2003 සැප්තැම්බර් 2 වැනි දින ඉන්දුනීසියානු පුරාවිද්‍යාඥයෙකු වන Thomas Sutikna හෝටල් කාමරයක නැවතී සිටියේ උණ සන්නිපාතය වැළඳීම හේතුවෙන් ය. නමුත් ඔහුගේ සහායකයෙකු විසින් දන්වනු ලබන්නේ පරම්පරාවකටම එක් වරක් සොයා ගැනීමට ලැබෙනා පුවතක් පිළිබඳවයි. සිදුකරමින් තිබූ කැණීමකදී සහායකයෙකුගේ තුඩකට මීටර් 6ක පමණ ගැඹුරකින් පිහිටි අවසාදිතයක වැසී තිබූ කුඩා මිනිස් හිස් කබලක් සොයා ගැනීමට හැකිව තිබේ. Sutikna සහ ඔහුගේ සගයන් 2001 වසරේ සිට කැණීම් කරමින් සිටි ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ උස්බිම්වල පිහිටි විශාල ගුහාවක් වන liang bua හිදී ඔවුහු මෙම හිස් කබල සොයා ගනු ලබයි. Sutiknaගේ උණ ගතිය වහා පහව ගිය අතර, සුවදායී රාත්‍රී නින්දකින් පසු ඔහු සහ ඔහුගේ කණ්ඩායම හිරු උදාවත් හා සමගාමීවම අදාළ ස්ථානයේ පෙනී සිටියහ.
ගුහාව තුළ එකම ස්ථානයක තවමත් එකිනෙකට සම්බන්ධව පැවති අස්ථි කොටස් නිරාවරණය කර ගැනීමෙන් ඔවුන් ප්‍රමෝදමත් වූහ. පාදවල සහ අත්වල ඇටකටු සොයාගැනීමටත් අස්ථීන් ගේ බිඳෙනසුළු බව නිසාවෙන් ඒවා එකවරම පොළවෙන් එසවීමටත් නොහැකි විය.
කණ්ඩායම විසින් මුලදී සිතන ලද්දේ හිස් කබල සහ අනෙකුත් අස්ථින් කුඩා දරුවෙකුට අයත් වන්නට ඇති බවටය. නමුත් වැඩිදුරටත් අධ්‍යයනයන් සිදු කිරීමේදී ඔවුනට පෙනී ගියේ වැඩිහිටි පුද්ගලයෙකුට අයත් චාර්වක දත් හිස් කබලට සම්බන්ධ බවටය. එය සම්පූර්ණයෙන්ම නවමු ආකාරයේ මිනිසෙකු බවට පෙනී ගියේය. අඩි තුනක් පමණ උස කිලෝග්‍රෑම් 30ක පමණ බරින් යුක්ත වන්නට ඇතැයි අනුමාන කරන එය ව්‍යාකූල ලක්‍ෂණ සහිත කාන්තා නිදර්ශකයක් විය. ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා වෙත මෙම ෆොසිල රැගෙන ගිය Sutikna වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

"මෙම ෆොසිල සොයා ගැනීම නිසා අප සියල්ලෝම පුදුමයෙන් පුදුමයට පත් වුණිමු. මක් නිසාද යත් පිරිසිදු කිරීමෙන් පසු දත් සියල්ලම වර්ධනය වී නොනැසී පවතින බව අපට දැකගත හැකි වූ නිසාවෙනි. හිස් කබලේ අස්ථි ද පෙන්නුම් කළේ එය ළමයෙකුගේ හිස් කබලක් නොව වැඩිහිටියෙකුට අයත් අස්ථියක් බවට යි."
වසර 20ක කාලයක් ගත වීමෙන් පසුවත් පරිණාමීය සංකල්පය පිළිබඳ මෙම ප්‍රහේළිකාව විසඳීම සඳහා විද්‍යාඥයින් අර අදිමින් සිටී. මෙම සොයාගැනීම කෙතරම් ප්‍රභලද යත් මිනිස් පවුල් ගස පිළිබඳ සාමාන්‍යයෙන් අප දන්නා කරුණු වලට අභියෝග කරන හෙළිදරව් කිරීම් රැසකට තුඩු දෙන්නක් වී ඇත.
පර්‍යේෂණ කණ්ඩායම සහ එහි ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් මෙම සොයාගැනීම පෙරළිකාර වන්නක් බව මුල සිටම දැන සිටි අතර, තවද ඔවුන් වසරකට වැඩි කාලයක් තම සොයාගැනීම රහසිගතව තබා ගැනීමට වෙහෙස මහන්සි වූ නිසාවෙන් දේහය පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට යම් අවස්ථාවක් ලද හ. පර්යේෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ඉහළ පෙළේ විද්‍යාත්මක සඟරාවක ප්‍රකාශයට පත් වූ මෙම අධ්‍යයනය paleoanthropology ක්ෂේත්‍රය කම්පනයට පත් කරලන්නක් විය. ඒ සමගම පුළුල් ප්‍රේක්‍ෂක ආකර්‍ෂණයක් මෙම සොයාගැනීම කෙරෙහි නන් දෙසින් ඇති විය.
කාබන් පරීක්‍ෂාවෙන් පසු මූලික කාල නිර්ණය මගින් මෙම නටබුන් වසර 18,000 ක් පැරණි බව තීරණය විය.(වසර 50,000 සිට 60,000 දක්වා පැරණි බව ඇස්තමේන්තු කරමින් 2016 දී දිනයන් සංශෝධනය කෙරිණි.) Liang Bua කණ්ඩායම විසින් මෙම විශේෂය Homo floresiensis ලෙසින් නම් කරන ලදී. මෙම සොයාගැනීම මිනිසා ප්‍රාථමික අදියරක සිට සංකීර්ණත්වය දක්වා පිළිවෙළකට පරිණාමය වී ඇත යන අදහස අභියෝගයට ලක් කළ අතර මානව පරිණාමය සහ එහි ඉතිහාසය පිළිබඳ අප නොදන්නා දේ කොතරම් දුරට ඇතිදැයි යන කාරණය අවධාරනය කරනු ලබයි.
අධ්‍යයනයන් සඳහා තවත් බොහෝ දේ ඉතිරිව ඇත. හෝමෝ ෆ්ලෝරෙසියන්සිස් පොසිල තවමත් හමුවී ඇත්තේ ෆ්ලෝරස්වලින් පමණක් වුවද, උතුරින් පිහිටි සුලවේසි නම් දූපතෙන් මෙම විශේෂය පැමිණියා යැයි අනුමානයක් ද පවතී. Sutikna එක් කරන ලද තවත් කරුණක් වූයේ Homo floresiensis මුලින්ම සොයාගත් ස්ථරයට මදක් ඉහළින් ඝන ගිනිකඳු අළු තට්ටුවක් සොයා ගැනීමට හැකි වූ බවයි.
“අවම වශයෙන් ගිනිකඳු පිපිරීම් අටක්වත් සිදුවී ඇති බව අපි ගණන් බලා තිබෙනවා. ගිනිකඳු අළු ස්ථරයට ඉහළින් හෝමෝ ෆ්ලෝරෙසියෙන්සිස් හෝ වෙනත් පැරණි සතුන්ගේ පොසිල අපට හමුවුණේ නැහැ. කෙසේ වෙතත්, මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් හෝමෝ ෆ්ලෝරෙසියන්සිස් විනාශ කළේද යන්න අපට තහවුරු කළ නොහැකියි." Sutikna එලෙසින් සිය අදහස් දැක්වීම අවසන් කළේය.
මෙම සොයාගැනීම පරිණාමීය ගස තුළ මානව වර්ගයාගේ ස්ථානය සහ ස්වභාවධර්මය පිළිබඳ වඩාත් පුළුල් ලෙස සිතා බැලීම සඳහා අප වෙත ඉඩ සලසන්නකි. තවත් වැළලී ගිය රහස් කොපමණ නම් පෘථිවිය තුළ තිබිය හැකි ද?