන් මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමය. " මේ හැමදෙයක්ම වෙන්නේ බඩගින්න නිසා " යන කෝචාර්ගින්ගේ වදන කොයි කවරකුගේ වූව ද හදවත සසල කිරිමට තරම් ශක්තියකින් යුත් වදනක් යැයි කීම යුක්ති යුක්තය.

" දේශපාලනය කියන්නේ මොනවාට ද? පව්කා දෙවුර සෙලවීය. මොන යකාද ඒ ගැන දන්නේ ! මිනිසුන් කියන හැටියටනම් සාර්ට විරුද්ධවන මිනිහ තමයි දේශපාලනකාරයා" මුලින් කී පරිදි වානේ පන්නරය ලැබූ හැටි ලියැවීමට සාර් යුගය විශේෂයෙන් බලපාන ලද කාරණය වී ඇති අතර නවකතාව තුළ සාර් යන නාමය ප්‍රථම වරට කියැවෙන්නේ මේ අවස්ථාවේදීය.

කෙසේ නමුත් අවන්හලේ වැඩකටයුතු තුළ තව තවත් තැලෙමින් කෝචාර්ගින් පන්නරය ලබන අතර තුරදී එවකට විප්ලවය මඟින් රුසියාවේ සාර් රජු බලයෙන් පහවන අතර ඒ පිළිබඳව ග්‍රන්ථයේ දැක්වෙන එක් යෙදුමක්නම් මේ මොහොතේ ගෙනහැර දැක්විය යුතුම වන අතර මන්ද එය ශ්‍රී ලංකාවේ පශ්චාත් අරගල කාල සීමාවට ද යම් පමණකින් සමපාත කරගත හැකි බැවිණි. " අසර සේනාවේ භටයෝ, උසැති ශක්තිමත් අය වූහ. ඔවුන් බඩ කට පුරා කා බී සැපෙන්   සිටින බව පෙණිනි........................ සාර් රජු සිහසුන් දැරූ කලෙක මෙනි. කිසිම විප්ලවයක් නොසිදුවූ කලක මෙනි ".

කෙසේ වෙතත් මින් පසුව නවකතාව තුළ දිග හැරෙන්නේ කෝචාර්ගින් විදුලි බලස්ථානයේ සේවය කරන අතරතුරදී ඔහුගේ සහෝදරයාගේ සහ රුසියානු ආරක්ශක භටයන්ගේ ක්‍රියාකලාපය සහ විශේෂයෙන් ජර්මන් හමුදාව රුසියාව තුළ දියත් කරන ලද භීෂණයයි. නමුත්  කෝචාර්ගින් කුඩා කොළු ගැටයකු වූව ද මෙම සන්දර්භය තුළ සිය සහෝදරයාගේ ඉල්ලීම්සහගත අවවාද අනුශාසනා මැද වූව ද ඔහුගේ ක්‍රියාකලාපයන්නම් වෙනස් වන්නේ නැත. ජර්මන් ආයුධ සොරකම් කිරීම දක්වා එම ක්‍රියාකලාපය වඩාත් ප්‍රසාරණය කර ගැනීමට තරම් කෝචාර්ගින් දඩබ්බර කොළු ගැටයකු වී ඇත.

කෙසේ නමුත් මේ සන්දර්භය තුළ සිදුවන විශේෂ සිදුවීමක් නම් පාව්කා හට තෝන්‍ යා මුණ ගැසීමය. ඉන් පසුව පාව්කා සිය සහෝදරයාගේ කටයුතු සමග සහ අසල්වැසි පවුල් සමග ජර්මන් හමුදා භීෂණය හේතුවෙන් ගැටෙන ආකාරය දිගහැරෙන අතර නවකතාව ඉදිරියට කියවාගෙන යන ඕනෑම අයෙකු හට එහි එක් වචන පේළියක්නම් මතකයේ රැඳෙනු නිසැකය. එය නම්

" ආර්ට්‍ යොම්, නුඹටයි මටයි ගෙවල් වතුපිටි නැහැ. දෑතෙ හයිය විතරයි. සතවරුස ගණනාවක් තිස්සේ නිර්ධන පාංතිකයෝ ".

" ඔබේ නම මොකක්ද ? පාවෙල් කෝචාර්ගින් . මගේ නම තෝන් යා. ඔන්න ඉතිං අපි හඳුනගත්තා ". කෝචාර්ගින්ගේ සහෝදරයා වන ආට්‍ යොම් ජර්මන් හමුදා භටයකු ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියක් හේතුකොටගෙන නගරයෙන් ඈත්ව වාසය කරන කාලය තුළදී සහ ජර්මානු හමුදාව නගරය තුළ භීෂණය නිකුත් කරමින් සිටින අවස්ථාවේදී කෝචාර්ගින් සහ තෝන් යා ටිකෙන් ටික සමීප වන්නේ මේ අයුරිනි. එපමණක් නොව පව්කා යන නම් වෙනස්කොට පාවෙල් යන නම ද කෝචාර්ගින් හට ලබා දෙන්නේ තෝන් යා විසිනි.

කෙසේ නමුත් නවකතාව කියවාගෙන යන යමෙකු හට සැබවින්ම මේ රුසියාවේ කතාවක් ද ? නැතිනම් ශ්‍රී ලංකාවේ කතාවක් ද ? යන දෙගිඩියාවක් ද සිත තුළ නැගෙන්නට පුළුවන. මන්ද කෝචාර්ගින්ගේ චරිතය ගොඩ නැංවීම සඳහා භාවිත කරන්නාවූ සිද්ධි සියල්ලම පාහේ ශ්‍රී ලංකාවේ අපට ද වඩාත් හුරුපුරුදු වන බැවිනි. සමහරවිට එය පරිවර්තකයාගේ දක්ෂකම වන බව ද සිතිය හැකිය. එනම් ඔහු රුසියාව එතරම්ම අපට සමීපකොට දක්වා ඇත. කෝචාර්ගින් තැලී පොඩි වන්නේ රැකියා පරිසරය තුළ පමණක් නොවේ. ඔහුගේ තැලීමට වෙනත් වෙනත් සාධක ද හේතු වන බව පහත උද්දෘතය තුළින් පැහැදිලි කරගත හැකිය.

" ලෙෂීන්ස්කිලා උන්ගේ ගෙදරට මාව වද්දගන්නේ නැහැ. අප වගේ අය සමග ඔවුන් කතා කරන්නේ කුස්සියට වෙලා. මම උන්ගේ ගෙදරට ගියා එක වැඩකට නෙලී මාව කාමරයටවත් වද්දගත්තේ නැහැ ".

නමුත් තෝන් යා සහ ඇයගේ පවුලේ සාමජිකයන්ගෙන් කෝචාර්ගින්ට ලැබෙන්නේ නොසිතූ ගෞරවකි. මා මීට පෙර තැනක නවකතාව තුළ විවිධ රසභාවයන් පිරිනැමීමට කටයුතු කරන බවත් සහ එක් රසයකින් අනෙක් රසය නියාමනය වන බව පැවසුවේ මේ නිසා වන අතර එනම් පාරම්පරික කුල ගෞරවය හිසින් ගත් පිරිසගෙන් කෝචාර්ගින් හට අවම මිනිස් ගෞරවය හෝ නොලැබුණා යැයි පවසන විට මෙය කියවන පාඨකයකු හට කිසියම් කේන්තියන් නැගෙන්නට පුළුවන. නමුත් ඒත් සමගම තෝන් යා ඔහුට ඉතා හොඳින් ගරු කළ බව කියන විට නැගුණ  කේන්තිය යටපත් වී මධ්‍යස්ථ තැනකට පත්වීම සිදුවනු ඇත.

අමාරුම තැනකදීත් අල්ලාගෙන ජීවිතයේ අමාරුවෙන් හෝ නැගිටින ධෛර්යය වන්තයකුගේ ධෛර්යය නවකතාව තුළින් පාඨකයා වෙත පිරිනමා තිබීම කෙතරම් අගනේ ද? සැබවින්ම මෙය ධනාත්මක චින්තනයක් ඇතිකර ගැනීමට සුදුසු ග්‍රන්ථයක් වන්නේ මේ නිසාමය. එමෙන්ම ග්‍රන්ථයට සර්වකාලීන අගයක් එක් කිරීමට ද මෙම ලක්ෂණ උපස්ථම්භක වී ඇති බවනම් කිව යුතුමය. ඔබ ආර්ථික ගැටළු මත දුර්වල වී ඇතිද ? ඔබට ශක්තිජනක පානයක් අවශ්‍යය ද, තල්ලුවක් අවශ්‍යය ද ? එසේ නම් ඒ සඳහා සුදුසුම වන්නේ වානේ පන්නරය ලැබූ හැටිය.

" නැහැ, අම්මේ මම වෙනත් අමතර වැඩක් හොයාගන්නම්, ලී ඉරන මඩුවෙ ලෑලි ගොඩ ගැසීමට මිනිසුන් ඕන. එතැන මම දවස් භාගයක් වැඩ කරන්නම්. එතකොට අප දෙදෙනාට එය සෑහෙනවා. අම්මා වැඩට යන්ට එපා ". සිය සහෝදරයාත් නොමැති අවස්ථාවක පාවෙල් කෝචාර්ගින් පවුලේ බර සිය දෙවුර මතට ගන්නේ ඒ අයුරිනි. ඒ අනුව ඔහුට ලී මඩුව තුළද තැලීමට ලක්වීමට සිදුවන බව ඔබට පැහැදිලි වනු ඇතැයි සිතමි.

කෙසේ නමුත් මේ වන විට ලිපිය තරමක් දීර්ඝ වී ඇත. එබැවින් ඔබ තව දුරටත් තැලීමට මා අදහස් නොකරමි. ඉදිං මෙහි දෙවැනි ලිපියෙන් හමුවන තුරු නවතිමි.

සැබවින්ම වානේ පන්නරය ලැබූ හැටි නම් මේ ලෝක ප්‍රසිද්ධ කෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමට ගත් ලිපි මාලාව තුළ සිදු කරණුයේ ඒ පිළිබඳව විචාරය කිරීමක් නම් නොවේ. විචාරයක් කරන්නේ නම් නවකතාවක තිබිය යුතු ලක්ෂණ ආශ්‍රයෙන් ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුමය. අප මෙහිදී උත්සාහ කරණුයේ වෙනත් යමකටය. එනම් වානේ පන්නරය ලැබූ හැටි යමෙකුට ඉතිහාස ග්‍රන්ථයක් ලෙස ද පරිශීලනය කළ හැකිය.

තවත් යමෙකුට අමාරුම තැනේදීත් අල්ලාගෙන සිට ඉදිරියට යන්නේ කෙසේදැයි යන්න දැන ගැනීමට භාවිතා කළ හැකිය. අවශ්‍යනම් මෙය ධනාත්මක චින්තනයක් ගොඩනගා ගැනීමට භාවිත කළ හැකිය. ඉදිං අප උත්සාහ දරණුයේ මේ ආකාර කිහිපයටම සාධාරණ වන්නා වූ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට සහ වානේ පන්නරය ලැබු හැටි සොයා කියවීමට උත්තේජනයක් ඇති කිරීමට ය.

" වානේ පන්නරය ලැබූ හැටි 2 " ලිපියෙන් නැවත හමුවෙමු.

Latest