Skip to content

හිරු එළියෙන් ඉස්සෝ නෙළන "නගුල්එළියේ" කතුන්...

රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් කිරීමට වරම් නොළද කාන්තාවන් බහුතරයක් කුමක් හෝ ස්වයං රැකියාවක නිරත වීම අප රටේ සුලභව දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ සැමියා හරි හම්බ කරන මුදල දරු පවුල නඩත්තු කරන්නට තරම් ප්‍රමාණවත් නොවීමය. රැකියාවක හෝ ස්වයං රැකියාවක නිරත වන්නේ කිසියම් අධ්‍යාපනය ලබා ඇති කාන්තාවන් වීම විශේෂත්වයකි.

රැකියාවක් හෝ ස්වයං රැකියාවක් නොකර නිවසට වී දරු පැටවුන් රැක ගන්නා කාන්තාවන්ද අප රටේ නැතිවාම නොවේ. එසේ නිවසට වී කාලය කා දමමින් සිටින සියළුම කාන්තාවන් ප්‍රමාණවත් තරම් අධ්‍යාපනයක් නොලැබූ අයම නොවන බවද මෙහිලා සටහන් කර තබමි.

අපේ රටේ ආර්ථිකය හා පොර බදන කාන්තාවන් සම්බන්ධයෙන් මෙවන් පූර්විකාවක් ලියන්නට සිදුවූයේ අපූරු රැකියාවක නිරත වන පිරිසක් සම්බන්ධයෙන් සටහනක් තබන්නට සිත් දුන් නිසාය.

මේ කාන්තාවන් ජීවත් වන්නේ ආරච්චිකට්ටුව - නගුල්එළිය ගම්මානයේය. මුහුදෙන් සහ හැමිල්ටන් ඇලෙන් වටවූ නගුල්එළිය ගම්මානයේ වාසය කරන සියළුම දෙනා වෘත්තියෙන් ධීවරයින්ය.මසුන් මරන්නට  මුහුදට හෝ කලපුවට යන්නේ පිරිමි පාර්ශවයයි. කාන්තාව නිවසට වී සිටින්නේ තම පුරුෂායගේ රැකියාවට සහායක් ලබා දීමටය.

සැමියා මුහුදෙන් හෝ කලපුවෙන් නෙලා ගෙන එන මත්ස්‍යයින් අලවි කිරීම මූලික මෙම කාන්තාවන් සිදු කර. අලවි කරන්නට නොහැකි මත්ස්‍යයන් කරවල බවට පත් කිරීම දෙවැනි රාජකාරියයි. තුන්වැන්න වන්නේ පසුදින කලපුවට හෝ මුහුදට යන තම සැමියාගේ සෙසු අවශ්‍යතාවයන් සපුරා ලීමය.

අපි දැන් නගුල්එළිය ගම්මානයේ ජීවත් වන කාන්තාවන්ගේ කථාවට යමු.

ස්වාමි පුරුෂයා මසුන් මරන්නට මුහුදට හෝ කලපුවට ගිය විට නගුල් එළියේ කාන්තාවන් යන්නේ හැමිල්ටන් ඇලටය. ඒ ඉස්සන් ඇල්ලීම සදහාය. සාමාන්‍ය ආකාරයට නම් ඉස්සන් ඇල්ලීම සිදු කරන්නේ දැල් භාවිතා කරමිනි. නමුත් මේ කාන්තාවන් ඉස්සන් වෙනත් ක්‍රමයකටය.

ඉස්සන් ජලය මතුපිටට එන්නේ රාත්‍රී කාලයට පමණි. දිවා කාලයේදී ඉස්සා ජලයේ පතුලටම ගොස් මඩ ඇතුළේ හෝ වෙනත් ආරක්ෂිත ස්ථානයක සැගවී ජීවත් වෙයි. හැමිල්ටන් ඇල ඉව්රේ ඇති කඩොලාන ශාඛ ඉස්සාට හොද ආරක්ෂිත ස්ථානයකි. ඉස්සා එසේ කරණුයේ තමාගේ ජීවිතය සතුරාගෙන් (මිනිසා ඉස්සාගේ පරණ සතුරා බව අප අමතක නොකළ යුතුව ඇත) බේරා ගැනීමේ උපක්‍රමයක් සදහා වන්නට ඇති.

නගුල්එළියේ කාන්තාවන් කරන්නේ කඩොලාන ගස් මුල් අතර සහ හැමිලටන් ඇල පතුලේ සැගවී සිටින ඉස්සන් සොයා ගෙන ගොස් අල්ලා ගැනීමය. එය ඔවුන් විසින් සිදු කරන්නේ කිසිදු දැළක් භාවිතා නොකර දෑතින් වීම විශේෂත්වයකි.

හැමිල්ටන් ඇලට බැස ඉස්සන් අල්ලන කාන්තාවක් ඇය කරන කටයුත්ත පිළිබදව අප සමග මෙසේ කියා සිටියාය.

"මේක හැමෝටම කරන්න පුළුවන් රස්සාවක් නෙමෙයි. අපි දැන් අවුරුදු ගානක් ඉදලා කරන රස්සාවක් මේ. අපේ අම්මලත් මේ රස්සාවව කෙරුවා. එතනින් තමයි අපිත් පුරුදු වුනේ. හැමිල්ටන් ඇලට බැස්සට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් ඉස්සා ඉන්න ඉසව්ව කොහේද කියලා. අපි කරන්නේ හිමීහිට එතෙන්ට ගිහිං පරිස්සමට අත ගාලා බලනවා ඉස්සෝ ඉන්නවාද කියලා. මොකද දවල් කාලයට ඉස්සා කරන්නේ පරිස්සම් ‍වෙන්න පුළුවන් තැනක හැංගිලා ඉන්න එකයි. අපි දන්නවා එයාලා හැංගෙන තැන්. අපි ඉතිං කරදරයක් නැතිව ඒ තැන් අත ගාලා ඉස්සෝ අල්ලා ගන්නවා. හැබැයි නොදන්නා කෙනෙක් මේ වැඩේ කරන්න ගියොත් අමාරුවේ වැටෙනවා. මොකද කලබලයට ඉස්සෝ එයාලාගේ හිසේ තියන කටුවෙන් තුවාල වෙන්න අනිනවා. ඒ වගේම තව කටු තියන මාළුත් ඔය වාගේ තැන් වල හැංගිලා ඉන්නවා. ඒ වාගේ වෙලාවටත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඉතිං කොහොම හරි පැය කීපයක් හැමිල්ටන් ඇලේ දන්න කියන තැන් වල ඉන්න ඉස්සෝ අපි අල්ලා ගන්නවා."

"හැබැයි මහත්තයෝ කොයිම වෙලාවකවත් පොඩිම ඉස්සෝ නම් අල්ලන්නේ නෑ. ඒක අපරාධයක්. මොකද ඉස්සා ලොකු වුනාට පස්සේනේ කීයකට හරි විකුණා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතිං මොන දුක විදලා හරි අල්ලා ගෙන එන ඉස්සන්ට හොද මිලක් නම් අපිට ලැබෙන්නේ නෑ. ඒත් ඉතිං දවල් කාලේ ගෙදරට වෙලා නිකං ඉන්නේ නැතිව කීයක් හරි හම්භ වෙන නිසා තමයි අපි හැමිල්ටන් ඇලට බැහැලා ඉස්සෝ අල්ලන්නේ.."නගුල්එළියේ පදිංචි තවත් කාන්තාවක් කියා සිටියාය.

කෙසේ වෙතත් රැකියාවක් නෑ. අතට සල්ලි කීයක් වත් නෑ. ස්වාමි පුරුෂයා හොයා ගෙන එන මුදලින් දරුවන් ජීවත් කරමින් නඩත්තු කරන්න විධියක් නෑ. ස්වයං රැකියාවක් කරන්න නම් බැංකු වලින් ණය ගන්න ඕනේ. ඒකට ක්‍රමයක් නෑ.. ඔන්න ඔය වාගේ නිදහට කරුණු කියන කාන්තාවන්ට නම් නගුල්එළිය ගමේ ජීවත් වන කාන්තාවන් හොද ආදර්ශයක්ය. නමුත් අපේ රටේ සෑම ගමක් හරහාම හැමිල්ටන් ඇලක් ගලා බසින්නේ නැ. ඒ වගේම ගලා බසින සෑම ඇල මාර්ගයකම ඉස්සෝ ජීවත් වන්නේත් නැත.

Latest