Skip to content

අලි එළවන්න ගිහිං අලි ජරමරයක්.

වන අලින් පලවා හැරීමට ගිය වන ජීවී නිලධාරීන් සමග ගැටුමක් ඇති කර ගත් බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කොබෙයිගනේ පොලීසිය කියයි.

13 වෙනිදා රාත්‍රී 9.15 ට පමණ කොබෙයිගනේ - මහකෙලියාව ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.

කොබෙයිගනේ - මහකෙලියාව ප්‍රදේශයට කඩා වැදී ඇති වන අලි රංචුවක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් නිකවැරටියේ පිහිටි වන අලි පාලන ඒකකයට දැණූම් දී ඇත.එම දැණුම් දීම මත නිකවැරටිය වන අලි පාලන ඒකකයේ සහ කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් 13 වෙනිදා රාත්‍රීයේ මහකෙලියාව ප්‍රදේශයට පැමිණ ගම් වැදී සිටින වන අලින් පලවා හැරීමට කටයුතු ආරම්භ කර ඇත.

එම අවස්ථාවේදී වන අලින් පලවා හැරීමට පැමිණ සිටි වන අලි පාලන ඒකකයේ නිලධාරියෙකු සහ ගම්වාසියෙකු අතර බහින් බස්වීමක් සිදුවී ඇත.එම බහින් බස්වීමෙන් අනතුරුව ගම්වැසියා විසින් වන අලි පාලන ඒකකයේ නිලධාරියාව තල්ලු කර දමා ඇත.සිද්ධියෙන් බියට පත්ව ඇති වන අලි පාලන ඒකකයේ නිලධාරියා තමන් අත තිබූ රිෆිටර් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩි ප්‍රහාරයක් මුදා හැර ඇත.ඒ සමගම අලි එළවීමට එක්වී සිටි වන අලි පාලන ඒකකයේ සෙසු නිලධාරීන් සහ ගම්වැසියන්ද එම ස්ථානයට එක්ව ඇත.

දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීම සහ ගැටුම සමථයකට පත් කර ඇති කොබෙයිගනේ පොලීසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ බව කියන ගම්වාසී පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

එම ගැටුමෙන් අනතුරුව වන අලි පාලන ඒකකයේ නිලධාරීන් ගම්වැදී සිටින වන අලින් පලවා හැරීම පසෙක දමා ආපසු ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

Latest