GSP + සහනය ලැබුනත් නැතත් රටක් ලෙස අපි අපේ ගමන යා යුතුව ඇතැයි Verité Research සදහන් කරයි.
අපි කව්රුත් නිතර කථා කරන GSP + සම්බන්ධයෙන් Verité Research මෙසේ කියයි.
GSP+ බදු සහනය ගැන අහලා ඇති. එක එක වේදිකාවක එක එක විදිහට භාවිතා වුනත්, මේ බදු සහනය ඇත්තටම අපේ ඇගළුම් සහ ධීවර කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදනවලට යුරෝපයේ වෙළදපලට පිවිසෙන්න දොරවල් විවර කරලා දීලා තියෙන බව සහතික ඇත්තක්. වාර්තාවල හැටියට නම් අපෙන් යවන නිෂ්පාදන 7200කට වඩා වැඩි ප්‍රමාණයක GSP + බදු සහනය ලැබෙනවා.
සරලව මෙතන වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක යුරෝපයේ වෙළදපලට පිවිසෙන්න නම් යම් භාණ්ඩයකට ගෙවන්න සිදුවෙන බද්ද වෙනුවට ඊට වඩා අඩු බදු මුදලක්- සහනයක්, ලැබෙන එක. මෙහෙම සහනයක් හිමිවෙන්නේ සංවර්ධනය වෙමින් පවතින, මැද ආදායමක් තියෙන රටවල්වලට බවත් කිව යුතුයි.
ඇයි මෙහෙම දෙන්නේ? වෙළදපල අවකාශය පුළුල් කිරීම ඇරුණහම මෙහෙම සහනයක් ලබාදෙන එකේ අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි අන්තර් ජාතිකව පිළිගත් නිෂ්පාදන තත්ත්වන්ගේ මට්ටමට ඒ සංවර්ධනය වෙමින් තිබෙන රටෙන් එන නිෂ්පාදනවල තත්ත්වය උසස් කරන්නට ඒ රටේ නිෂ්පාදකයන්ව දිරිමත් කිරීම.
අනෙක තමයි, ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්වලට සංවර්ධනය වෙමින් පවතින රටවල් එකතු කරගැනීම.
දැන් පොඩි අදහසක් ඇති කොහොමද මේක ලැබුනේ, මේක ලැබීමෙන් අපට කරන්න සිදුවෙලා තියෙන්නේ මොනවාද කියන එක ගැන. ඔහොමම තවත් ටිකක් ඉස්සරහට යමුකෝ.
දැන් මුලින්ම කිව්වනේ මේක ලැබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවවල් වලටය කියලා. දැනට අපේ රට ඉන්නේ පහළ මැදි ආදායම් ලබන රටක මට්ටමේ. ඒ නිසා මේ සහනය දැනට ෂුවර්. හැබැයි, අපි ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වයට උසස් වුනහම (වුනොත්) මේ සහනය අපිට අහිමි වෙනවා.
අනෙක් අතට, ඉස්සෙල්ලා තවත් කාරණයක් කිව්වා මේ සහනය ලබා ගන්න ජාත්‍යාන්තරව පිළිගත් සම්මුතීන්ට අපි එකග වෙනවා කියලා. නිකමට හිතමු බලයේ ඉන්න රජයක් එහෙම එකග වුනු සම්මුතීන්ට පිටින් යන මොනවා හරි කළාය කියලා? අන්ත එතකොටත් මේ සහනය අපට අහිමිවෙනවා. 2010 අවුරුද්දේ අපිට එහෙම වුනා. කර්මාන්තශාලා 25ක් විතර වැහිලා, 10,000කට විතර රස්සාත් නැතිවුන යුගයක්. එනිසා, සහනය දිගටම තියාගන්න නම් බලයේ ඉන්න කවුරු වුනත් මේ එකග වුනු ජාත්‍යාන්තර සම්මුතීන්ට අනුව කටයුතු කළ යුතුයි.
මේ සම්මුතීන් හදලා තියෙන්නේ මානව වර්ගයාගේ පැවැත්මට සහ නිදහස වෙනුවෙන් නිසා ඒක ගැටළුවක් විය යුතු නැහැ නේ? මෙතනින් ගන්න ඕනා අදහස තමයි, සහනය අපිට ලැබෙනව ද නොලැබෙනව ද කියන එක තීරණය වෙන තවත් සාධකයක් වෙන්නේ ආණ්ඩුවේ හැසිරීම මත කියන එක.
තුන්වෙනි එක. මෙහෙම සහනයක් ලැබුනට මොකද යම් සීමා තියෙනවා. උදාහරණයක් හැටියට ඇගලුම් නිෂ්පාදනයක් ගත්තොත්, ඒක අපනයනය කරනවා නම්, බදු සහනය හිමිවෙන්නේ ඒ නිෂ්පාදනය හදලා තියෙන්නේ මොන මොන රටවල් වලින් අමුද්‍රව්‍ය ලබාගෙන ද, කියන එක පදනමේ ඉදන්. දැනට තියෙන හැටියට මේ අමුද්‍රව්‍ය ගන්න පුළුවන් සාක් කලාපයේ රටවල්වලින් සහ ලංකාවේම දේශීය නිෂ්පාදනවලින් විතරයි. එතනින් එහා ගිහිල්ලා වෙන තැන්වලින් තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය අරගෙන මේ නිෂ්පාදන හදලා අපනයනය කරනවා නම්, ඒ සහනය හිමි වෙන්නේ නැහැ.
එතකොට කතාව මෙහෙම සාරාංශ කරන්න පුළුවන්;
· සහනය ලැබෙන්නේ අපි අඩු ආදායම් ලබන රටක් වෙන තාක්කල් විතරයි (මේ අර්බුදය වුනේ නැත්නම් අපි ඉහළ ආදායම් ලබන රටක්ළු. IMF එක තමයි එහෙම කියන්නේ)
· සහනය ලැබෙන එක ආණ්ඩුවේ හැසිරීම මත තීරණය වෙනවා (ආණ්ඩුව මුරණ්ඩු විදිහට හැසිරුනොත් මේක ලැබෙන්නේ නැහැ. පැහැදිලියි නේද?)
· සහනය ලැබුණත්, යම් සීමා තියෙනවා (විශේෂයෙන්ම අමුද්‍රව්‍ය සපයා ගන්න කොට)
ඉතින් මේ කාරණා නිසා GSP+ බදු සහනය මතම අපේ අපනයනවල සාර්ථකත්වය තීරණය කරන්නට ඉඩ හැරීම එක්තරා අතකට සූදුවක්. ඇයි ඉතින් මේ සහනය ලබාගන්නය කියලා අපි හැමදාම දුප්පත් රටක් වෙලාම ඉන්නද? ආණ්ඩුව හොදටම හැසිරෙයි කියලා හිතන්නද?.
ඒ නිසා තමයි අපේ අපනයන මේ සහනය ලැබුණා නෑ කියලා බලන්නේ නැතුව තරගකාරී විය යුතුව තියෙන්නේ. කියන්න සතුටුයි යුරෝපයට අපනයනය කරන අපේ ඇතැම් ඇගළුම් නිෂ්පාදන දැන් මේ තත්ත්වයට ළගාවෙමින් ඉන්නවා. හැබැයි තවත් ගොඩක් අපනයනය තියෙනවා තවමත් මේ සහනය මතම රදා පැවතෙමින් ඉන්න. ඒ එක්කම අපේ සමාගම් තියෙනවා GSP නොලැබුන සමයෙත් තමන්ගේ ක්‍රමවේද වෙනස් කරලා ආදායම් උපයා ගන්න සමත් වුණු. ඒකත් GSP තිබුනා නොතිබුනා කියලා ඉන්නේ නැතුව, අපේ ඉදිරියට හදාගත යුතුව තිබෙනවා කියන එකට හොද උදාහරණයක්.
සහනය ලැබීම සහ ආණ්ඩුවේ හැසිරීම ගැන වැඩිය කතාකරන්න අදහස් කරන්නේ නෑ. මොකද මෙතන වැඩි බර තියලා තියෙන්නේ ආර්ථිකයට නිසා. හැබැයි ඉතින්, පුරවැසියන්ට නිදහසේ, සතුටින් ඉන්න වටපිටාවක් නිර්මාණය කරලා එය පවත්වාගෙන යන එක ආණ්ඩුවක වගකීමක්.
· මේ සියලු දේවල් තවත් හොදින් විස්තර කරමින් පසුගිය දවසක DailyFT පුවත්පතේ පළවුනු ලිපියේ සම්පූර්ණ පරිවර්තනය පහත තියෙනවා. කියවන්න. දැනුවත් වෙන්න.
· GSP+ සමඟ ඇති සබඳතාව පිළිබඳ නැවත සිතා බැලීම සඳහා ශ්‍රී ලංකාවට කාලය එළඹ තිබේද?
ශ්‍රී ලංකාව යනු GSP+ බදු සහනය සඳහා සුදුසුකම් ලබන සංවර්ධනය වෙමින් පවතින රටවල් අටෙන් එකකි. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා තම නිෂ්පාදන අපනයනය කරන විට, භාණ්ඩවලින් 66%කට වැඩි ප්‍රමාණයක් සඳහා (නිෂ්පාදන 7,200කට වැඩි ප්‍රමාණයක්) බදු හෝ තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන බවයි.
2005 දී GSP+ බදු සහන තත්ත්වය ලබා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සහ ධීවර කර්මාන්තයවලට විශාල ප්‍රතිලාභයක් ලැබී ඇත්තේ, යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා අපනයන සිදු කිරීමේදී GSP+ බදු සහනයට යටත් නොවන රටවල් මුහුණ දෙන සාමාන්‍ය ගාස්තු අනුපාතය වන 7% කට වඩා ගෙවීමට සිදු නොවූ බැවිනි. මුහුදු ආහාර, රබර් සහ පාවහන් වැනි කර්මාන්ත GSP+ සහනය මත දැඩි ලෙස රඳා පවතින අතර, මෙම යෝජනා ක්‍රමය තුළින් ඔවුන්ගේ අපනයනවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමයට අයත් රටවල් සදහා අපනයනය කෙරේ. 2021 දී, ශ්‍රී ලංකාවෙන් බදු අය කළ හැකි අපනයනවලින් 67%ක් පමණ GSP+ හරහා කිසිදු බදු ගෙවීමකින් තොරව යුරෝපා සංගමයට අයත් රටවල් වෙත අපනයනය විය.
කෙසේ වෙතත්, GSP+ ප්‍රතිලාභ පවතින තුරු එය භුක්ති විඳීම යහපත් වුවද, තරඟකාරීත්වය සඳහා GSP+ ප්‍රතිලාභ මත පමණක් අධික ලෙස රඳා පැවතීම ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම රටෙහි සමස්ත අපනයනයෙන් 40%කට වඩා වැඩි දායකත්වයත් සපයන ඇඟළුම් අපනයනකරුවන්ට අවදානම් සහගත උපාය මාර්ගයකි. එය එසේ වීමට බලපාන සාධක තුනක් ඇත.
1) GSP+ සහනය තාවකාලික වන අතර එය පවතිනුයේ ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වයට ශ්‍රී ලංකාව පත්වන තෙක් පමණි.
2) GSP+ යටතේ සහන සඳහා වන අඛණ්ඩ ප්‍රවේශය රජයේ ක්‍රියා කලාප හෝ එහි අකර්මන්‍යතාව මත දැඩි ලෙස රඳා පවතී.
3) සහන උපයෝජනය සඳහා බාධාවක් ලෙස නිෂ්පාදන මූලාරම්භය තීරණය කරන දැඩි නීති - රීති පවතින අතර එමඟින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට ඔවුන්ගේ යෙදවුම් මූලාශ්‍ර තෝරා ගැනීමට ඇති නම්‍යශීලීභාවය සීමා වේ.
Verité Research විසින් කරන ලද අධ්‍යයනයකට අනුව පෙනී යන්නේ, දැනටමත් තරඟකාරී නිෂ්පාදන GSP+ සහනයෙන් උපරිම ප්‍රතිලාභ ලබන අතර මෙම සහන අහිමි වී ගියද ඒවාට වඩා හොඳින් ඔරොත්තු දිය හැකි ලෙස ඔවුන් සන්නද්ධ බවයි. GSP+ යනු රටවල් ස්වාධීනව ශක්තිමත් කරවීම සහ ඒවා සහනාධාර මත යැපීම අවම කිරීම සඳහා තාවකාලික සහය ලබාදෙන බදු සහන වැඩපිළිවෙලකි.
යුරෝපා සංගමය විසින් GSP+ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබන රටවල් “සීමිත අපනයන විවිධාංගීකරණයක් සහ ගෝලීය වෙළඳ පද්ධතිය තුළ ප්‍රමාණවත් ඒකාබද්ධතාවයක් නොමැති නොමැති අවදානමට ලක්විය හැකි සංවර්ධනය වෙමින් පවතින රටවල්” ලෙස නිර්වචනය කරයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් මෙම වර්ගීකරණයට හුරුවී ඇති බව පෙනේ, GSP+ වලින් පරිබාහිරව තම අපනයන සඳහා තරඟකාරී ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව නොසලකා හරිමින් ඉන් ඔබ්බට යාමට එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනේ. මෙම ලිපිය මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ගොඩනැංවීම සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම සහ සහන නොමැතිව වූවද තරඟ කළ හැකි අංශ හෝ නිෂ්පාදනවලට තම ආර්ථිකය විවිධාංගීකරණය කරවීමේ වැදගත්කම අවධාරණය කරයි.
· GSP+ මත පමණක් අධික ලෙස රඳා පැවතීම අවදානම් සහගත සූදුවකි.
මෙම සහනය ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වයට පත්වන තුරු පමණක් හිමිවනු ඇත.
ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වය යන ප්‍රගතිය අත්කර ගන්නා විට, නිතැතින්ම GSP+ සඳහා පවතින සුදුසුකම අහිමි වනු ඇත. වත්මන් ණය අර්බුදය නොවන්නට 2024 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් වීමට ඉඩ තිබූ බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථන පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අර්බුදය විසින් මෙම සන්ධිස්ථානය වෙත පැමිණීම තවත් වසර කිහිපයකින් ප්‍රමාද කර ඇත.
GSP+ වැනි විධිවිධාන ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය කරා පියමනින රටවලට උපකාර කිරීම සඳහා වන අතර, ශ්‍රී ලංකාව වැනි සහන ලබන බොහෝ රටවල් පවතින තත්ත්වයට වඩා දියුණු වූ විට මෙම වරප්‍රසාද අහිමි වේ යැයි බිය වීම උපහාසයට තුඩු දෙන කරුණකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ රටවල් දියුණු වන විට මෙම සහන අහිමි වීම දරා ගැනීමට තරම් උපකාරී වන අංශ සහ සාධක වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා අදාළ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වීමයි.
· සහන සඳහා වන අඛණ්ඩ ප්‍රවේශය රජයේ ක්‍රියා කලාප හෝ එහි අකර්මන්‍යතාව මත දැ
· ශ්‍රී ලාංකික අපනයනකරුවන් හට GSP+ හි ප්‍රතිලාභ ලැබෙන ප්‍රමාණය, ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම (හෝ අයහපත් හැසිරීම) යුරෝපා සංගමය දකින ආකාරය මත රඳා පවතී. GSP+ සහනය ලබා ගැනීම සඳහා අදාළ රටවල් මානව සහ කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යාන්තර සම්මුතීන් 27ක් අනුමත කළ යුතුය.
GSP+ සහනය ලබාදීමේ අරමුණ සහ එම සහන අහිමිවීම තුළින් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල්වල රජයන් සහ සමාගම් මෙම ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට වඩා හොඳින් අනුගත වීමට දිරිගැන්වීමයි. කෙසේ වෙතත්, ප්‍රථම වරට 2010 වර්ෂයේදී ශ්‍රී ලංකාවට GSP+ තත්ත්වය අහිමි වූ අතර එමගින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව රජය ප්‍රමාණවත් සැළකිල්ලක් නොදක්වන බව පෙන්නුම් කරමින් එහි ජාත්‍යාන්තර වගකීම බැරෑරුම් ලෙස නොසලකා හරින ලදී. මෙසේ රජයේ ක්‍රියාකාරකම්/අයහපත් හැසිරීමවල අනපේක්ෂිත බව GSP+ සහනය මත දැඩි ලෙස විශ්වාසය තබා ඇති පුද්ගලික අංශයට සහ එහි සේවකයින් හට අවදානම් සහගත තත්ත්වයක් ඇති කරන අතර සහන අහිමි වුවහොත් එම පිරිවැය දැරීමට ද සිදු වේ.
නිදසුනක් වශයෙන්, තීරණාත්මක ජාත්‍යාන්තර සම්මුතීන් තුනකට අනුකූල වීමට අපොහොසත් වීම හේතුවෙන් 2010 දී ශ්‍රී ලංකාවට GSP+ තත්ත්වය අහිමි වූ අතර එය බරපතල ප්‍රතිවිපාකවලට තුඩු දුන්නේය. ඇඟළුම් කම්හල් 25 ක් පමණ වසා දැමීමට සිදු වූ අතර 10,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය. ඒ එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උපුටා දක්වමින් කිෂාලි පින්ටෝ ජයවර්ධන විසින් 2013 ඔක්තෝම්බර් මාසයේ ලියූ ලිපියක මෙම තොරතුරු සඳහන් වේ.
2017 දී, යුරෝපා සංගමයේ වෙළඳ කොමිසම විසින් නියම කරන ලද නිර්ණායක සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, එය එහි GSP+ තත්ත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට හේතු විය. කෙසේ වෙතත්, 2021 ජූනි මාසයේදී, මානව හිමිකම් පිළිබඳ උත්සුකයන් නැවත මතු වූ අතර, එය පුද්ගලික අංශය තුළ වර්තමාන තත්වය දැනටමත් අත්විඳ ඇති හැඟීමක් ඇති කිරීමට හේතු විය. ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් බැඳීම් ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීමේ මෙවළමක් ලෙස GSP+ භාවිතා කරන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමට බල කරමින් යෝජනාවක් සම්මත කළේය. විශේෂයෙන්ම, ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට ඉල්ලීම් සිදු කළහ. ශ්‍රී ලංකාවේ GSP+ තත්ත්වය සහ එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට ප්‍රමාණවත් හේතු තිබේදැයි තක්සේරු කරන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව යුරෝපා සංගම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර වශයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීමට ශ්‍රී ලංකාව එකඟ විය. කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම ඇගයීමට ලක් කිරීමෙන් පසු යුරෝපා සංගම් කොමිසම සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නව ගැටළු මතු වී තිබේ. මෙම නව පනත් කෙටුම්පත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා සීමාකාරී බව විචාරකයින් තර්ක කරන අතර, පනත් කෙටුම්පතේ ලක්ෂණ GSP+ සහනය සම්බන්ධ තීරණවලට බලපෑම් කළ හැකි බව යුරෝපා සංගමයේ සාමාජික රටවල් ප්‍රකාශ කර ඇත.
· සහන උපයෝජනය නිෂ්පාදන මූලාරම්භය තීරණය කරන දැඩි නීති රීති මත රඳා පවති.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් යුරෝපා සංගමයට අයත් රටවල් වෙත සිදුකරන අපනයන 50% ක් පමණ ඇඟලුම් වන අතර, GSP+ සඳහා සුදුසුකම් ලබන ඇඟළුම් සඳහා යුරෝපා සංගමයට අයත් රටවල වෙළඳපොළට තීරුබදු රහිත ප්‍රවේශයක් භුක්ති විඳිය හැක. එසේ මෙම සහනයට අයත් නොවන අපනයන සඳහා අවම වශයෙන් 12% ක සාමාන්‍ය ගාස්තුවක් අය කෙරේ. මෙම තීරුබදු රහිත වාසිය යුරෝපා සංගම් වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟළුම්වල සාර්ථකත්වය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
කෙසේ වෙතත්, එතරම් අවධානයට ලක් නොවූ ප්‍රධාන නිරීක්‍ෂණයක් නම්, 2021 දී ශ්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනයෙන් 52%ක් පමණක් GSP+ සහනයෙන් ප්‍රයෝජන ගත් බවයි. මෙම අඩු භාවිතයට ප්‍රධාන හේතුව වන්නේ දැඩි මූලාරම්භක නීති (ROO) අවශ්‍යතා වේ. මෙම අවශ්‍යතා අනුව තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙන්නේ මුල් අදියරේ සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟළුම් සඳහා පමණි. එය ශ්‍රී ලංකාවෙන් පිටත රටවල්, යුරෝපා සංගමය (EU) හෝ දකුණු ආසියාණු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) රටවලින් ආනයනය කරන ලද රෙදි භාවිතා කරන ඇඟළුම් බැහැර කරයි. සහන සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවෙන් සහ දකුණු ආසියාවෙන් මූලාශ්‍ර ගැනීමට බලකෙරෙන බැවින්, ලොව පුරා තරඟකාරී මිල ගණන් යටතේ උසස් තත්ත්වයේ රෙදි ලබා ගැනීමේ දී ඇඟළුම් අපනයනකරුවන්ගේ නම්‍යශීලීභාවය මෙමගින් සීමා කෙරේ. මෙය ඇතැම් නිෂ්පාදනවල ශක්තිය සහ තරඟකාරිත්වය අඩාල කරයි.
· ගෝලීය වශයෙන් සාර්ථක විය හැකි තරඟකාරී නිෂ්පාදන සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු GSP+ මත යැපීම අවම කිරීමේ මාර්ගයයි.
දැනටමත් ගෝලීය වෙළඳපොලේ තරඟකාරී නිෂ්පාදන GSP+ තත්ත්වය ලබා ගැනීමෙන් පසු උපරිම ප්‍රතිලාභ ලබයි.
"ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය රටවල් වෙත සිදුකරන ඇඟළුම් අපනයනය: GSP+ බලපෑම පිළිබඳ නිෂ්පාදන මට්ටමේ විශ්ලේෂණයක්" යන මාතෘකාව යටතේ Verité Research විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් ඉහළම අපනයනයක් සහිත ඇඟළුම් නිෂ්පාදන 20 කට GSP+ බලපෑම විශ්ලේෂණය කරන ලදී.
අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ GSP+ මගින් දැනටමත් පිරිහෙන මට්ටමේ පවතින සහ තරඟකාරී නොවන බව සලකන නිෂ්පාදන පුනර්ජීවනය කළ නොහැකි නමුත්, දැනටමත් තරඟකාරී හෝ වර්ධනයක් අත්විඳින නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ නැංවිය හැකි බවයි.උදාහරණයක් ලෙස, ඉහළ GSP+ භාවිත අනුපාත සහිත නිෂ්පාදන 14න් තුනක්ම 2017 දී ශ්‍රී ලංකාව GSP+ නැවත ලබා ගැනීමෙන් පසුව පවා වෙළඳපොළෙහි කොටස් අඛණ්ඩ පහත වැටීමක් අත්විඳින ලදී.
අනෙක් අතට, GSP+ තත්ත්වය නොසලකා නිෂ්පාදන හතරක් වෙළඳපල කොටසෙහි ස්ථාවර වර්ධනයක් අත්විඳිමින් හෝ ආන්තික පහත වැටීමක් අත්විඳින ලදී. 2010-2016 අතර ශ්‍රී ලංකාවට GSP+ අහිමි වූ විට වෙළඳපල කොටස්වල (0.1% ට වඩා අඩු) (මෙම නිෂ්පාදනවල තරඟකාරිත්වය පෙන්නුම් කරන්නේ ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ බෙදා හැරීමේ කාලානුරූපී බව වැනි තීරුබදු රහිත ප්‍රවේශය හැර වෙනත් සාධක වලින් ලබාගත් ඒවාය).
මෙම නිෂ්පාදන හතර ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයේ රටවල්වලට සිදුකරන මුළු ඇඟළුම් ආනයනයෙන් 26% ක් වන අතර යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයන අයිතමය වන බ්‍රෙසියර්ස් (HS 621210) වැනි නිෂ්පාදන ඇතුළත් වේ. සිත්ගන්නා කරුණ නම්, මෙම නිෂ්පාදන GSP+ සහනවලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමයි.
· තරඟකාරී නිෂ්පාදන GSP+ භාවිතා නොකිරීමට තීරණය කිරීම
සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා GSP+ භාවිතය 2009 දී 66% ක උපරිමයක සිට 2021 දී 52% දක්වා පහත වැටීමේ ප්‍රවණතාවක් පවතී. මෙයට හේතුව ශ්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන රෙදි වලින් සැළකිය යුතු කොටසක් යුරෝපා සංගමයෙන් සහ SAARC වලින් පිටත රටවලින් ලැබෙන බැවිනි. එබැවින්, මෙම රෙදි වර්ග භාවිතා කරන ඇඟළුම් නිෂ්පාදනවලට සම්භවය පිළිබඳ නීති රීති සපුරා නොමැති බැවින් GSP+ වෙතින් ප්‍රතිලාභ ලබාගත නොහැක. පෙර සඳහන් කළ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ 2005 සහ 2019 අතර යුරෝපා සංගමයේ වෙළඳපල කොටස් ලබා ගත් නිෂ්පාදන (ශ්‍රී ලංකාව ප්‍රථම වරට GSP+ තත්ත්වය ලබා ගත් දා සිට) GSP+ මත යැපීම ක්‍රමක්‍රමයෙන් අඩු කර ඇති බව පෙන්නුම් කරයි. එවැනි නිෂ්පාදන සඳහා සමහර ප්‍රධාන උදාහරණ වන්නේ බ්‍රෙසියර්ස් (HS 621210), කාන්තා හෝ ගැහැණු ළමුන්ගේ කොටි කලිසම් සහ යට කලිසම් (HS 610822, 610821) සහ පිරිමි හෝ පිරිමි ළමුන්ගේ යට කලිසම් සහ කපු කොටි කලිසම්ය. (HS 610711)
GSP+ සහනය නොමැතිව වුවද ඇතැම් ශ්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළ තුළ තරඟකාරීව පවතින බව ඉහත සොයාගැනීම්වලින් පෙනී යයි. ගුණාත්මක භාවය සහ මිල සඳහා ගැණුම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝකයේ ඕනෑම තැනක සිට රෙදිපිළි සපයා ගැනීමේ නම්‍යශීලීභාවය ලබා ගැනීමට GSP+ භාවිතා නොකිරීමට ඔවුන් තීරණය කළ හැකිය.
ඇතැම් නිෂ්පාදන සඳහා, මනාප ආන්තිකය (එනම්, GSP නොවන ප්‍රතිලාභීන් විසින් ගෙවනු ලබන MFN තීරුබදු අනුපාතය සහ GSP+ ප්‍රතිලාභීන් භුක්ති විඳින තීරුබදු රහිත ප්‍රවේශය අතර වෙනස) දැනටමත් අඩු මට්මක පවතින අතර, එය GSP+ අවශ්‍යතා සපුරාලීමට වගකිව යුතු නැත. උදාහරණයක් ලෙස බ්‍රෙසියර්ස් සඳහා, යුරෝපා සංගමයේ තීරුබදු අනුපාතය අනෙකුත් ඇඟළුම් නිෂ්පාදනවලට වඩා බෙහෙවින් අඩුය. එනම් එය 6.5% ක් පමණි. එය අනෙකුත් ඇඟළුම් නිෂ්පාදන සඳහා අයකරනු ලබන 12% බදුවලට සාපේක්ෂව බෙහෙවින් අඩු ය.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ 2005 සහ 2019 කාලය අතර බ්‍රෙසියර් සඳහා GSP+ භාවිතයේ සැලකිය යුතු එනම් 40% ක අඩුවීමක් දක්නට ලැබුණු බවයි.
අධ්‍යයනයේ සොයාගැනීම් වලින් පෙනී යන්නේ ඇතැම් අපනයනකරුවන් දැනටමත් සහනවල අවිනිශ්චිතභාවය ඔවුන්ගේ වෙළඳපල ප්‍රවේශයට ඇති කරන අවදානම අවම කරන සාධක සඳහා ආයෝජනයන් සිදුකර ඇති අතර GSP+ මත ඔවුන්ගේ විශ්වාසය අඩු වශයෙන් තබා ඇති බවයි.
උදාහරණයක් ලෙස, GSP+ භාවිතය ඉහළ මට්ටමක පවතින නමුත් GSP+ නොලැබුණු කාලසීමාව තුළ පවා තම වෙළඳපල කොටස් වර්ධනය කර ගැනීමට හෝ පවත්වා ගැනීමට ඇති හැකියාවෙන් පෙන්නුම් කරන්නේ, ඇණවුම් සුරක්ෂිත කිරීම සඳහා GSP+ සහනය මත යැපීම අඩු කර ඇති නිෂ්පාදන පවතින බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සමාගම් GSP+ පවතින විට ප්‍රතිලාභ ලැබිය හැකි ජාත්‍යාන්තරව තරඟකාරී නිෂ්පාදන පෝෂණය කරමින් අපනයන ක්‍රියාවලියට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගනිමින් එකම මාවතක ගමන් කිරීම නුවණට හුරුය.