Skip to content

හොර දොස්තර මාට්ටු

ව්‍යාජ පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ස්ථානයක් වටලා ව්‍යාජ වෛද්‍ය වරයෙකු අත්අඩංගුවට ගැනීමට සහ එම ස්ථානයේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 02 ක් පමණ වටිනා ඖෂධ තොගයක් තම බාරයට ගැනීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්වී ඇත.

23 වෙනිදා සවස 6.15 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

හිරියාල - අඹගස්වැව ප්‍රදේශයේ ව්‍යජ පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට තොරතුරක් ලැබී ඇත.ඒ අනුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු,පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ කුරුණෑගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.ඒ වන විටත් ව්‍යාජ පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.එය පවත්වා ගෙන ගොස් ඇත්තේ කුරුණෑගල - මරලුවාව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයා වෛද්‍යවරයෙකු නොවන බවට එහිදී අනාවරණය වී ඇත.

සැකකාර ව්‍යාජ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇති පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් තව දුරටත් එම ස්ථානය පරීක්ෂා කර ඇත. එහිදී ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 02 ක් පමණ වටිනා ඖෂධ තොගයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාජ වෛද්‍යවරයාව සහ ඔහු සතුව තිබියදී තම බාරයට ගත් ඖෂධ තොගය පොල්පිතිගම මහේස්ත්‍රාත්වරයා වෙත 23 වෙනිදා රාත්‍රීයේම ඉදිරිපත් කිරීමට පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර ඇත.එහිදී ව්‍යාජ වෛද්‍යවරයාව රුපියල් ලක්ෂ 02 බැගින් වන පුද්ගල ඇප 02 ක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Latest