Skip to content

අපනයන සහ ආනයන ආර්ථිකය බිඳ වැටීමට හේතුව මෙන්න!

මේ වසරේ පළමු අර්ධයේ දී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබුණු අතර එලෙස මෙරට ආනයන අපනයන ආර්ථිකය බිඳ වැටීමට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ කාර්යක්ෂම, අඩු වියදම් සහ විනිවිද භාවයෙන් යුතු ක්‍රියාවලියක් බවට පත් කිරීමට රජය අපොහොසත් වීම බව  වෙරිටේ රිසර්ච් ආයතනය හඳුනාගෙන තිබේ.

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසයි.

එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87ක් දක්වා 10%කින් පහත වැටී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සිදුකර තිබෙන්නේ, ලෝක වෙළද සංවිධානයේ, වෙළද ගිවිසුම් පහසුකම් යටතේ එක් එක් රටවල් ලබා ඇති ප්‍රගතිය මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කරමිනි.

එම සමීක්ෂණයට අනුව ලංකාවේ ප්‍රගතිය, සමාන ආර්ථික මට්ටමක් ඇති තරගකාරී රටවල තත්ත්වයට පමණක් නොව, ඇතැම් ඌන සංවර්ධිත රටවල තත්ත්වයට ද වඩා පහත් මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.

සංවර්ධනය වෙමින් පවතින සහ ඌන සංවර්ධිත රටවල් 125 කින්, ජාත්‍යන්තර වෙළදාම පහසුකිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනයේ දී අවම ප්‍රගතියක් ලබා ඇති රටවල් අතර ලංකාව 104 වන ස්ථානයේ පසුවන අතර ඌන සංවර්ධිත රටවල් ලෙස හදුනාගෙන ඇති රටවල් 35 කින් රටවල් 21 ක් ම, වෙළද පහසුකම් ක්‍රිියාත්මක කිරීමේ දී ලංකාවට වඩා ඉහළින් සිටියි.

වෙළද පහසුකම් ක්‍රියාත්මක කිරීමේ දී කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීමට නම්  බාහිර පාර්ශ්වයන්ගෙන් ඒ සදහා උදව් ලැබෙන තෙක් නොසිට තමන්ම ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුව ඇති බව වෙරිටේ රිසර්ච් ලංකාවට යෝජනා කරයි.

මෙහිදී අදහස් කරනු ලබන්නේ, වෙළදාම් ක්‍රියාපටිපාටි, බදු ගාස්තු ආදිය ක්ෂණිකව ප්‍රකාශයට පත් කරන ක්‍රමවේදයක් තමන් විසින්ම ක්ෂණිකව සකස් කර ගැනීමයි.

ඊට අමතරව, වෙළද පහසුකම් ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආයතනවලින් එල්ල වන ප්‍රතිවිරෝධතා වළක්වා ගැනීම සදහා ඉහළ මට්ටමේ නායකත්වයක් සැපයීමේ අවශ්‍යතාවයද වෙරිටේ රිසර්ච් අවධාරණය කර තිබේ.

වෙළද පහසුකම් ක්‍රියාත්මක කිරීම සදහා ලංකාව විසින් පිහිටුවා තිබෙන ජාතික වෙළද පහසුකරණ කමිටුවේ සම සභාපතීත්වය දරනු ලබන්නේ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසිනි.

නමුත්, වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දියාව වැනි රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් බවත්  එම රටවල වෙළද පහසුකම් ක්‍රියාත්මක කිරීම සදහා පිහිටුවා ඇති කමිටුවල සභාපතීත්වය දරනු ලබන්නේ, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, කැබිනට් ලේකම් සහ වාණිජ අමාත්‍යවරයා විසින් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

Latest