Skip to content

ෆෝමියුලා1 කණ්ඩායම්වලට සල්ලි එන්නේ කොහොමද

අද දවසේ ක්‍රියාත්මක වන තරගකාරි ක්‍රීඩා ඉසව් අතරින් තරග වැදීම සඳහා වැඩිම මුදලක් වැයවෙන ක්‍රීඩාවක් ලෙස ෆෝමියුලා 1 තරගාවලිය සැලකෙයි. අතිශය වේගවත් ක්‍රීඩාවක් වන ෆෝමියුලා 1 ධාවන පථයට සහභාගි කරවන ෆෝමියුලා 1 රථය සම්බන්ධ සමීක්ෂන සහ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් කණ්ඩායම් විසින් ඩොලර් මිලියන ගණනාවක් වියදම් කරති. ඒ අනෙකාට උපරිම තත්පර දශම ගණනක* වාසියක් අත්පත් කරගැනීමට ය.

*ෆෝමියුලා 1 ධාවන පථයට එක්වන වේගවත්ම සහ මන්දගාමිම රථය අතර තත්පර අනූවක වටයකදි දළ වේගයේ වෙනස තත්පර 1.5කි. ඒ අනුව හොඳම සහ නරකම රථ දෙක අතර වෙනස ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 1.3කි! එසේම පැය දෙකක ධාවන සැසියකදි ධාවකයකුගේ බර කිලෝ හතරකින් පමණ අඩුවන බවට ගණන් බලා තිබේ. ෆෝමියුලා 1 තරගවල තරගකාරිත්වය සහ සංකීර්ණතාව පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකිය.

ෆෝමියුලා 1 ක්‍රීඩාවට වැයකළ යුතු අධික මුදල් සම්භාරය හේතුවෙන් ක්‍රීඩාවට යොමු වන්නේ ලෝකයෙන්ම ඉතා අඩු පිරිසක්ය. නමුත් ධාවකයෙක් ලෙස ස්ථාවර වූ පසු ලැබෙන ආර්ථික වාසි සහ කණ්ඩායම් විසින් නිරතුරුවම ෆෝමියුලා 1 රථය සහ අනෙකුත් සාධක කෙරෙහි දක්වන අවධානය හේතුවෙන් තරගකාරිත්වය දිනෙන් දිනම ඉහළ යනු දක්නට ලැබෙයි.

1950 වසරේ එංගලන්තයේ 'සිල්වර්සිටෝං' ධාවන පථයෙන් ආරම්භ වූ ෆෝමියුලා 1 තරගාවලිය ලොව වැඩිම වෙනස්කම්වලට බඳුන් වූ ක්‍රීඩාවක් ලෙසින්ද සැලකිය හැක.

කෙසේ නමුත්, කෙතරම් විය පැහැදැම් කලද ෆෝමියුලා 1 කණ්ඩායම් විශාල වශයෙන් ලාභ ලබනවා යැයි සැලකිය යුතු නැත.  මෙම වසරේ ලබන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් වියදම් වන්නේ ඊළඟ වසරේ රථය නිර්මාණය කිරීමේ කටයුතු වෙනුවෙන්ය.

ෆෝමියුලා 1 කණ්ඩායම් වෙත ආදායම් ලැබෙන මාර්ග හතරකි.

	අනුග්‍රාහකයින්.
	ෆෝමියුලා 1 සංවිධාකයින් වෙතින් ලැබෙන ගෙවීම්.
	තරගයට සහභාගිවීම ධාවකයින් විසින් කෙරෙන ගෙවීම්.
	අමතර කොටස් (විශේෂයෙන් එංජින් නිෂ්පාදකයින්) නිපදවන සමාගම්වලින් ලබාදෙන ගෙවීම්. 

ෆෝමියුලා 1 කණ්ඩායම්වල ප්‍රධාන ආදායම් මාර්ගය අනුග්‍රාහකයින්ය. සෑම කණ්ඩායමකටම ලෝකයේ ප්‍රධාන සමාගම් රැසක් අනුග්‍රහය ලබා දෙති. ගුවන් සමාගම්, තොරතුරු තාක්ෂන සමාගම්, සමාජ මාධ්‍ය සමාගම්, ඇඟලුම් නිෂ්පාදකයින්, තෙල් සමාගම්. ශක්තිජනක පානයන් ආදි ලොව පුරා විහිදුනු සියළුම ව්‍යාපාරික ක්ෂේත්‍රවලින් ෆෝමියුලා 1 කණ්ඩායම් වෙත අනුග්‍රාහකයින් සම්බන්ධ වෙති. අදාළ අනුග්‍රාහකයින් කණ්ඩායම් සමග ගිවිසුම්ගතවෙන මුදල අනුව ඔවුන්ගේ වෙළඳ සන්නාමය ෆෝමියුලා1 රථයේ සහ ධාවකයාගේ නිල ඇඳුමේ ප්‍රදර්ශනය කෙරෙන ස්ථානය සහ ප්‍රමාණය තීරණය වෙයි.

2023 වසරේ ෆෝමියුලා 1 කණ්ඩායම් සමග සම්බන්ධවන අනුග්‍රාහකයින්.

ඇල්ෆා රොමියෝ
සන්නාම අනුග්‍රහය : ස්ටේක් (stake.com)
අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ඔට්ටු ඇල්ලීමේ සමාගමක් වන ස්ටේක් 2023 වසරේදං ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 140ක මුදලකට වසර තුනක් සඳහා ගිවිසුම්ගත විය.

ඇල්ෆා රොමියෝ කණිඩායමේ 2023 වසරේ අනුග්‍රාහකයින්

ඇල්පයින්
සන්නාම අනුග්‍රහය : බීඩබ්ලිව්ටී (BWT)
පානීය ජලය සම්බන්ධ ඔස්ට්‍රියානු සමාගමක් වන බීඩබ්ලිව්ටී ඇල්පයින් කණ්ඩායම සමග 2022 වසරේ සිට ගිවිසුම්ගතවන අතර ගිවිසුමේ වටිනාකම අනාවරණය කර නොමැත.

ඇල්පයින් කණ්ඩායමේ 2023 වසරේ අනුග්‍රාහකයින්

ඇල්පාටෞරි
සන්නාම අනුග්‍රය : ඇල්පාටෞරි
රෙඩ්බුල් සමාගමට අයත් ඔස්ට්‍රියාවේ පිහිටි විලාසිතා සමාගමකි.
ප්‍රධාන සහකරු : පීකේඑන් ඕර්ලන් (PKN Orlen)
බොරතෙල් පිරිපහදුකිරීමේ සමාගමක් වන පීකේඑන් ඔර්ලන් ඇල්පාටෞරි කණ්ඩායම සමග 2023 වසරේදි ගිවිසුම්ගතවන අතර නිශ්චිත මුදලක් අනාවරණය වී නොමැත.

ඇස්ටන් මාර්ටින්
සන්නාම අනුග්‍රහය : කොග්නිෂාන්ට් (Cognizant)
වසරකට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 30ක් වන බහු-වර්ෂ ගිවිසුමකට ඇස්ටන් මාර්ටින් කණ්ඩායම සහ ඇමෙරිකානු තොරතුරු තාක්ෂණ සහ උපදේශන සේවා සපයන කොග්නිෂාන්ට් සමාගම සමග 2021 වසරේදි අත්සන් කරනු ලැබීය.

ෆෙරාරි
සන්නාම අනුග්‍රහකයෙක් නොමැති අතර ෆෙරාරි සමාගම තම සන්නාමය මෝටර් රථයේ ප්‍රධාන සන්නාමය ලෙස භාවිත කරයි.

හාස්
සන්නාම අනුග්‍රහය : මනිග්‍රෑම්
විනිමය හුවමාරු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ඇමෙරිකානු සමාගමක් වන මනිග්‍රෑම් 2022 වසරේදි හාස් කණ්ඩායම සමග වසරකට ඇමෙරිකානු ඩොලර් 20ක් වන ගිවිසුමක් වසර තුනක් සඳහා අත්සන් කරන ලදි.

මැක්ලරන්
සන්නාම අනුග්‍රාහකයෙක් නොමැති අතර ප්‍රධාන සන්නාමය ලෙස මැක්ලරන් නාමය භාවිත කරයි.
ප්‍රධාන සහකරු : ඕකේඑක්ස් (OKX)
සීෂෙල්ස් රාජ්‍යයේ පිහිටි ක්‍රිප්ටෝ මුදල් හුවමාරු කරන සමාගමක් වන OKX සහ මැක්ලරන් 2022 වසරේදි බහුවාර්ෂික ගිවිසුමකට අත්සන් කළ අතර නිශ්චිත වටිනාකමක් හෙළි කර නොමැත.

මර්සිඩීස් - ඒඑම්ජී
සන්නාම අනුග්‍රහය : පෙට්‍රොනාස් (Petronas)
බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ මැලේසියානු රාජ‍ය සමාගමක් වන පෙට්‍රොනාස් සහ මර්සිඩීස් අතර වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් දක්වා වූ ගිවිසුමකට 2026 වසර තෙක් ගිවිසුම් අත්සන් කර ඇත.

මර්සිඩීස් ෆෝමියුලා1 රථයේ ප්‍රදර්ශනය කෙරෙන සන්නාමයන්.

රෙඩ් බුල්
සන්නාම අනුග්‍රහය : ඔරකල් (Oracle)
ඇමෙරිකානු පරිඝණක තාක්ෂණික සමාගමක් වන ඔරකල් සහ රෙඩ් බුල අතර 2022 වසරේ අත්සන් කෙරුණු 2026 දක්වා බලපැවැත්වෙන ගිවිසුමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500කි.

විලියම්ස්
සන්නාම අනුග්‍රාහකයෙක් නොමැති අතර විලියම්ස් කණ්ඩායම් නාමය ප්‍රධාන සන්නාමය ලෙස භාවිත කරයි.

සන්නාම අනුග්‍රහකයින්ට සහ ප්‍රධාන සහකරුට අමතරව ෆෝමියුලා1 කණ්ඩායම් සමග විවිධ සමාගම් විස්සක් පමණ අත්වැල් බැඳගන්නා අතර ඇමෙරිකානු ඩොලර් ලක්ෂයේ සිට ඒ සඳහා ආයෝජනය කළ හැකිය. කෙසේ නමුත් වසරක් පුරා ෆෝමියුලා1 රථයක සන්නාමය ප්‍රදර්ශනය කිරීමට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක්වත් කැපකිරීමට සූදානම් විය යුතුය.

ෆෝමියුලා1 කණ්ඩායම්වලට ආදායම් උපයා ගැනීමට ඇති දෙවැනි විශාලම මාර්ගය ෆෝමියුලා1 සංවිධායකයින් පිරිනමණ ත්‍යාග මුදල් සහ දීමනාවන්ය.

ඒ සඳහා තරගාවලියේ දක්වන දක්ෂතා මෙන්ම තරගාවලියේ අඛණ්ඩව තරග කිරීම ද බලපායි. (ෆෝමියුලා සංවිධාකයින්ගේ ආදායම් මාර්ග වෙනත් ලිපියකින් පැහැදිළි කිරීමට බලාපොරොත්තු වන්නෙමු.)

වාර්ෂිකව ෆෝමියුලා1 කණ්ඩායම් වෙත ලබාදීමට නියමිත තෑගි මුදල වෙනස් වන අතර 2022 වසරේ බෙදා දුන් ත්‍යාග මුදල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1කි. සාමාන්‍යයෙන් තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට වැඩිම තෑගි මුදල හිමිවන අතර අවසන් ස්ථානයට අඩුම තෑගි මුදල බෙදී යයි. මෙය සෑමවිටම සිදුනොවන බවත් ඇතැම් අවස්ථාවල ජයග්‍රාහි කණ්ඩායමට වඩා වෙනත් කණ්ඩායමකට හිමිවීමේ ඉඩක් ද ඇත. කෙසේ නමුත් ඒ ඒ කණ්ඩායම්වලට ලැබෙන මුදල අවසන් තරග ප්‍රථිඵල මත පමණක් රඳා පවතින්නේ නැත. තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලබා ගැනීමට අමතරව ධාවකයින් ලබාගන්නා ලකුණු, ආරම්භක ස්ථාන (Pole positions) සහ වේගවත්ම තරග වටය ආදි සාධක මෙන්ම අතීත තරගවල ජයග්‍රහනද ත්‍යාග මුදල තීරණය කිරීම කෙරෙහි බලපායි.

2022 වසරේ ජයග්‍රාහි කණ්ඩායම වූ රෙඩ් බුල් කණ්ඩායම ඇමෙරිකානු ඩොලර් මිලියන 169ක් ලබාගන්නා විට ෆෙරාරි කණ්ඩායම ඩොලර් මිලියන 200කට හිමිකම් කීය. තරගාවලියේ දෙවැනි තැන දිනූ මර්සිඩීස් කණ්ඩායමේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් මිලියන 159ක් එක් විය. තරගාවලියේ වැඩිම කාලයක් රැඳී සිටින කණ්ඩායම හෙයින් ෆෙරාරි කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක් සෑම තරග වාරයකම වෙන්වෙයි. වසර කීපයකට පෙර එය ඩොලර් මිලියන 100ක් විය. එසේම ෆෝමියුලා1 තරග ඉතිහාසයේ ජයග්‍රාහිම කණ්ඩායම වීමද ෆෙරාරි වෙත වැඩි දීමනාවක් ලබාදීම කෙරෙහි බලපායි.

ත්‍යාග මුදල් තරගාවලිය අතරතුර කො⁣ටස් වශයෙන් ගෙවන අතර තරගාවලිය අවසානයේ සියළුම මුදල් බෙදා හැර අවසන් කරයි.

කණ්ඩායම්වලට ආදායම් ලැබෙන තුන්වැනි මාර්ගය 'පේ ටූ ප්ලේ' (pay to play) ධාවවකයින්ගෙන් අය කරගන්නා මුදල් ය. ඒ අනුව යම් කණ්ඩායමක් යටතේ තරග වැදීමට ධාවකයින් විසින් අදාළ කණ්ඩායමට යම් මුදලක් ගෙවා තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීම සිදු වෙයි. සුලභව සිදුවන ක්‍රීයාවලියක් නොවන නමුත් 2023 තරගාවලියේදි ඇස්ටන් මාර්ටිං කණ්ඩායම හා එක්ව සිටින ලාන්ස් ස්ට්‍රෝල් එසේ තම ස්ථානය තහවුරු කරගැනීමකට උදාහරණයකි. ලාන්ස්ගේ පියා වන ලෝරන්ස් ස්ට්‍රෝල් විසින් 2018 වසරේදි ටීම් ඉන්දියා කණ්ඩායම මිලදී ගෙන රේසිං ටීම් ලෙස නම් කළ අතර පසුව ඔහු ඇස්ටන් මාටිං සමාගමේ වැඩිම කොටස් හිමිකරුවා බවට පත්විය. ලාන්ස්ට ඇස්ටන් මාටිං කණ්ඩායමේ ධාවකයෙක් ලෙස තරග වැදීමට ලෝරන්ස් විසින් අතිරේකව ඩොලර් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවන ලද බවට වාර්තා වෙයි. කෙසේ නමුත් ධාවකයින්ට ලැබෙන ත්‍යාග සහ බෝනස් දීමනා ලාන්ස්වෙතත් හිමි වෙයි.

ලාන්ස් ස්ට්‍රෝල් සහ ලෝරන්ස් ස්ට්‍රෝල්

2022 තරගාවලි⁣ය තෙක් තරග වැදුණු නිකොලස් ලතීෆී ද 'පේ ටූ ප්ලේ' අනුව ෆෝමියුලා1 පථයට එක්වූ ධාවකයෙකි.

ෆෝමියුලා1 කණ්ඩායම්වල සිව්වැනි ආදායම් මාර්ගය වන්නේ මෝටර් රථ නිෂ්පාදකයින් කණ්ඩායම් සඳහා කරන ආයෝජනයන්ය. ෆෙරාරි, මර්සිඩීස්, මැක්ලරන්, ඇල්පයින් වැනි සුප්‍රසිද්ධ මෝටර් රථ නිපැයුම්කරුවන් තම කීර්තිනාමය වැඩි දියුණු කරගැනීමේ අරමුණින් කණ්ඩායම්වලට ආයෝජනය කරන අතර තරගාවලිය පුරා කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව ඔවුන්ගේ ව්‍යාපාරවලට වාසිදායක තත්ත්වයන් නිර්මාණය වෙයි.

තව විස්තර දැනගන්න..

ෆෝමියුලා 1 හෙවත් F1 රේසිං ගැන දැනගමු..

මොකක්ද මේ ස්ප්‍රින්ට් රේස් එක?


Latest