Skip to content

යන්ත්‍ර අක්‍රීය වීමෙන් රට පුරා රෝහල් අර්බුදයක - රෝගීන් පොරොත්තු ලේඛනවලට

CT Scan/ MRI /Angiogram ඇතුළු පරීක්ෂණ වර්ග රැසක් සිදු කිරීමට අදාළ යන්ත්‍ර රැසක් රජයේ රෝහල් පද්ධතිය තුළ තවදුරටත් අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.

ඇතැම් CT Scan යන්ත්‍ර දැනට මාස කිහිපයක සිටම අක්‍රීය වී ඇති අතර  මෙම යන්ත්‍ර අක්‍රීය වීම මගින් පරීක්ෂණ රැසක් සිදු කර ගැනීමට නොහැකිව රට පුරා රෝගීන් පීඩාවට පත්ව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

කොළඹ ඇතුළු රට පුරාම රජයේ රෝහල්වල ඇති මුළු CT ස්කෑන් යන්ත්‍ර 44න් 12ක්, MRI යන්ත්‍ර 13න් 2ක්, Angiogram යන්ත්‍ර 14න් 2ක්, Pet Scan යන්ත්‍ර 04න් 02 ක් අක්‍රීය වී තිබේ.

රට පුරා රෝහල් පත්ධතිය තුළ CT යන්ත්‍ර 44ක් තිබුණ ද මේ වනවිට ජාතික රෝහලේ හදිසි අනතුරු හා ස්නායු ඒකකයේ යන්ත්‍රය, කුරුණෑගල, ත්‍රිකුණාමලය, රත්නපුර, බදුල්ල, ජාතික දන්ත රෝහල, කළුතර, හොරණ, මාතර, මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක, කරාපිටිය යන්ත්‍ර දෙකෙන් එකක්, හම්බන්තොට යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රීය වී ඇති බවත්  කරවනැල්ල රෝහලේ CT යන්ත්‍ර අර්ධ වශයෙන් අක්‍රීයව පවතින බවත් ධර්මවික්‍රම මහතා අනාවරණය කරයි.

මෙම යන්ත්‍ර අක්‍රීයවීම නිසා බදුල්ලේ රෝගියකු නුවරඑළියට හෝ මොණරාගලට, කුරුණෑගල රෝගියකු මහනුවරට හෝ හලාවතට, ත්‍රිකුණාමල රෝගියකු පොළොනේනරුවට හෝ මඩකලපුවට කළුතර රෝගියකු කළුබෝවිලට, කරාපිටිය රෝගියකු හම්බන්තොට රෝහලට අවශ්‍යතාව මත යැවීමට සිදුවී තිබේ.

“CT යන්ත්‍ර මගින් හිසේ අභ්‍යන්තර රුධිර වහනයන්, ආඝාත, පෙනහළු රෝග, පිළිකා තත්ත්වයන්, රුධිරවාහිනීවල දෝෂ, අස්ථි බිඳීම්වල ද්විමාන සහ ත්‍රිමාන ඡායාරූප ගැනීම ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් හඳුනා ගත හැකියි. මෙම පරීක්‍ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට ගියහොත් රෝගී තත්ත්වය අනුව රුපියල් 10,000 සිට 75,000 ක් දක්වා මුදලක් වැය කිරීමට සිදුවෙනවා. MRI යන්ත්‍ර 13 ක් තිබුණත් 2023 ජනවාරි 05 වැනිදා සිට අනුරාධපුර රෝහලේත්, වසර දෙකක පමණ සිට මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේත් යන්ත්‍ර දෙක අක්‍රිය වෙලා තියෙන්නේ. මේ හින්දා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා ඉස්සරහට දින දීලා තියෙන්නේ. ඒවා දිග දින.

MRI යන්ත්‍ර මගින් ස්නායු පද්ධතියේ රෝග ඒ කියන්නේ මොළයේ සහ සුෂුම්නාවේ පිළිකා, අස්ථි, සන්ධිවල පටක හානි තත්ත්වයන්, අග්න්‍යාසය, කිරීටක ධමනිවල මාංශ පේෂිවල රෝගී තත්ත්වයන් හඳුනාගත හැකියි. මේ යන්ත්‍රයෙන් සිදුකරන පරීක්‍ෂණයක් පුද්ගලික අංශයෙන් සිදුකිරීමට ගියහොත් රුපියල් 20,000 ත් 75,000 ක් අතර මුදලක් වැයවෙනවා.
Angiogram, ඒ කියන්නේ හෘද කැතීටර් පරීක්ෂා කරන යන්ත්‍ර මුළු රටෙම් තියෙන්නේ 14ක්. මහනුවර යන්ත්‍ර දෙකෙන් එකක් සහ කොළඹ යන්ත්‍ර තුනෙන් එකක් අක්‍රීය යි. Angiogram පරීක්‍ෂණ මගින් හෘදයේ කිරීටක ධමනිවල අවහිරතා හඳුනා ගැනීම කරනවා. මේ පරීක්ෂණයක් රුපියල් ලක්ෂයකට විතර තමයි පිටින් කරගන්න වෙන්නේ.

රජයේ රෝහල්වල Pet scan යන්ත්‍ර තියෙන්නේ 02 යි. අතර ඉන් අපේක්ෂා රෝහලේ යන්ත්‍රය පසුගිය මැයි 26 සිට අක්‍රිය වෙලා. මෙම යන්ත්‍රයකින් පරීක්‍ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට ගියහොත් රුපියල් ලක්ෂ 03ක් විතර යනවා. පෞද්ගලික අංශයෙත් Pet scan තියෙන්නේ එකයි.''

Pet scan මගින් පිළිකාවක වර්ධනය හඳුනා ගැනීම, ප්‍රතිකර්ම ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම, ප්‍රතිකාරවලින් පසු නැවත වර්ධනය වනවාද යන්න හඳුනා ගැනීම වැනි සේවාවන් රැසක් සඳහා සහය ලැබෙන බවයි ධර්මවික්‍රම මහතා තවදුරටත් සඳහන් කරන්නේ.

අපේක්ෂා රෝහලේ යන්ත්‍රය අක්‍රියවීම නිසා දැනට මාස හයක පමණ සිට රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවීමත් අවාසනාවන්ත තත්ත්වයක් බව ඔහු පවසයි.

Latest