Skip to content

පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශවයකට ලබාදීම භයානකයි.!

පොලිසියෙන් මහජනයාට අනතුරු ඇඟවීමක්..

මහජනතාව සිය පෞද්ගලික තොරතුරු තුන්වන පාර්ශවයක් වෙත ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සදහන් කරයි. විශේෂයෙන්ම නොහඳුනන සහ නොදන්නා පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු  ලබා දීම බරපතල වංචාවන්ට ගොදුරු වීමට මුල්විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම  සිය ජාතික හැදුනුම්පත් අංකය, ගමන් බලපත්‍ර අංකය, රියදුරු බලපත්‍ර අංකය ඇතුළු ඡායාපිටපත්, තමා පදිංචි ලිපිනය, පවුලේ තොරතුරු, බැංකු ගිණුම් තොරතුරු වැනි පෞද්ගලික තොරතුරු එසේ ආරක්ශා කර ගතයුතු තොරතුරු ගනයට අයත් බවද ඔහු පෙන්වා දෙයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලදී හෙලිවී ඇත්තේ මෙසේ නොදන්නා පාර්ශව වෙත ලබා දී ඇති තොරතුරු ඔස්සේ ඔවුන් එවැනි වංචනිකයන්ට හසුවී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව තවදුරටත් සදහන් කළේ,

“කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික තොරතුරු විශේෂයෙන්ම  ගිණුම් තොරතුරු, බැංකු ගිණුම් සඳහා එකවරක් ලැබෙන OPT අංකය වැනි තොරතුරු කිසිදු හේතුවක් නිසාවත් තමන් නොදන්නා පාර්ශවයක් වෙත ලබාදෙන්න එපා.

ආකර්ෂණීය යෝජනාවලට රැවටෙන්න එපා. විවිධ යෝජනා එන්න පුළුවන්. මේවාට රැවටෙන්න එපා කියන දේ තමා අපිට මහජනතාවට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය විදියට. මෙවැනි වංචාකරුවන් සාමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතට පැමිණෙන්න පුළුවන්. නමුත් නිත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ ගිහින් අපහසුතාවයන්ට පත්වෙන්න එපා. ඒ වගේම පුද්ගලයින් හඳුනන්නේ නැතුව මෙවැනි දේට යොමු වෙලා තමන් සතු දේපළ අහිමිකර ගන්න එපා.”

Latest