Skip to content

ග්‍රීක නිදහස සුරැකීමට සටන් වැදුණු තීබ්ස් හි ආදරවන්තයින්ගේ හමුදාව​

Sacred Band of Thebes

මෙය තරමක් වෙනස් කතාවක්. නමුත් ඉතිහාසය විසින් සාක්‍ෂි දරණ​ මෙම සිදුවීම ක්‍රි.පූ 378 දී පුරාණ ග්‍රීසියේ  ජෙනරාල් Gorgidasගේ නායකත්වයෙන් යුතුව නිර්මාණය වූ සමරිසි ආදරවන්තයින්ගේ හමුදාව පිලිබදව වන සදහනක්. ඔවුන් එකල හදුන්වා ඇත්තේ "තීබ්ස් හි පූජනීය සමරිසි හමුදාව" වශයෙන්. සෙබලුන් 300කගෙන් සමන්විත මෙම හමුදා ඛණ්ඩයෙහි පෙම්වතුන් යුගල වශයෙන් ගත් කල 150කගෙන් සමන්විතව තිබෙනවා. මේ අදහස ක්‍රියාවට නැංවීමේදී ජෙනරාල්  Gorgidas කරුණු කිහිපයක් පිලිබදව සිය අවධානය යොමු කල බව දැක්වෙනවා.
ඔවුනොවුන්ගේ  ෙ පෟද්ගලික සමාජ තත්වයන්ට වඩා හැකියාව සහ කුසලතාවය පිලිබදව සැලකිල්ලක් දක්වා ඇති අතරම යුධ බිමේදී ඔවුන් තම ආදරවන්තයා වෙනුවෙන් වැඩි පක්‍ෂපාතීත්වයකින්හා නිර්භීතකමින් යුතුව සටන් කිරීමට ඇති හැකියාව පිලිබදවද ඔහු විසින් නිරීක්‍ෂණය කර තිබෙනවා. එය සාම්ප්‍රදායික සෙබලුන් බදවාගැනීමකින් එහා ගිය යුධ උපක්‍රමයක් වශයෙන් ජෙනරල් Gorgidas භාවිත කරනු ලැබුවා.

James Romm විසින් රචිත The Sacred Band කෘතියේ මුල් පිට ඡායාරූපයක්.

පුරාණ ග්‍රීක සමාජයේ සිරිත් විරිත්වලට අනුව මේ සෑම පෙම්වතුන් යුගලයකම වැඩිහිටි පෙම්වතෙක් සහ තරුණ පෙම්වතෙකු ගෙන් සමන්විත වී ඇති අතර ඔවුනට ඉහත කී කාරණා පදනම් කර යුගල වශයෙන්ම මිස වෙන වෙනම සටන් කිරීමට ඉඩ ලබා දී නැත. ඒ තුලින් ඔවුන ගේ වන බැදීමත් සටන තුලදී වන අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳව වන ඉහළ විශ්වාසයත් ලබා දීම යන කාරණා බලාපොරොත්තු වූවා වීමට පුලුවන​.

ග්‍රීක දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ විසින් ද සමරිසි ආදරවන්තයන් එකිනෙකා කෙරෙහි දක්වන බැදීම හා භක්තිය නිරීක්‍ෂණය කොට ඔවුන්ගෙන් සමන්විත හමුදා අණු ඛණ්ඩ ප්‍රධාන හමුදාවන්ට එක් කිරීමේ වැදගත්කම හුවා දක්වා තිබෙනවා. ​ඉහත යුධ න්‍යායන්ට අනුකූලව නිර්මාණය වූ තීබ්ස් හි පූජනීය හමුදාව සටන් බිම තුලදී අතිශය බිහිසුණු මෙන්ම සුවිශේෂී වූ යුධ ජයග්‍රහණ රැසක් ද ලබා ගන්නවා. ලෝක ප්‍රසිද්ධ ස්පාටන්වරු පවා මොවුන් ඉදිරියේ පරාජය වී ඇති බව ඉතිහාසයේ සදහන්. ඒ ක්‍රි.පූ. 371 දී  Leuctra සටනේදී අත්කරගත් විශිෂ්ටතම ජයග්‍රහණයෙන් පසුව​.

මෙම පූජනීය හමුදාව ඕනෑම මොහොතක සිදුවන සටනකට සූදානම් වීම සදහා වෙහෙස නොබලා පුහුණු වී ඇති අතර එයට හේතු පාදක වන්නට ඇත්තේ ද සොල්දාදුවෙකු වන තම පෙම්වතා ඉදිරියේ බියගුලුකමේ හෝ පුරුෂ විනයෙහි අසාර්ථක භාවයක් පෙන්වීමට ඇති නොකැමැත්ත විය හැක​. තීරණාත්මක සංදිස්ථානයක් ලෙස මෙම හමුදා ඛණ්ඩය පිහිටුවා වසර 40 කට පසු එනම් ක්‍රි.පූ. 338 දී ඇතිවූ Chaeronea සටනේදී  දෙවැනි පිලිප් රජුගේ නායකත්වය යටතේ මැසිඩෝනියානු හමුදාව විසින් මොවුන්ව පරාජය කරනු ලබනවා. යටත්වීමට අවස්ථාව ලබා දුන්නද, අතිමහත්දුෂ්කරතාවලට මුහුණ දුන් විට පවා යටත් වීම ප්‍රතික්ෂේප කල මෙම තීබ්ස් හි පූජනීය හමුදාව මරණය දක්වාම සටන් කළ බව​ ඉතිහාසයේ කියැවෙනවා. සමූල ඝාතනයට ලක් වූ පසු දෙවැනි පිලිප් රජු මොවුන් වෙනුවෙන් කදුලු සැලූ බවත් විශේෂයෙන් ම සදහන් වන කරුණක්.

Chaeronea හි සමූහ භූමදානය පිළිබඳ පුරාවිද්‍යා සමීක්ෂණය, 1880. එහිදී තැන්පත් කර තිබූ ඇටසැකිලි 254 සොයා ගනු ලබනවා.
1880 දී ප්‍රතිසංස්කරණය කරන ලද Chaeronea සිංහ ප්‍රතිමාව​. පහත් බිත්තිය තීබ්ස්හි පූජනීය හමුදා කණ්ඩායමේ සමූහ මිනීවළ වට කර ඇත.

Latest