Skip to content

ගුඩ් බායි මුතු රාජා..

මීට වසර 22 කට පමණ පෙර තායිලන්ත රජය විසින් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් “මුතු රාජා"හෙවත් "සක්සුරින්” හස්තියා යළිත් තායිලන්තය වෙත රැගෙන යාමට පැමිණි ගුවන් යානය අද උදෑසන 07.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

එසේ හස්තියා රැගෙන යාමට පැමිණි "ඉලුෂියන් – 76" වර්ගයේ රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය  තායිලන්තයේ බැංකොක් නුවර, "ෂියන්මායි" ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් ඇති අතර එය අද පස්වරුව වන විට එරටට ලගාවීමට නියමිතය.  AZS 5701 දරණ මෙම ගුවන් යානය රුසියාවේ මොස්කව් සිට පෙරෙදා රාත්‍රී 11.30 ට  පමණ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබිනි.

අද දින අලුයම 12.00 ට පමණ “මුතු රාජා” හෙවත්  “සක්සුරින් ” හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ සිට කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් තිබු අතර මෙම හස්තියා ඇතුළත් විශේෂ කූඩුව අලුයම 3.30 වන විට ගුවන් යානයට පටවා තිබිනි.

හස්තියා ආපසු රැගෙන යාමේ කටයුත්ත සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වන බවත් ගුවන්තොටුපල ආරංචිමාර්ග වලින් සනාත කෙරිනි.

මෙම ඇතා 2001 වසරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත තායිලන්ත රජපවුලේ තිළිණයක් ලෙස ලැබුනු අතර පසුව ඇය විසින් ඇතා අලුත්ගම කන්දේ විහාරස්ථානයට භාරදී ඇත.

එහෙත් ඇතා භාරව සිටි ඇත් රකින්නාගේ නොසැලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් අලියා දැඩි හිංසනයට ලක් වූ බව පසුව අනාවරණය විය.

එබැවින් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා කන්දේ විහාරයේ සිටි මුතු රාජ ඇතා රැගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා දෙහිවල සත්වෝද්‍යානයට භාර දුන්නේය. කෙසේ වෙතත්, සත්වෝද්‍යානයේ පහසුකම් නොමැතිකම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නොහැකි වී ඇති අතර, විශේෂඥ රැකවරණය සඳහා අලියා යළි තායිලන්තයට රැගෙන ඒමට තායිලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

Latest