Skip to content

එළඹෙන ඉන්දීය මැතිවරණයේදී මෝදි සාධකය කෙතරම් වැදගත් ද​?

2024 ඉන්දීය මහමැතිවරණයට තවත් ඇත්තේ මාස කිහිපයක් පමණි. මේ වනවිට මැතිවරණයේ ප්‍රධාන දෙපාර්ශවය සනිටුහන් ව ඇති අතර දෙපාර්ශවයම මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරනු පෙනෙන්නට තිබේ. එක් පසකින් භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන කරගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් අනෙක් පසින් කොන්ග්‍රස් පක්ෂය වටා එක්වූ "ඉන්දියා" සන්ධානයත් මෙසේ වැඩකටයුතු අරඹා තිබේ.

විශේෂයෙන්ම ඉන්දියා සන්ධානය බිහිවීමත්, ඒ කිට්ටුවෙන්ම සිදුවූ අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයත් සමග රටේ ජනතා මතය පිළිබඳ යම් අදහසක් ගතහැකි India Today/CVoter Mood of the Nation සමීක්ෂණයෙහි නවතම වාර්තාව අගෝස්තු 24 වනදා නිකුත් කරනු ලැබ තිබුණි. මේ සඳහා සමස්ථ ඉන්දියාවම ආවරණය වන පරිදි 160,000 කට අධික වූ නියැදියක් යොදාගෙන තිබුණ බව සමීක්ෂකයෝ පැවසූහ​.

මෙම සමීක්ෂණ වාර්තාවෙහි සඳහන් වූ පරිදි මහමැතිවරණය එම අවස්ථාවේ පැවතියේ නම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 306 ක් දිනාගන්නා අතර භාරතීය ජනතා පක්ෂය තනිව ආසන 287 ක් දිනාගන්නේ ය​. එනම්, තනිවම වුවද ලෝක් සභාවේ බහුතර බලය දිනාගැනීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂයට තවමත් තිබෙන බව පෙනී යයි. මේ අතර විපක්ෂ "ඉන්දියා" සන්ධානයට ආසන 193 ක් හිමිවන බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මෝදි තවමත් ඉදිරියෙන්

තවද​, ප්‍රධාන සටන්බිම් වශයෙන් වැදගත් වන ප්‍රාන්ත අතර තිබෙන උත්තර් ප්‍රදේශ්, බිහාර්, බටහිර බෙංගාලය සහ මහාරාෂ්ට්‍රය වැනි ප්‍රාන්තවල මැතිවරණ සටන පිළිබඳ කිසියම් අදහසක් ද මෙම සමීක්ෂණයෙන් ලැබී තිබේ. මේ අනුව "ඉන්දියා" සන්ධානය බිහාර්, මහාරාෂ්ට්‍ර සහ බටහිර බෙංගාලයේ යම් තරමකට ඉදිරියෙන් සිටින බව පෙනී යයි. නමුත් උත්තර් ප්‍රදේශයේ ආසන 80 න් 72 ක් ම බීජේපීය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වෙත ලැබෙන බව අනුමාන කරනු ලැබ තිබේ. මේ අනුව​, මෙම තත්ත්වය වෙනස් කිරීමට විපක්ෂ සන්ධානයට බොහෝ සේ වෙහෙස වන්නට සිදුවනු ඇත​.

සමීක්ෂණ වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන තවත් වැදගත් කරුණු දෙකක් වනුයේ ආණ්ඩුව කෙරේ ඇති ජනතා ප්‍රසාදය සහ නරේන් ද්‍ර මෝදි සාධකයේ වැදගත්කමයි. සියයට 59 ක් දෙනා ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදයෙන් පසුවන බව පෙනීගොස් තිබේ. ආණ්ඩුව පිළිබඳ සම්පූර්ණයෙන්ම අසතුටට පත්ව සිටින්නේ සියයට 19 කි. මේ අතර බීජේපීයට ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කළ අය අතුරින් සියයට 44 ක් දෙනා ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස අගමැති මෝදි නම් කිරීම වැදගත් සමීක්ෂණ ප්‍රතිඵලයකි. සියයට 22 ක් සංවර්ධනය හේතුවෙන් ද සියයට 14 ක් හින්දුත්වවාදය හේතුවෙන් ද බීජේපීයට ඡන්දය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ. මේ අනුව මෝදි සාධකය තවමත් ඉතා වැදගත් බව පෙනී යයි. එමෙන්ම භාරතීය ජනතා පක්ෂය හින්දු අන්තවාදය මත වැඩියෙන් රඳා පවතින්නේය යනුවෙන් ඇතැමුන් තුළ වන විශ්වාසය ද මෙමගින් අභියෝගයට ලක්කර තිබේ. මෝදි යටතේ බීජේපී ආණ්ඩුව යනු ජාතිකවාදය​, සුබසාධනවාදය යන කරුණු වෙත අවධානය යොමු කරන අතර ආර්ථික සංවර්ධනය කෙරෙහි ද විශාල අවධානයක් ලබාදෙයි. දශකයකට ආසන්න පාලන කාලයකට පසු තවමත් මෙතරම් ජනතා විශ්වාසයක් පවත්වාගැනීමට හැකි වීම මෝදිගේ සාර්ථකත්වයට එක් සාක්ෂියකි.

Screen grab from India Today

මේ අනුව පෙනී යන කරුණ නම් එළඹෙන මහමැතිවරණයේදී මෝදි පරාජය කිරීම සඳහා "ඉන්දියා" සන්ධානයට තවත් බොහෝ දේ කළ යුතු බවයි. කලක පටන් එම සන්ධානයේ ඇතැම් පාර්ශවවලින් නැගෙන මතයක් වන්නේ ඒ ඒ ප්‍රාන්තවලදී සන්ධානයේ එක් එක් පක්ෂ අතර ඒ ඒ ප්‍රාන්තවලට අදාල කරුණු සම්බන්ධව එකඟතාවයකින් යුක්තව මැතිවරණ උපක්‍රම නිර්මාණය කරගත යුතු බවයි. එනම්, ජාතික මට්ටමේදී මෝදිගේ ජනප්‍රියත්වය පරාජය කිරීමට ප්‍රාදේශීය සාධක ඉස්මතු කරගතයුතු බවයි. නමුත් මෙය එතරම්ම සාර්ථක උපක්‍රමයක් නොවන බව පෙනෙන්නට තිබේ. උදාහරණයක් වශයෙන් Mood of the Nation සමීක්ෂණයෙහි කර්ණාටක ප්‍රාන්තය පිළිබඳ දැක්වෙන පුරෝකථනය සඳහන් කළ හැකිය​. කර්ණාටකයෙහි මැයි මාසයේ පැවති ප්‍රාන්ත මැතිවරණය පහසුවෙන්ම ජයගත්තේ කොන්ග්‍රස් පක්ෂය යි. නමුත් මහමැතිවරණයේදී එහි පාර්ලිමේන්තු ආසන 28 න් 23 ක්ම භාරතීය ජනතා පක්ෂය විසින් දිනාගනු ඇතැයි සමීක්ෂණ වාර්තාව පවසයි. එයින් පෙනෙන්නේ ප්‍රාන්තයේ බීජේපී නායකත්වය පිළිබඳ ජනතාවට එතරම් විශ්වාසයක් ගොඩනැගී නැතත් ජාතික මට්ටමේ තරගයකදී මෝදි කෙරේ වන විශ්වාසය ඊට වඩා වැදගත්ව ඇති බවයි.

විපක්ෂ සන්ධානයට එළඹෙන මහමැතිවරණය ජයගැනීමට නම් ප්‍රාදේශීය කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව මේ අනුව පැහැදිලි ය​. ඔවුනට ප්‍රබල අපේක්ෂකයකු සහ මෝදි ආණ්ඩුවට වඩා ජනතාවට විශ්වාසය තැබිය හැකි වැඩපිළිවෙලක් අවශ්‍ය ය. ඒ කරුණු දෙකේදීම මෙතෙක් විපක්ෂ සන්ධානය පැහැදිලි ඉදිරි පියවරක් තබා නොමැත​.

Latest