Skip to content

'හෙළ රටාවට ඉවුම් පිහුම්' පොතේ අයිතිය සූපවේදී පබිලිස් සිල්වාටම

රටම හඳුනනා ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ 'හෙළ රටාවට ඉවුම් පිහුම්' ග්‍රන්ථයේ කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බව කොළඹ වාණිජ මහාධිකරණ මීට පෙර දුන් නියෝගය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තිබූ අභියාචනා පෙත්සමකට අදාල තීන්දුව දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

2005 වසරේදී ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ" කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමිවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක මහත්මිය විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවාය.

එහිදී කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටමින් කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම සඳහන් කර ඇත්තේ පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ  හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවත් ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට හිමිවිය යුතු මුදල් ගෙවා ඇති බවත්ය.

කෙසේ වෙතත් 2013 වසරේ එම නඩුවේ තීන්දුව ලබාදුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාර ධර්මා සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කොට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් සරසවිය ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

පසුව එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කල අතර  අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට නිගමනය කොට ඇති අතර කොළඹ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණි.

එමෙන්ම සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සරසවි පුවත්පත් සමාගමට රුපියල් 25,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට නියෝග කරනු ලැබීය.

Latest